Saturday, May 04, 2024
Follow Us
බලය වෙනුවෙන් දුන් පොරොන්දු නිසා අපේ ජනතාව මහත් පීඩාවට පත් වුණා මා ඒ වරද කිරීමට සූදානම් නෑ

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍යය අවබෝධ කර නොගෙන, බලය අත් කරගැනීම වෙනුවෙන් කලින් කලට දුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක් වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වරද කිරීමට තමා සූදානම් නැති බව අවධාරණය කළ හෙතෙම සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදි අනාගතයක් ගොඩනඟාගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවද පැවසීය. ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ ‘යුනයිටඩ් යූත්’ තරුණ එකමුතුව ‘තරුණ අපේ අනාගතය’ නමින් සංවිධානය කළ සුහද හමුවට එක් වෙමිනි. මේ හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි පෙරේදා (12) පැවැත්විණි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මේ හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි. මේ සියලු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු දීමට කටයුතු කළ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සුහද කතාහකටද එක් විය. මේ කතිකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණිම සලකුණු කරමින් යුනයිටඩ් යූත් තරුණ ඒකමුතුවේ උපදේශක නියෝමාල් පෙරේරා මහතා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

ජනාධිපති වෙත යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා සැපයූ පිළිතුරු මෙසේය:

ප්‍රශ්නය: වර්තමානය වන විට ජංගම දුරකතනවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අන්තර්ජාල සේවා ගාස්තුවල ප්‍රශ්නයක් තිබෙනවා. එහෙත් ඔබතුමා මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හඳුන්වාදීම නිසා පසුගිය කොරෝනා සමයේ එය විශාල පහසුවක් වුණා. ඒනිසා තරුණ තරුණියන්ගේ සන්නිවේදන සාක්ෂරතාව දියුණු කිරීමට ඔබතුමා ගෙන ඇති පියවර කුමක්ද?

පිළිතුර: හැම දේම නොමිලේ දීම රටේ ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. නොමිලේ දීමේදී තව කෙනකුගෙන් එය අය කරගැනීමක් සිදු වෙනවා. අපේ රටේ අපි හැම දේම නොමිලේ දුන්නා. ආදායම් නැති වෙලාවෙදි මුදල් මුද්‍රණය කරමින් ජනතාවට නොමිලේ සහන සලසා දීමට කටයුතු කළා. මේ හේතුවෙන් ගත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. අවසානයේ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගත් විට ජනතාවට ගෙවීමේ හැකියාව ඇති වෙනවා. ඒ ගෙවීමේ හැකියාව ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීමට නව වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව එක් ඩොලරයක් සඳහා රුපියල් 310ක් පමණ වියදම් කරනවා. අප ඉන්නේ විශාල අර්බුදයක් මැදයි. එම අර්බුදයෙන් එළියට ඒමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

මා මෙතනට ඇවිත් නොමිලේ ඩේටා දෙනවා කියලා පොරොන්දු දුන්නොත් මා සිදු කරන්නේ සෑම දෙනාම මුළා කිරීමක්. ඒ නිසා මම ඔබලාට දෙන පොරොන්දුව වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ජනතාවගේ ගෙවීම් හැකියාව දියුණු කිරීමට වැඩසටන් ක්‍රියාත්මක කරන බවයි. යම් දේවල් නොමිලේ දුන්නොත් ඉදිරියේදී නැවත විදුලි කප්පාදු, ඉන්ධන පෝලිම් ඇති වෙන්න පුළුවන්. පසුගිය අඳුරු යුගයට රට නැවත ඇද නොවැටෙන ලෙස කටයුතු කිරීමට අප සියලු දෙනා වගබලාගත යුතුයි.

ප්‍රශ්නය: විද්‍යාර්ථීන් ගුරු වෘත්තියට බඳවාගැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද? සබරගමුව පළාතේ ගුරු වෘත්තියට බඳවාගැනීම් මේ වන විටත් සිදු කර නැහැ. මේ පිළිබඳ ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

පිළිතුර: ගුරුවරුන් බඳවාගැනීමේදී අසාධාරණයක් වූවායැයි පවසමින් එක කණ්ඩායමක් අධිකරණයට ගොස් තිබෙනවා. ඒ ප්‍රශ්නය නිසා උසාවිය ගුරු පත්වීම් සඳහා බඳවාගැනීම් කල් දමා තිබෙනවා. මේ නඩුව ඉක්මනින් අවසන් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය: ක්‍රීඩකයන්ගේ පෝෂණ ප්‍රශ්න ගණනාවක් මේ වන විට ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර: දැනට ක්‍රීඩා අමාත්‍යංශයෙන් මේ සඳහා සහනයක් සලසා දී තිබෙනවා. මීට වඩා සංවිධානාත්මකව ඉදිරියේදී ක්‍රීඩකයන්ගේ පෝෂණය වර්ධනය කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම පුහුණු වන ස්ථාන වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන්ට වයස අවුරුදු අටේ සිටම පෝෂණය දිය යුතුයි. එනිසා පාසල් ක්‍රීඩකයන්ගේ පෝෂණ තත්ත්වය නංවාලීමට පෞද්ගලික ආයතන දායක කරගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් දීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය ඇඳුම් පිරිනැමීම ද සිදු කරනවා. අනෙක් රටවල වාණිජ මට්ටමෙන් ක්‍රීඩාව සිදු කරන නිසා ඊට පෞද්ගලික ආයතනවල දායකත්වයත් ඍජුව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටම දක්වා දියුණු වී නැහැ. ඊළඟ දශකය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටමට දියුණු කළ යුතුයි. ඒ සඳහා රජයෙන් අවශ්‍ය දායකත්වය දෙනවා.

ප්‍රශ්නය: ජනතාවට අස්වැසුම වැඩසටහන මඟින් දෙන රුපියල් පන්දහසට සීමා නොවී එම ජනතාවගේ හැකියා හඳුනාගෙන පුහුණුවක් දීමෙන් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රාග්ධනය සැපයීමේ වැඩපිළිවෙළකට යා හැකි නම් එය වඩා ප්‍රායෝගිකයි නේද?

පිළිතුර: අප පසු කළේ ඉතා අසීරු කාලයක්. එහිදී පළමු වගකීම වුණේ ජනතාව ජීවත් කරවීමයි. වෙනත් ව්‍යාපාර කිරීමට පෙර ඔවුන්ට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමට තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ පැවති සාකච්ඡාවලදීත් මේ ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. ඔවුන්ට දෙන ප්‍රතිලාභ නැංවීමට තීරණය කළ විට අපට මුහුණ දීමට සිදු වූ පළමු ප්‍රශ්නය වුණේ ඒ සඳහා මුදල් සොයාගන්නේ කෙසේද යන්නයි. ඉන් පසුව අස්වැසුම වැඩසටහන ආරම්භ කිරිම වෙනුවෙන් ලෝක බැංකුව අපට ඩොලර් මිලියන සියයක මුදලක් දුන්නා. සමෘද්ධියෙන් ජනතාවට දුන් මුදල ප්‍රමාණවත් නැහැ. එනිසා අප එම මුදල මෙන් තුන් ගුණයක් අස්වැසුම මඟින් ජනතාවට දීමට කටයුතු කළා. සුදුසුකම් සම්පූර්ණ කළ අය සඳහා ඍජුව එම මුදල් දීමට ඒ අනුව පියවර ගෙන තිබෙනවා. මේ සහාය නැතිව ජනතාවට ඉදිරියට යෑම අපහසුයි.

ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව මේ මුදල් පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ ගැනීමට වියදම් කරනවා. එවිට වෙළෙඳපොළ දියුණු වනවා. ඒ හරහා ආර්ථිකය දියුණු වෙනවා. ඒ වගේම විමධ්‍යගත අයවැය සහ කඳුකර දශකයට දී ඇති මුදල් වැය කිරීමේදීත් ඒවා නැවත ලැබෙන්නේ රජයටයි. පසුගිය කාලයේ ග්‍රාමීය කුඩා කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත බිඳවැටී තිබුණා. නැවත මේවා ගොඩනඟාගැනීමෙන් ඒ මුදල් නැවත රටේ ආර්ථිකයට එක් වනවා.

ප්‍රශ්නය: දුරබැහැර ප්‍රදේශවල දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑම වෙනුවෙන් වඩා හොඳ සන්නිවේදන පහසුකම් සලසා දිය හැකි නම් එය ඉතා යෝග්‍ය වෙනවා නේද?

පිළිතුර: ඇතැම් ප්‍රදේශවල මේ ගැටලුව තිබෙනවා. අප උත්සාහ කරන්නේ ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමටයි. ගමේ තිබෙන පහසුකම්වලින් තමයි ගම දියුණු වෙන්නේ. අපි එම පහසුකම් දැන් ක්‍රමානුකූලව වැඩිදියුණු කරගෙන යනවා. විශේෂයෙන් SLT සමාගම පෞද්ගලික අංශයට භාර දුන් විට මේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජන කිරීමට ඔවුන්ට දැනුම් දෙනවා. නවීන තාක්ෂණය නැතිව අපට ඉදිරියට යන්න බැහැ. අපේ ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් බවට පත් කළ යුතුයි. ආණ්ඩුවට මුදල් නැහැ. ඒ නිසා පෞද්ගලික අංශය සමඟ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා.

ප්‍රශ්නය: පසුගිය පාලන සමයේ වංචා කළ මුදල් නැවත අය කරගැනීමට ක්‍රමයක් නැහැ. මේ අයුරින් මහජනතාවගේ මුදල් වංචා කළ නොහැකි අන්දමේ නීතියක් ගෙන එනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද?

පිළිතුර: රටක් ලෙස අප විශාල ණය ප්‍රමාණයක් ගෙන තිබෙනවා. මේ ණය ගෙවීමට 2042 දක්වා මම කාලය ඉල්ලා තිබෙනවා. ඉතින් එක් පුද්ගලයකු හෝ දෙදෙනකු ගත් මුදල් නැවත අරගෙන මේ ප්‍රශ්නය විසඳන්න හැකියි කියා යමකු ප්‍රකාශ කරනවා නම් එය සම්පූර්ණ අසත්‍යයක්. ඒ වගේම අප දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා. ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු දිය හැකියි. අප ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවල ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.

ඒ වගේම දූෂණය නැති කළ යුතුයි. මමත් කටයුතු කරන්නේ ඒ සඳහායි. අපි ඒ වෙනුවෙන් නඩු ගණනාවක් පවරා තිබෙනවා. ඒ වගේම ස්වාධීන කොමිසමක් පත් කර තිබෙනවා. එමගින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු කණ්ඩායම් ප්‍රමාණවත් නැති නිසා විදේශ රටවලිනුත් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා තිබෙනවා. රටේ මුදල් වංචා කරපු අයට දඬුවම් කර එම මුදල් නැවත ලබා ගන්නවා වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළයුතුයි. මෙය ප්‍රශ්න දෙකක් බව හඳුනාගෙන අප සෑම විටම කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය: සිනමා කලාව තවම කර්මාන්තයක් නොවෙයි. කර්මාන්තයකට ලැබෙන කිසිදු වරප්‍රසාදයක් අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් කර්මාන්තවලට ලැබෙන වරප්‍රසාද සිනමා කර්මාන්තයට දෙන ලෙසත්, සිනමා පට බෙදාහැරීමේ ක්‍රමයේ පවතින අඩු පාඩු සකස් කර දී මේ කර්මාන්තය රැකගැනීමට කටයුතු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර: චිත්‍රපට ප්‍රමාණය වැඩි වීමත් සමඟ චිත්‍රපටයක් නිර්මාණය කර එය ප්‍රදර්ශනය කිරීමට වසර පහක් වැනි කාලයක් ගත වනවා. ඒත් චිත්‍රපටයක් නිර්මාණ කළ විගස එය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුයි. මේ ප්‍රශ්නය පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම සිනමා කර්මාන්තය දියුණු කිරීමට නම් හොඳ සිනමා ශාලා අවශ්‍යයි. ඒ නිසා අනෙක් රටවල් වගේ සිනමාව වෙළෙඳපොළට විවෘත කිරීමෙන් සිනමාව දියුණු කළ හැකියි. එහෙත් මෙය කරන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි. ආර්ථික වශයෙන් ආයෝජනය කරන මුදලට සරිලන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් ඵලක් නැහැ. ඒ නිසා මෙම ගැටලුව විසදීම පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රශ්නය: රටේ ඇති වී ඇති ආර්ථික ගැටලුව සහ එයට කඩිනමින් විසඳුම් දී ආර්ථිකය ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කළ හොත්

පිළිතුර: මේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ ඇති වූ දෙයක්. යුද්ධයෙන් පසුව අපේ අපනයන අඩු වුණා. එහෙත් ආනයන වැඩි වුණා. මේ නිසා වෙළෙඳ ශේෂයේ හිඟයක් ඇති වුණා. අප අපේ කෘෂිකර්මාන්තය පිළිබඳ අවධානය යොමු කළේ නැහැ. රටේ තේ, පොල්, රබර් කර්මාන්ත කඩා වැටුණා. අපේ ඉඩම් ප්‍රතිපත්ති නිසා මෙරට තේ වගා කළ විදේශ සමාගම් අප්‍රිකාව, කෙන්යාව වැනි රටවලට ගොස් තේ වගා කිරීමට යොමු වුණා. ඔවුන්ගේ රටවල එම වගාවන් හොදින් සිදුවන නිසා එම රටවල් දැන් අපට ස්තූති කරනවා.

අප අපේ අපනයන කර්මාන්තය දියුණු කළේ නැහැ. 1991දී මම කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මගෙන් විමසුවා ඔබ ඔබේ රටේ කර්මාන්ත දියුණු කරන්නේ කෙසේද, කියලා. දැන් මට ඔහුගෙන් ඒ ප්‍රශ්නය ඇසීමට සිදුව තිබෙනවා.

අපේ දේශපාලනඥයන් ජනතාවට පොරොන්දු ගොඩක් දුන්නා. ඒත් අප ඇත්ත ලෝකය දෙස බැලුවේ නැහැ. බංග්ලාදේශය නිදහස ලබන විට ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. අද බංගල්දේශය අපට ඩොලර් මිලියන දෙසීයක් දී තිබෙනවා. අපේ රටට මොකක්ද වුණේ කියලා දැනගෙන අප ඉදිරියට යා යුතුයි. ඒනිසා පොරොන්දු දීලා වැඩක් නැහැ.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් අය රට අතහැර ගියා. දැන් කියනවා එංගලන්තයට වඩා ලංකාව හොදයි කියලා. එංගලන්තයේ තිබෙන ප්‍රශ්න අපේ රටේ ප්‍රශ්න තරම් පහසුවෙන් විසඳාගන්න බැහැ. අපි අපේ රට ගොඩනගාගෙන ඉදිරියට යමු කියලා මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.

ප්‍රශ්නය: මේ වසරේදී පෞද්ගලික වාහන ආනයනය ලිහිල් කිරීම පිළිබඳ ඔබගේ අවධානය යොමු කරනවාද?

පිළිතුර: ලබන වසරේ සිට අප එය ක්‍රමානුකූලව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ වෙළෙඳපොළේ පවතින ගැටලු පිළිබඳ මම දැනුවත්. ඒත් තවමත් අපගේ ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැහැ. අපි මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙනවා. මොටර් රථ ආනයනයනය සිදු වුව හොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙනවා. එහෙත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට අප බලාපොරොත්තු වනවා. මේ වසරේ සංචාරකයන් ප්‍රවාහන සඳහා යොදාගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙනවා.