Sunday, September 29, 2024
Follow Us
මහල් නිවාසවල පදිංචිකරුවන් 8000කට සින්නක්කර ඔප්පු

කොළඹ මහල් නිවාසවල පදිංචිකරුවන්ට හිමිකම් ඔප්පු ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ලබන මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරියට අයත් මහල් නිවාසවල පදිංචිකරුවන් 8000කට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු යොදා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

මීට අමතරව කොළඹ නගරයේ මහල් නිවාසවල පදිංචිකරුවන් 1070කට ඔප්පු ලබාදීමට සැලසුම් කර තිබේ. කොළඹ මහල් නිවාසවල පදිංචිකරුවන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අය වැයේ දී සඳහන් කළේය. මෙම හිමිකම් ඔප්පු ලබාදීම සිදු කෙරෙන්නේ ඒ අනුවය.

අනුව ප්‍රථම අදියර යටතේ හිමිකම් ඔප්පු ලබාදීම මිහිඳු සෙන්පුර, සිරිසර උයන, මෙත්සර උයන, ලක්මුතු සෙවණ, සිරිමුතු උයන යන ව්‍යාපෘති කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරේ.

ඊට අමතරව ලක්සඳ සෙවණ, රන්දිය උයන, ලක්මුතු උයන, මුවදොර උයන, සියසත සෙවණ, පුරදොර සෙවණ, ජයමග සෙවණ, මිහිජය සෙවණ, හෙළමුතු සෙවණ, සියපත සෙවණ, ලක්සෙත සෙවණ, ලක්හිරු සෙවණ යන නිවාස ව්‍යාපෘතිවල හිමිකම් ඔප්පු මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට කටයුතු සැලසුම් කර තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති මහල් නිවාස සඳහා ප්‍රථමයෙන් හිමිකම් ඔප්පු ලබා දීම සිදු කරයි.

මෙම නිවාසවල අයිතිය අදාළ පදිංචිකරුවන් වෙත නීත්‍යනුකූලව පැවරීමට ප්‍රමාද වී ඇත්තේ ඇතැම් නීති රීතිවල පවතින ගැටලු සහගත තත්ත්වය නිසයි. ඒ සඳහා මේ වනවිටත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාගෙන ඇති බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම වසර අවසන් වීමට පෙර කොළඹ මහල් නිවාස හිමියන් සියලු දෙනාට තම හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම නිවාසවල හිමිකරුවන් වෙත නීත්‍යනුකූල ඔප්පු ලබාදීමෙන් අනතුරුව පදිංචි ජන කොට්ඨාසයන්ගේ නියෝජනයකින් පිහිටුවිය යුතු සහාධිපත්‍ය කළමනාකරණ සංස්ථාවක් මඟින් මෙම නිවාසවල නඩත්තුව හා කළමනාකරණ කටයුතු ද සිදු කිරීමට අපේක්ෂිතයි.

“උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අය වැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.