මෙවර යල කන්නයේ කාලගුණික වෙනස්කම් නිසා වගාහානියට පත් වූ ගොවීන්ට අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
තංගල්ල ප්‍රදේශයට ඇද හැළුනු මහා වර්ෂාවෙන් හානියට පත්වු කුඹුරු නිරීක්ෂණය කිරීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
“ මෙවර යල කන්නය අපේ බලාපොරොත්තුවේ වගා කන්නය වුනා. අවුරුදු තුනකට පසුව සියලුම පොහොර වර්ග ගොවීන්ට වී වගාව සඳහා ලැබුනේ මෙවරයි. ඒ වගේම හෙක්ටයාර් ලක්ෂ 05කට වැඩි කුඹුරු ප්‍රමාණයක් වගා කළා. ඒ නිසා විශාල වී අස්වැන්නක් අපි අපේක්ෂා කළා.
නමුත් පසුගිය මාස කිහිපය තුළ බලපෑ දැඩි නියඟය නිසා කුඹුරු අක්කර දහස් ගණනක් විනාශ වුනා. ඒ නිසා අපි නියඟයයෙන් හානියට පත් කුඹුරු තක්සේරු කිරීම ආරම්භ කළා. එම කටයුතු අවසන් වෙමින් පවතින අවස්ථාවේ නියඟය අවසන් කරමින් අධික වර්ෂාව ලැබෙන්න පටන් ගත්තා. මේ වර්ෂාව නිසා අස්වනු නෙලීමට ආසන්න කුඹුරු අක්කර සිය ගණනක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා.
ඒ නිසා වර්ෂාව හා ජලගැලීම් නිසා හානියට පත් කුඹුරු ගැන තක්සේරු කිරීම් ආරම්භ කරන ලෙස මම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නා. නියඟය නිසා ආරම්භ කළ හානි තක්සේරු කිරීමේ කටයුතු මාසයක් තුළ ගංවතුර හා වැස්ස නිසා සිදුවන හානි තක්සේරුවක් දක්වා වෙනස් කරන්න එම මණ්ඩලයට සිදු වී තිබෙනවා.
වී, බඩඉරිගු වැනි වගා කළ වගාහානි සිදු වූ කිසිදු ගොවියෙකුට අසාධාරණයක් වන්නට රජය ඉඩ තබන්නේ නැහැ. තක්සේරු කිරීම් අවසන් වූ වහාම වන්දි ලබා දීම සඳහා එම අවසන් වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ වගේම මම හිතන හැටියට මෙතෙක් අපේ රටේ වගා කන්නයක දී වගාහානි වන්දි වශයෙන් ලබා දෙන විශාලම වන්දි මුදල මෙම යල කන්නයේ දී ගෙවීමට රජයට සිදු වෙනවා.
අපි කෘෂිකර්ම අමාත්‍යාංශය විදියට නිසි කළට වේලාවට වගා කටයුතු ආරම්භ කරන ලෙස සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වර්ෂාව නිසා ලැබෙන ජලය උපරිමව කළමනාකරණය කර ගත යුතුව තිබෙනවා.