Tuesday, September 09, 2025
Follow Us
කෝප් කමිටුව ජාතික රක්ෂණ භාර අරමුදලට ලබා දුන් නිර්දේශ ප්‍රගතිය විමසයි
  • ප්‍රගතිය පිළිබද පැසසුම්
    • තරගකාරී ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට නිර්දේශ
    • පෙර තීරණයක් සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂක මණ්ඩලයත් කැඳවා කරුණු විමසයි
    • රක්ෂණ ප්‍රතිලාභ දීමනා කඩිනම් කිරීමේ යෝජනා
    • පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීමටත් උපදෙස්
    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) කැඳවා තිබිණි.


මෙහිදී එම ආයතනයට 2023.05.11 දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සරත් කුමාර, ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති නීතීඥ සාගලා අබේවික්‍රම, ප්‍රධාන විධායක නිලධාරී ගමානි ලියනාරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම කාරක සභාවට සහභාගී වූහ. එසේම පෙර ලබා දුන් තීරණයක් පිළිබද විමසීමට හිටපු සභාපතිවරයෙකු වූ සේනක අබේගුණසේකර මහතා ඇතුළු හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ද මෙම අවස්ථාවට කැදවා තිබිණි.


කෝප් කමිටුව පෙර ලබා දුන් නිර්දේශවලට අනුගත වෙමින් ආයතනය ලබා ඇති ප්‍රගතිය පිළිබදව කමිටු සභාපතිවරයා සිය ප්‍රශංසාව පළ කළ අතර පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු විය.


ප්‍රධාන කලමනාකරණ තනතුරු ඇතුළු පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම


පැවති තනතුරුවල පුරප්පාඩු සම්පූර්ණ කරමින් පවතින බව ප්‍රධාන විධායක නිලධාරීනිය පෙන්වා දුන්නාය. එහෙත් කළමනාකරු (ප්‍රතිරක්ෂණ) තනතුර සදහා පවතින වැටුප් පරිමාණය මත කිසිදු සුදුසු අයදුම්කරුවකු ඉදිරිපත්ව නොමැති බවත් හෙළි විය. මේ අනුව රාජ්‍ය සේවයේ ගැටලුවක්ව පවතින ඇතැම් තනතුරු සදහා ගැළපෙන පරිදි වැටුප් තල ඉහළ නැංවීම පිළිබදව පොදු ප්‍රතිපත්තිමය තීරණයක් කඩිනමින් ගන්නා ලෙස ද භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාට කමිටු සභාපතිවරයා නියෝග කළේය.
එසේම අවදානම් කළමනාකරණ අංශයක් ඇති කිරීම සහ ඊට අදාළ තනතුරක් සදහා මේ වන විට අනුමතිය හිමිව ඇති බවද නිලධාරීහු පැවසූහ.


පාරිභෝගික ඇමතුම් කළමනාකරණය
කාර්යක්ෂම පාරිභොගික ඇමතුම් කළමනාකරණ ඒකකයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් නැවතත් අවධාරණය කරන ලදී. 2023 අගෝස්තු වන විට ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන ඇමතුම්වලින් 58%ක් සදහා ප්‍රතිචාර දක්වා තිබුණද ප්‍රතිචාර දැක්වීමට නොහැකි ප්‍රමාණය 42%ක් බව අනාවරණය විය. ‍15 දෙනෙකුගෙන් යුතු ස්ථිර කාර්ය මණ්ඩලයක් සදහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කර ඇති බවත් හෙළි විය. ඒ අනුව ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දීම සිදුවිය. තවද මේ වන විට සදුදා දින විශේෂ මහජන සේවා දිනයක් බවට පත්කොට විශේෂිත දුරකථන අංකයක්ද හදුන්වා දුන් බව සභාපතිවරිය මෙහිදී පැවසීය.


රක්ෂණ ප්‍රතිලාභ දීමනා ගෙවීම ප්‍රමාදය
රක්ෂණ ප්‍රතිලාභ ගැනීමට දින 200-240ක ප්‍රමාණයක් ගතවීම නිසා විශාල මහජන චෝදනාවක් පැවති අතර මේ වන විට දින 40 ක කාලයක් තුළ එම කටයුතු සිදු කරන බව අනාවරණය විය. එම කාලය දින 10 දක්වා අඩු කරගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දීම සිදුවිය. අඩුපාඩු සහිත අයදුම්පත් සදහා පමණක් යම් ප්‍රමාදයක් සිදු වන බව සභාපතිවරිය පැවසීය. මේ අනුව අඩුපාඩු රහිතව අයදුම්පත් ගෙන්වා ගැනීමට දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.


ආදායම් වැඩිදියුණු කිරීමේ උපාය මාර්ගික සැලැස්ම
නව ආදායම් වැඩිදියුණු කිරීමේ උපාය මාර්ගික සැලැස්ම යටතේ නව ප්ලැටිනම් රක්ෂණවාරණයක් හදුන්වා දීම, සංක්‍රමණික සේවකයන් සදහා රක්ෂණ ක්‍රම හදුන්වා දීම, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකටන් සදහා රක්ෂණ ක්‍රම හදුන්වා දීම, විශ්ව විද්‍යාල ඇතුළු නව ආයතන සදහා රක්ෂණ ක්‍රම හදුන්වා දීම ඇතුළු පියවර ගැනීමට අපේක්ෂා කරන බව සභාපතිවරිය පැවසීය.
මෙම ආයතනය විශාල පරිහානියක් කරා යන බව මීට පෙර කෝප් කමිටුවේදී නිරීක්ෂණය වූ බැවින් ආයතනය සම්බන්ධ ඉදිරි යෝජනා ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර තිබිණි. මේ අනුව මෙම ආයතනය ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සමග අනුබද්ධ කරන ලෙස අමාත්‍යාංශය යෝජනා ඉදිරිපත් කර ඇති බව කෝප් සභාපතිවරයා පැවසීය.


එහෙත් අරමුදලේ වත්මන් සභාපතිනිය අවධාරණය කර සිටියේ නව උපාය මාර්ගික සැලැස්ම ඔස්සේ කටයුතු කරමින් ආයතනය වඩාත් යහපත් තැනකට ඔසවා තැබිය හැකි බවයි. එසේම දැනට පාඩු ලබන මෝටර් රථ රක්ෂණය වැඩි දියුණු කොට ලාභ ලබන තත්ත්වයෙන් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසද කමිටුව විසින් උපදෙස් දෙන ලදී.
මීට අමතරව ඒකාබද්ධ පරිගණක පද්ධතියක් සකස් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. මේ අනුව උපදේශකවරයෙකුගේ මාර්ගයෙන් සුදුසු ආයතනයකට මෙම කටයුත්ත භාරදෙන ලෙසත් කමිටුව නිර්දේශ කරන ලදී.


හිටපු සභාපතිවරයාගෙන් කරුණු විමසීම
තවද වැඩ වර්ජන කැරලි කෝලහල සහ ත්‍රස්ත්‍රවාදී කටයුතු සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් විසින් නිකුත් කරනු ලබන සියලුම රක්ෂණ ආවරණ මගින් ලබා ගන්නා මුදල් 100%ක් අරමුදලට ලැබිය යුතු වුවද 12%ක් පමණක් ලබා ගැනීම පිළිබද අවධානය යොමු විය. මේ පිළිබදව විමසීමට හිටපු සභාපතිවරයෙකු වූ‍ සේනක අබේගුණසේකර මහතා ද කැදවා තිබූ අතර මෙය ඒ මහතාටත් පෙර සිටම ගනු ලැබූ තීරණයක් බව සදහන් කළේය. එසේම මේ සම්බන්ධයෙන් මේ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බලා කටයුතු කරන ලෙස විගණකාධිපතිවරයාට දැනුම් දුන්නේය.
මීට අමතරව වෙළද ප්‍රචාරණය හා ප්‍රවර්ධනය ඇතුළු ආයතනයේ වත්මන් තත්තවය පිළිබදව ද මෙහිදී කරුණු සාකච්ඡා විය.


රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලාන්සා, ජයන්ත සමරවීර, සංජීව එදිරිමාන්න, මේජර් සුදර්ශන දෙනිපිටිය, ප්‍රේම්නාත් සී දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම් රාමේෂ්වරන්,රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු මෙම කාරක සභාවට සහභාගී වූහ.