Monday, March 16, 2026
Follow Us
මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටිනවා - විදේශ කටයුතු අමාත්‍යංශය

සිවිල් ජනතාවට සෘජු තර්ජනයක් වන මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එරෙහි ඕනෑම ප්‍රහාරයක් හෙළා දකින බවත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය දැනුම් දෙයි.

එසේම සෑම ආකාරයකින්ම සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ජාත්‍යන්තර මානුෂිය නීතිය යටතේ මූලික වගකීමක් වන බවත් ගෝලීය සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.


තවද බරපතල මානුෂීය අර්බුදය සැළකිල්ලට ගනිමින් , ගෝලීය ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළඳාමට සෘජුවම බලපාන තත්වයන් සහ සියලු රටවලට අත්විඳීමට සිදු ව ඇති ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වන වර්ධනයන් ශ්‍රී ලංකා රජය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එහි සඳහන් වේ.


ඔ්නෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය යෙදවීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම සහ අරමුණුවලට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව මෙහිදී අවධාරණය කරයි.


සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සඳහා දැඩි ලෙස කැපවී කටයුතු කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මෙම ඉපැරණි මූලධර්මවලට ගරු කරන ලෙසත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් මෙම භයානක තත්වය තවදුරටත් උග්‍රවීම වැළැක්වීම සඳහා සාකච්ඡා සඳහා නැවත එළඹෙන ලෙසත් රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.


එසේම කලාපය සහ ඉන් ඔබ්බට ස්ථාවරත්වය සහ සාමය ආරක්ෂාවට එල්ල වන බරපතල තර්ජනය සැලකිල්ලට ගනිමින් අර්ථවත් සංවාදයක නිරත වන ලෙසත් , ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් රජය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.