දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා තේරීපත්විය.
ඒ සඳහා වූ නම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව ස්ථිර කර ලදී. මෙම තෝරා පත්කර ගැනීම සිදුවුයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංසදය පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වූ අවස්ථාවේදීය.
තවද නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න සහ නීතිඥ සුසන්ත දොඩාවත්ත යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා තෝරා පත්කර ගන්නා ලදී.
මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා මෙම සංසදය පිහිටුවීම සමානාත්මතාව, යුක්තිය, අන්තර්කරණය වෙනුවෙන් අප සියලු දෙනා එක්ව ගන්නා තීරණාත්මක ප්‍රවේශයක් බව පෙන්වා දුන්නේය. ආබාධ සහිත පුද්ගලයින්ට ආර්ථික හා සාමාජීය වශයෙන් තෘප්තිමත්,සමානව සැලකෙන සමාජයක් ගොඩනැගීම මූලික දැක්ම විය යුතු බවත් ඒ සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන අධ්‍යාපනය, රැකියාව, ප්‍රවාහනය සහ අනෙකුත් සේවාවන්හි සම ප්‍රවේශතාවයන් සහතික කෙරෙන සමාජයක් ගොඩනැගීම මුලික අරමුණ විය යුතු බවත් කථානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා තමන් සංසදයේ සභාපති ලෙස තෝරා පත්කරගැනීම පිළිබඳව සිය ස්තූතිය පිරිනැමුවේය. පාර්ලිමේන්තුවක් ලෙස ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකිකයින් දරන ආකල්පය සංවේදී හා ධනාත්මක බවට පත්කිරීමට මෙම සංසදය මගින් මුලිකවම අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් දැනට පවතින වසර 28ක් පමණ පැරණි පනත පරිච්ඡින්නකර නූතනයට ගැලපෙන ලෙස සකස් කිරීමටත්, දැනට පවතින ජාතික ප්‍රතිපත්තියද අනාගතට ගැලපෙන ලෙස වෙනස් කිරීමටත් අපේක්ෂා කරන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය. තවද පොදු ආයතනවලට ප්‍රවේශවීමේ පහසුව අබාධ සහිත වුවන් සඳහා ලබාදියයුතු බවට ලබාදී ඇති අධිකරණ තීන්දුව වසර 14ක් නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ සඳහාද මෙම සංසදය ඔස්සේ එකී තීන්දුව නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවද පැවසුවේය.
මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.