Sunday, July 13, 2025
Follow Us
ඩොලර් නැත්නම් ඊළඟට එන්නේ පවර් කට් - රනිල්ගේ සාධාරණ සැකය සහ ඇමතිවරු දුන් පිළිතුරු

බලශක්ති අමාත්‍යාංශයෙහි වැය ශීර්ෂය පිළිබඳව විවාදයට ගැනීමට පෙර රටේ පවතින විදේශ සංචිත පිළිබඳ නිශ්චිත තොරතුරු පාර්ලිමේන්තුවට හෙළිකරන ලෙස ඉල්ලා සිටි හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේදී රට මුහුණ දිය හැකි විදුලි කප්පාදුවක් පිළිබඳව ද ඊයේ (29) අනතුරු හැඟවූයේය.

"අපට එක තොරතුරක් ලබාගන්න ඕනෙ මේ විවාදයට ඉස්සෙල්ලා. විශේෂයෙන්ම මම කැමතියි සිකුරාදා හැන්දෑව වෙනකොට මේ රටේ තියෙන විදේශ විනිමය තත්වය මුදල් ටිකත් ඩොලර් වලින්, ඒවගේම රත්තරන් ටිකත් ඩොලර් වලින් අපට දැනුම් දෙනවා නම්. මොකද ඕක කොහොමත් දැන් යවලා තියෙනවා වොෂින්ටන් වලට. IMF එකට යවන්න තියෙනවා. මොකද අපට තියෙන විදේශ විනිමය තත්වය උඩ තමයි අපට තියෙන බලශක්තිය ගැන තීරණය කරන්න වෙන්නෙ.

විදේශ විනිමය අඩු වුණොත් අපට විදුලි කප්පාදු ඇතිවෙයි. කමක් නෑ, අපට ඒකට මුහුණ දෙන්න වෙනවා නම් අපි ඒක කොහොමද කරන්නෙ, මොකක්ද කරන්නෙ කියලා අපි දැනගන්න කැමතියි. ඒ නිසා අද උදේ වෙනකොට මහබැංකුවෙන් ඒක ලබලා දෙනවා නම් එතකොට අපට පුළුවන් ඒ අනුව කතා කරන්න. ඒක කෝල් එකක් දැම්මාම දෙයි, සිකුරාදා IMF එකට යැව්ව කරුණු ටික අපට දෙන්න කියලා. අපට නැත්නම් මේ කතාව ගෙනියන්න බෑ, මොකද විදුලි කප්පාදු තියෙනවද, නැද්ද කියලා තීරණය වෙන්නෙ එතනින්. මොකද ඔබට මුදල් නැත්නම්, ඔබට ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය කරන්න බෑ. තෙල් සහ ගල් අඟුරු නැතිනම් අපට විදුලි කප්පාදු ගැන සාකච්ඡා කරන්න වෙනවා"

මීට ප්‍රතිචාර දක්වමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මේ මොහොත වනවිට රටේ විදුලි කප්පාදු නොමැති බවත් වික්‍රමසිංහ මහතා අවධානය යොමුකිරීමට උත්සාහ කරන බැරෑරුම් තත්වය පිළිබඳව බලශක්ති අමාත්‍යාශයේ වැයශීර්ෂයේ විවාදය අතරතුර ඒ මහතාට ප්‍රශ්න ඇසිය හැකි බවත්ය.

එවිට වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ඔහු මේ කතා කරන්නේ මේ වසරේ දෙයක් සම්බන්ධයෙන් නොව 2022 අයවැය සම්බන්ධයෙන් බවයි. එසේම පසුගිය ජනාධිපතිවරයා ද "ජනප්‍රිය නොවන තීරණ" ගැනීමට සිදුවනු ඇති බවක් පැවසූ බව සිහිපත් කළ ඒ මහතා විදුලි කප්පාදු කිරීමට සිදුවුවහොත් එය කර්මාන්ත ක්ෂේත්‍රයට බරපතළ ලෙස බලපාන බවත් පෙන්වා දුන්නේය.

තමන්ට එන ආරංචි අනුව දැනට විදෙස් සංචිත ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරක් පමණක් බවත් එයිනුත් ඩොලර් මිලියන 300ක් ඇත්තේ රත්‍රන් වශයෙන් බවත් පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා ඒ අනුව වැය කළහැකි මුදල් ඇත්තේ බිලියන 1.2ක් බවත් සඳහන් කළේය.

බලශක්ති අමාත්‍යවරයා වශයෙන් මීට පිළිතුරු දෙමින් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ විදේශ විනිමය තත්වය වික්‍රමසිංහ මහතා සාධාරණ බියක් පළ කළා වුවත් මේ දිනවල පවතින වැසි තත්වයෙන් ජලාශ පිරී ඇති නිසාත්, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීමට පෙර එහි ගබඩාවල දැවිතෙල් මෙට්‍රික් ටොන් 70000ක් තිබුණු හෙයින් වර්ෂාව නතර වූ පසුවත් දින 40ක පමණ කාලයකට දැවිතෙල් විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් පරිදි දැවිතෙල් ඇති නිසාත් ගැටළුවක් මතු නොවන බවකි.

එහෙත් ඊට ද ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ජලාශ පිරී ඇතත් ඒවා කෘෂිකර්මාන්තයට ද යොදවා ගතයුතු නිසා ලබන වසරේ මාර්තු මාසය පමණ වනවිට ආහාර හිඟයත් සමගම බලශක්ති හිඟයත් පැමිණෙනු ඇති බවකි.

(LNW)