Saturday, July 27, 2024
Follow Us
පොල් කොහු කර්මාන්තයේ දිරි ගැන්වීමට කෘෂිකර්ම  ඇමතිගෙන් උපදෙස්

පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම කර්මාන්තයේ යෙදී සිටින පිරිස දිරි ගැන්වීම සඳහා වැඩසටහන් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා ද තිබේ. 

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව   පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවේදීය. 

අප රටේ කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහළ ඉල්ලුමක් පවතී. මේ වනවිට අප රටේ නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පළ තුළ ඉහළ ඉල්ලුමක් පවතී. සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන බවත්, ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානය තුළ බවත් පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එහිදී මෙම කරුණු අවධාරණය කෙරුණු අතර පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අස්ථාවරභාවය හා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොල්  කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය හා ආදායම  සියයට 50කින් පහත වැටුනු බව පොල් සංවර්ධන අධිකාරිය මෙහිදී අවධාරණය කළේය.

දැනට මෙරට පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ යෙදී සිටින පිරිස 40,000ක් පමණ වන අතර වාර්ෂිකව කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මගින් මෙරටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 149ක් පමණ වේ.

විශේෂයෙන් පොල් කොහු ආශ්‍රිතව මෙන්ම තල් කර්මාන්තය හා කිතුල් කර්මාන්තය ආශ්‍රිතව ද නිෂ්පාදන රැසක් දේශීය නිපදවන බැවින් එම කර්මාන්ත අංශ තුනම ඒකාබද්ධව අපනයන වැඩ සටහන් ප්‍රවර්ධනය කිරීම මගින් රටට විශාල ආදායමක් උපයා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

වර්තමානයේ සංවර්ධිත රටවලට තිබෙන ප්‍රධානම ගැටලුව පරිසර දූෂණය වළක්වා ගැනීමයි. විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට බොහෝ රටවල් උත්සාහ දරති. එමනිසා සියයට 100ක්ම පරිසර හිතකාමී නිෂ්පාදන කර්මාන්තයක් වන කොහු කර්මාන්තය මෙන්ම තල් හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගැනීමට සංවර්ධිත රටවල් කැමැත්තක් දක්වති.

එමනිසා මෙම කර්මාන්තය ප්‍රවර්ධනය මගින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකිව තිබෙන බැවින් ප්‍රවර්ධන වැඩ සටහන් 2024 වසර තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.