රජයේ රෝහල්වල නේවාසිකව ප්රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්රනීත ආහාරවේලක්, ප්රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අවධානය යොමුව ඇත.
ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් එම අමාත්යාංශයේ දී පැවැත්විණි.
මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්රගත කරගෙන ආරම්භ කිරීමට ද සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය තීරණය කර ඇති අතර ඒ අනූව එම රෝහලේ අධ්යක්ෂවරයා ඇතුළුව පරිපාලනයට සහ මෙම විෂයට අදාළ නිලධාරීන්, ශ්රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යාතනයේ වෛද්යවරුන්, පෝෂණවේදීන්, ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
සෞඛ්ය අමාත්යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබා දීම සදහා වැය කරන බව පෙන්වා දුන් අමාත්යවරයා එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු සහගත තත්ත්වයක් බව මෙහි දී පවසා සිටියේ ය.
මේ වන තෙක් රෝහලෙන් රෝගියාට ලබා දෙන ආහාර වේල පිළිබඳව රෝගියා තෘප්තිමත් ද නැද්ද යන්න පිළිබදව විමසීමක්වත් නොකරන තත්ත්වකට එම සේවාව පත්ව ඇති බව ද අවධාරණය කළ අමාත්යවරයා රෝහලෙන් ලබා දෙන වර්තමාන ආහාරවේල පිළිබඳවත්, එය රෝගියාට ලබා දෙන ක්රමයේත් වෙනසක් ඇති කළයුතු බව පැවසී ය.
ප්රනීත, ගුණදායක ආහාරවේලක් ප්රියමනාපව රෝගියාට ලබා දීමේ අවශ්යතාවය සහිතව මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භකරන මෙම නියමු ව්යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්යවරයා අපේක්ෂා රෝහල තුළ මෙම ව්යාපෘතිය ආරම්භ කිරිමට පවතින ගැටළු පිළිබඳව විමසා සිටියේ ය.
මේ වන විට අපේක්ෂා රෝහල තුළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා පහසුකම් සහිත නවීන මුළුතැන්ගෙයක් සකස් කර ඇති බවත්, එයට ප්රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බව මෙහි දී අණාවරණය විය.
එමෙන් ම නවීන ආකාරයට මෙම ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දීමේ අවශ්යතාවය ද මෙහි දී මතුවිය.
මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට එහි නම ආහාර පාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස වෙනස් කිරීමටත් මෙහි දී යෝජනා විය.
තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට: බත්, එළවළු, මස් හෝ මාළු යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්යාපෘතියේ ප්රධාන අංගය බවත්, එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්රියතාවක් ඇති වන බව ද වෛද්යවරුන් මෙහි දී අමාත්යවරයාට පෙන්වා දෙන ලදී.
එමෙන් ම මෙම ව්යාපෘතිය ඉදිරියේ දී රජයේ සියලුම රෝහල්වල ක්රියාත්මක කිරීමට නම් රෝහල්වල මුළුතැන්ගෙවල් නවීකරණයට ලක්කළ යුතු බවත් දැනට පවතින ගෑස් උඳුන වෙනුවට වාෂ්ප (steam) බලයෙන් ක්රියාත්මක කළ හැකි උඳුන් මෙන් ම නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ ලබා දීමේ අවශ්යතාවය ද මෙහි දී ඉස්මතු විය.
රෝහල්වල ආහාර පාන සැකසීමට අමුද්රව්ය ලබා දීමේ ලංසුව ලබා දෙනුයේ අවම ලංසුව තබන පුද්ගලයාට බවත්, එම අවම ලංසුව තබන තැනැත්තා රෝහලට ලබා දෙන අමුද්රව්යවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයන් පවතින බවත්. විශේෂයෙන් ම කුළුබඩුවල ගුණාත්මකභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බව නිලධාරීන්, වෛද්යවරුන් අමාත්යවරයා හමුවේ මෙහි දී පැවසී ය.
මෙහි දී මතු වූ කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමුකළ අමාත්යවරයා ඊට කඩිනම් විසඳුම් ලබා දී මෙම ව්යාපෘතිය සාර්ථක කරගැනීමට කටයුතු කරන බව අවධාරණය කළේ ය.
මෙම සාකච්ඡාව සදහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුනිල් ගලගම, සාලින්ද බණ්ඩාර, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන, මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය අරුණ ජයසේකර, ශ්රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යාතනයේ සභාපති වෛද්ය තිමති වික්රමසේකර යන මහත්ම මහත්මීන්, වෛද්යවරුන්, පෝෂණවේදීන් ඇතුළුව පිරිසක් සහභාගි වූහ.