Thursday, July 03, 2025
Follow Us
කර්මාන්තකරුවන්ගේ සහන පැකේජය කඩිනම් කිරීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්

කොවිඩ් – 19 ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස 4% ක පොලියට ලබා දෙන ණය මුදල සේවක වැටුප් හා ජල – විදුලි බිල්පත් ගෙවීමට පමණක් නොව කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද වියදම් කළ හැකි ලෙසට ලබා දෙන ලෙසත් එම ණය මුදල කර්මාන්තකරුවන්ට ඉතා කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් තමන් මහ බැංකුව හා රාජ්‍ය – පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී කළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (11)පැවති කර්මාන්ත ශාලා රැක ගැනීමේ සංසදය සහ මහ බැංකුව ඇතුළු මෙරට රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කර්මාන්ත ශාලා රැකගැනීමේ සංසදයේ විධායක සභික කපිල එස්. වික්‍රමසිංහ මහතා පැවසුවේ කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ දී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මීට ඉහත දී කර්මාන්ත අමාත්‍යවරයා දැනුම්වත් කළ බවත් ඒ අනුව තමන් ද කැඳවා කඩිනමින් මෙවැනි ඵලදායී සාකච්ඡාවක් මහ බැංකුව ඇතුළු මෙරට වාණිජ බැංකුවල සහභාගීත්වයෙන් පැවැත්වීම අගය කරන බවය.

සේවක වැටුප්, සහ ජල – විදුලි බිල්පත් ගෙවීමට අමතරව 4% පොලිය සහිත කාරක ප්‍රාග්ධන ණය මුදල අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද යොදවා ගැනීමට අවස්ථාව හිමිවීම ඉතා වැදගත් බවත් එය තම කර්මාන්ත බිඳ නොවැටී පවත්වා ගැනීමට ඉමහත් රුකුලක් බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. එසේම ඉහත ණය මුදල දින 45ක සීමාව නොතකා කඩිනමින් ලබාදීමට බැංකු එකඟ වීම මේ මොහොතේ තම සංසදයේ සාමාජිකත්වය දරන කර්මාන්තකරුවන් 900ට අධික පිරිස ඇතුළු සමස්තයට ඉතා වැදගත් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා වාණිජ බැංකු නියෝජිතයෝ ද කර්මාන්තශාලා රැකගැනීම සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් සම්පත් මහකඩුව, විමල් දිසානායක ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

(Aruna)