රජයේ මාධ්‍ය සහ රජයට හිතවත් මාධ්‍ය මේ දිනවල රජයට හිතවත් බෞද්ධ භික්ෂූන්, කතෝලික පූජකවරුන්, විශ්‍රාමික දේශප්‍රේමී කලාකරුවන් වැනි නොයෙකුත් පාර්ශ්වයන්ගෙන් ලබාගෙන පුන පුනා විකාශය කරන වොයිස්කට් වලින් කියැවෙන්නේ කීයටවත් පාර්ලිමේන්තුව නම් නොකැඳවිය යුතු බවය. පාර්ලිමේන්තුව කැඳව්වොත් කොරෝනා මර්ධනය කඩාකප්පල් වී, ඉර හඳ කඩා වැටී, මහ පොළව දෙබෑ වී මළ කෙළි ගොඩක් වන්නට ඉඩ ඇති බවය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ගැන මෙලෝ අවබෝධයක් හෝ තැකීමක් නොමැති පාර්ශ්ව වශයෙන් මේ කියන කතා ද යම් පමණකට හෝ තේරුම් ගන්නට පුළුවන.
මෙහි ඇති හාස්‍යජනකම කාරණය වන්නේ ඉදිරි මහමැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ජනාධිපතිවරයාගේ පක්ෂයෙන්ම ඉදිරිපත්වීමට හිටපු මැති ඇමතිවරුන් ද මේ කතාවම කීමය. ඔවුන් කියන්නේත් ජනාධිපතිවරයා සහ හමුදාව ඉතාම මැනවින්, සාර්ථකව කොරෝනා මර්ධනය කරගෙන යන නිසා පාර්ලිමේන්තුව රැස්වුණොත් ඊට බාධා වියහැකි බවය.
කොරෝනා වසංගතය යනු ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම අර්බුද අතරින් එකකි. මෙය හුදෙක් සෞඛ්‍යමය අර්බුදයක් පමණක් නොවේ. සෞඛ්‍යමය පෙරමුණ ගත්ත ද තවමත් ලෝකය තුළ මෙම කොරෝනා වෛරසයට එරෙහි ඖෂධයක් සොයාගෙන නොමැති නිසා කොතැනින් කෙළවර වේදැයි කියන්නට බැරි ප්‍රශ්නයකි.
සමස්ත නිශ්පාදන යාන්ත්‍රණයම දැනට සති තුනක් තිස්සේ නැවතී තිබේ. ලෝකයෙහි තත්වයත් අඩුවැඩි වශයෙන් එයමය. ඒ අනුව වසංගතයට සමගාමීවම එන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයෙහි මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයයි. එය කොතරම් භයානකවේදැයි මෙතෙක් නිවැරදිව පුරෝකථනය කරන්නටවත් කිසිදු පාර්ශ්වයක් සමත්ව නැත. සේවකයින් ලක්ෂ ගණනකට රැකියා අහිමිවනු ඇති බවත් ස්ථිර සේවකයින්ගේ පවා වැටුප් පහළ වැටෙනු ඇති බවත් ආහාර හිඟයක් මතුවනු ඇති බවත් දැනට පෙන්නුම් කෙරේ.
අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවා ඇතත් රටේ තත්වය අනුව එම මැතිවරණය ඔහුගේම ගැසට් නිවේදනයෙහි සඳහන් කාලසීමාවට පෙර පැවැත්විය නොහැකි නිසා ව්‍යවස්ථාමය අර්බුදයක් උද්ගතව තිබේ. එසේම අතුරු සම්මත ගිණුමේ කාලය අප්‍රේල් 30න් අවසන් වන බැවින් ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව මුදල් අනුමත කරවා ගැනීමේ ක්‍රමවේදයක් ද නොමැති වෙයි. මෙයත් මින් පෙර ශ්‍රී ලංකාවේ කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් අර්බුදයකි.
මේ සියලු අර්බුද එහි අනිවාර්ය ප්‍රකාශනය ලෙසින් නැවතත් දේශපාලන අර්බුද බවට පෙරළීමට නියමිතය. එසේම මේවාට විසඳුම් සොයන්නට වෙන්නේ එක එකක් වශයෙන් කරමුලට ගිළෙනතෙක් බලාසිටීමෙන් අනතුරුව නොව, දැන්මය. පැවති පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි කියන්නේ ඒකටය. මේවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් යටතේ විසඳාගැනීමේ හොඳම ක්‍රමය වන්නේ පැවති පාර්ලිමේන්තුව යළි කැඳවා මුදල් සහ අනෙකුත් අණ පනත් සම්මත කරවාගෙන සියලුම දේශපාලන පක්ෂ තාවකාලිකව හෝ එකමුතුව යම් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර සමස්ත ජනතාවගේම සහාය ඊට ලබාගනිමින් ඉදිරියට යාමය.
මෙය කරගත නොහැකි වීමන් ඊළඟට කරළියට එනු ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වැඩපිළිවෙලක් වනු ඇති අතර සාමාන්‍යයෙන් අර්බුද හමුවේ ඒවාට තාවකාලිකව ඉහළ ජනප්‍රියත්වයක් ද හිමිවනු අපට ඉතිහාස අත්දැකීම් ඇසුරෙන් දැකිය හැකිය. එහෙත් අවසානයේ ගෙවීමට සිදුවනු ඇති වන්දිය අතිවිශාලය.
එහෙයින් මේ අවස්ථාවේදී මෙම තත්වයන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ විසඳීම සඳහා දේශපාලනඥයකු වශයෙන් තමන්ට දිය හැකි දායකත්වයක් නැතැයි කවරෙකු හෝ සිතන්නේ නම් ඔහු හෝ ඇය වහාම දේශපාලනයෙන් සමුගෙන යායුතුය. මන්දයත් මේ අර්බුදය විසඳුණු දිනෙක, මීට වඩා අඩු අර්බුද විසඳීම සඳහා මහජන මුදලෙන් ඔවුන්ව නඩත්තු කිරීම කිසිම තේරුමක් නොමැති වැඩක් හෙයිනි. විශේෂයෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් පවසන ආකාරයට කොරෝනා ව්‍යසනය හමුවේ උද්ගතව ඇති සියලු අර්බුද ජනාධිපතිවරයා සහ හමුදාව විසින් ඉතාම විශිෂ්ඨ ලෙස කළමනාකරණය කරමින් සිටින්නේ නම් ඒවා අවසන් වූ පසුව ඊට වඩා සුළු ප්‍රශ්න විසඳීම සඳහා පොහොට්ටුවේ සෙසු දේශපාලකයින්ට මහජන මුදලින් වැටුප්, සුපිරි වාහන, කාර්ය මණ්ඩල, නිලනිවාස, නොයෙකුත් දීමනා, පොලිස් ආරක්ෂාව යනාදී වරප්‍රසාද ලබාදෙමින් කෝටි ගණන වියදම් කළයුතු නැත. ඔවුන්ගේම තර්කය අනුව ඔවුන් එය පිළිගත යුතුය.
එහෙයින් මේ සියල්ල ජනාධිපතිවරයාට සහ හමුදාවට විසඳිය හැකි බවත් එය හොඳම ක්‍රමය බවත් සමාජය ඉදිරියේ ඔප්පු කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් කළයුතුව ඇත්තේ ජනාධිපතිවරයා සහ හමුදාව කෙරෙහි විස්වාසය තබමින් තම තමන් ජාතික මට්ටමේ දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත්කිරීමය !
ඔවුන් එසේ නොකරන්නේ නම් ඔවුන් කියන විසඳුම ඔවුන්ටම විස්වාස නොමැති බව සහ ජනතාවගේ මුදලින් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෝන් ෆ්ලේක්ස් සමඟ මීපැණි කෑමේ කෑදරකම විනා ඊට එහා යන දේශපාලනයක් තමන්ට නොමැති බව ඔවුන් ඔප්පු කරනු ඇත.
(LNW)