Sunday, July 06, 2025
Follow Us
ආණ්ඩුව රත් කළ ලොහාන් රත්වත්තගේ නාටකය එළියට

යළිත් වරක් පිස්සු නටන්නට පටන් ගත් ලොහාන්


කලක් රත්වත්තේ පරම්පරාව ගැන ලියවුණේ උඩරට රදල මහා පැලැන්තියක් ලෙසය. උඩරට රාජ්‍යය පැවැති සමයේ සිට මහා නිලමෙලා වූ එම පරම්පරාවේ හැරිස් ලෙව්කේ රත්වත්තේ මහනුවර දළදා මාලිගාවේ ගරු ගාම්භීර දියවඩන නිලමේ ධුරය පවා දැරුවේය.

එමතු නොව ලොව මුල්ම අගමැතිනි වූ සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායකද ඒ පරම්පරාවේය.

ඇය සිරිමා ආර්.ඩී. යනුවෙන් කෙටි කරන්නේ ‘රත්වත්තේ ඩයස්’ යන පෙළපතේ නමය.

එහෙත් දැන් රත්වත්තේලා ගැන ලියන්නට සිද්ධ වී ඇත්තේ ඔවුන්ගේ පරම්පරාවේ කුල ගෞරවය ගැන නොව අගෞරවය ගැනය.

ඒ දියවඩන නිලමේ හැරිස් ලෙව්කේ රත්වත්තේගේ හා සිරිමාවෝ රත්වත්තේලාගේ මුනුපුරා යළිත් වරක් පිස්සු නටන්නට පටන් ගෙන ඇති නිසාය.

‘‘යළිත් වරක්’’ යනුවෙන් විශේෂයෙන් සඳහන් කළේ මේ මුනුපුරාගේ නම මින් පෙරත් පොලිස් ​පොතේ ලියැවී තිබීම නිසාය. වරක් දෙවරක් නොව කීපවරක්ම ඔහුගේ නම පොලිස් පොතේ ලියැවුණේය.

එක් සිද්ධියක් වන්නේ ලංකාවේ සිටි රග්බි පුහුණුකරුවකු වූ ෆීජි ජාතික ජොයෙල් පේරා ඝාතනයය. එපමනක් නොව උඩතලවින්න දස පුද්ගල ඝාතනයේ සැකකරුවකු ලෙස මේ මුනුපුරා බොහෝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

ඒ තම පියා වූ අනුරුද්ධ රත්වත්තේ සමගය. චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රබලම චරිතයක් වූ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමහලු පුතා ​ලොහාන් රත්වත්තේය. අනුරුද්ධගේ තාත්තා හැරිසුත් සිරිමාවෝගේ තාත්තා බාන්ස් රත්වත්තේත් අයිය මලෝය. ලොහාන් රත්වත්තේ ගැන රට්ටු මුලින්ම කතා කරන්නට පටන් ගත්තේ එකල නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා වූද ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මාමා වූද ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ ඇමැති ධුරය දැරූ කාලයේය.

යටත් පිරිසෙන් එකල ඔහු ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක්වත් නොවීය. ඔහු මුලින්ම පාර්ලිමේන්තුවට පත් වන්නේ 2010 මහා මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙනි.

ඔහු දිගටම මහා මැතිවරණවලින් ජය ගනිමින් පාර්ලිමේන්තුවට ආවේය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය ඇමැතිවරයා වූ ඔහුට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිකම ලැබෙන්නේ මහර බන්ධනාගාරයේ වූ කැරැල්ලත් සමගය.

ඒ සිද්ධියෙන් පසුව එතෙක් එම ඇමැතිකම විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේට කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැති දුන්නේය.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ධුරය දරමින් ලොහාන් රත්වත්තේ ලොකුම හපන්කම කළේ ගිය සතියේ යෙදී තිබූ සිරකරු දිනයේය.

මුල්ම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් 05 දා පස්වරුවේය. වැලිකඩ බන්ධනාගාරයට රාජ්‍ය ඇමැතිවරයා පැමිණ තිබුණේ රැකවලුන් හා මිතුරන්ද සමගය. මිතුරන්ට එල්ලුම්ගස පෙන්වීමට කොට කලිසමෙන් සැරසුණු අමාත්‍යවරයා පිස්තෝලයක් ද අතැතිව එහි ගිය බව පැවසේ. බන්ධනාගාර තොරතුරුවල සඳහන් වන ආකාරයට වාහන දෙකකින් මෙම පිරිස පැමිණ තිබේ.

ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර ගේට්ටුව වෙත පැමිණෙන්නේ සවස 4.45ට පමණය. බන්ධනාගාරයට සිවිල් අයට ඇතුළුවීම සවස 5.00න් පසුව තහනම්ය.

මේ දිනවල එය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත්තේ කොරෝනා වසංගතය නිසාය. මේ හේතුවෙන් හිරේ සිටින රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා බැලීමටත් මන්ත්‍රීවරුන්ට අවසර ලැබුණේ නැත. ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරයට යාමට හිමිකමක් තිබියදී පවාය.

ඇමැතිවරයා බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසල සිය වාහන නවතා බැස යද්දී එහි සිටි කාන්තාවක් වාහනයේම රැඳී සිටින අයුරු බන්ධනාගාර නිලධාරීහු දුටුවහ.

මොහොතකින් ඇය වාහනයෙන් පිටතට පැමිණ ගේට්ටුවෙන් පිටත කොටසේ සිට දුරකථනයෙන් බැණ වදින ආකාරය එහි සිටි නිලධාරීන්ට දැකගත හැකි විය.

එම කාන්තාව විවාහක රූ රැජිනක් බව කලින් කියවුණ ද පසුව කියවුණේ එහි සිටියේ කොණ්ඩය කැපූ තරුණියක් බවය. රාජ්‍ය ඇමති බන්ධනාගාරයට ඇතුළුවීමේදීම මුලින්ම පරීක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම ඔහුට ආචාරය කර පිළිගත්තේය.

ඒ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ජේලර් තරිඳු ලක්මාල් ගේට්ටුව භාරව සිටියේය. ප්‍රධාන දොරටු පාලක ලෙස අනිල් වීරසිංහත්, සහායක නිලධාරී ලෙස නියාමක අතපත්තුත් සිටියහ.

දොරටු පාලක නිලධාරීන් බන්ධනාගාරයට යන ගේට්ටු විවර කර දුන් පසු ඇමැතිවරයා හා ආරක්ෂකයා ද සමග එහි වූවන් බන්ධනාගාරයට ඇතුළු වූහ.

වැලිකඩ බන්ධනාගාර අධිකාරී යූ.බී. වලිසුන්දර බන්ධනාගාර කොමසාරිස් තුසිත උඩුවර ඇතුළු නිලධාරීන්ද ඇමැතිවරයා පැමිණි වග සැලවී එහි පැමිණියහ. එල්ලුම් ගස ඇති අසලටද ගිය කණ්ඩායම චැපල් වාට්ටුවට යන පාරේදී ආධුනික නියාමකයන් මුහුණට හමුවිය.

එහිදී බීමත්ව සිටි බව කියැවෙන ඇමතිවරයා කොට කලිසම පිටින්ම එහි වූ නියාමක පිරිස ආමන්ත්‍රණය කළේය.

එම පිරිස පසු දින තම පත්වීම් ලිපි භාරගැනීමට නියමිතව සිටියේ ද රාජ්‍ය ඇමැතිවරයා අතිනි.

අලුතින් බඳවාගත් නිලධාරීන් 56ක් ඒ වන විට බන්ධනාගාර මුළුතැන්ගෙය හා චැපල් වාට්ටුවට යන පාරේදී ඇමැතිවරයාගේ අණසකට ලක් වූහ. තමුන්ලා හොඳින් හිටියේ නැතිනම් වැඩ තහනම් කරන බව එහිදී ඇමැතිගේ කටින්ම කියවුණේය.

මේ සියලු කාරණා සිදුවෙද්දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය.

පැය ගණනකින් පසු රාජ්‍ය ඇමැතිවරයා බන්ධනාගාරයෙන් පිටව ගියත් එම උණුසුම බන්ධනාගාරය පුරා පැතිර ගියේය. බීමත්ව, කොට කලිසමක් හැඳගත් ඇමතිවරයා පිස්තෝලයක් ද සමගින් වැලිකඩට ඇතුළු වූ බවට වූ කතාව හිරගෙදරින් පිටතටත් පැමිණියේය.

ඇමැතිවරයා බන්ධනාගාරයෙන් පිටව යද්දී ගේට්ටු භාරව සිටියේ සවස 5.00 න් පසුව රාත්‍රී මුරයට පැමිණි නිලධාරියාය. එම උණුසම පහවයන්නට මත්තෙන් සැප්තැම්බර් 12 දාට යෙදී තිබූ සිරකරු දිනයදා අපූරු ආකාරයකින් සිරකරුවන් සැමරීමට රාජ්‍ය ඇමැතිවරයා අනුරාධපුර බන්ධනාගාරයට එන්නේය.

එදින පස්වරුවේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට එන්නේ සිරකරුවන් සිර මැදිරි වෙත දමා තිබියදීය.

අමාත්‍යවරයා එහි පැමිණෙන විට අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රෝහණ අජිත් ද එහි රැඳී සිටියේය. ඇමැතිවරයා ආරක්ෂකයන් ද සමග යන්නේ විශේෂ ගණයේ එල්.ටී.ටී.ඊ. සිරකරුවන් රඳවා ඇති සිරමැදිරිය වෙතය.

එහිදී සිරමැදිරියේ සිටි සිරකරුවන් අට දෙනකු පිටතට ගෙන දණ ගැස්සුවේය. රාජ්‍ය ඇමැතිවරයා එහිදීත් ගියේ වැලිකඩ මෙන් පිස්තෝලයක් ද අතැතිවය.

එතැනදි ඇමැතිවරයා මති අරසන් සුලක්ෂන් නමැති අංක 140 දරන එල්.ටී.ටී.ඊ. සිරකරුගේ හිසට පිස්තෝලය තුන් වරක් එල්ල කළ බව බන්ධනාගාර සිරකරුවන් කියන කතාවය. උඹලව එළියට යවනවද, නැද්ද කියල තීරණය කරන්නේ අපි. උඹලා දඟලන්න ලෑස්ති වෙන්න එපා කියමින් පිස්තෝලය එල්ල කළ බව සිරකරුවෝ පවසා සිටියහ.

මෙහිදී අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා එපා සර් කියමින් කෑ ගසද්දී ඔහුටද කුණු හරුපයෙන් ආමන්ත්‍රණය කළ බව සිරගෙදරින් කියන කතාවය. ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ආරම්භ වන්නට තිබුණේ පැය කිහිපයකි.

සැප්තැම්බර් 13දා එම සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසරිස් මිෂෙල් බැච්ලේට් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම, චූදිතයන් නිදහස් කිරීම ඇතුළු කාරණා ගැන ශ්‍රී ලංකාව සම්බන්ධව චෝදනාත්මක ස්වරයෙන් කතා කළාය.

ඒ වන විට මෙම සිද්ධිය ගැන හෙළිවී නොතිබුණ ද ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් පසුදිනම නිවේදනයක් කළේය. සිරකරුවන්ට අයුතු ලෙස සැලකීම හෙළා දකින බවද ඇය නිවේදනය කළාය.

මෙම සිදුවීම්වලින් පසුව අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය ජාත්‍යන්තරය දක්වා ඇදී ගියේය.

බන්ධනාගාරයේ සිදුවන මේ නාටක මාලාව නිසා ඉහළ සිට පහළටම නිලධාරීන් ලෙස තමන් දැඩි සේ කලකිරීමට පත්ව සිටින බව ඔවුන් කියන කතාවය. නමුත් ඒ කිසිදු නිලධාරියෙක් කළුගලේ ඔළුව ගසා ගන්නට කැමැති වූයේ නැත.

ඇමැතිවරයා සිරගෙදර තුළ පිස්සු නැටූ හැටි නිලධාරීන් ඇස් පනාපිට දැක්කත් එවැනි දෙයක් වුණේ නැති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියටත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායකටත් කියන්නට සිද්ධ වුණේ ඒ නිසාය.

මාධ්‍යවලින් මෙම සිදුවීම ප්‍රචාරය වීමත් සමග රජයට විපක්ෂය ඇතුළු පක්ෂ ගණනකින් විරෝධය එල්ල විය.

‘‘පසුගිය දවසක බීමත්කමින් ගිහිල්ලා රුවන්වැලිසෑයට ඇතුළු වෙන්න හදපු රාජ්‍ය ඇමැතිවරයා බන්ධනාගාරයේ එල්ලුම් ගස අසලට ගොස් පිස්තෝල ප්‍රදර්ශනය කරමින් මරණ දඬුවම නියමවූ සිරකරුවන්ට තර්ජනය කරලා තියෙනවා. බන්ධනාගාරයට යනවා නම් ඇමැතිට නොවෙයි කිසිම අයකුට ආයුධ ගෙනියන්න බැහැ’’ යැයි හිටපු බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල සඳහන් කළාය.

කෙසේ නමුදු අන්තිමේදී ඇමැතිවරයා ඉල්ලා අස් වූයේය. ඔහු මාධ්‍යට කියා තිබුණේ මාධ්‍ය මගින් නගන චෝදනාව අසත්‍ය බවය. එහෙත් හිරකරුවන් කියන්නේ ඇමැතිවරයා තමන්ගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කළ බවය. ඇමැතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයකට යාමේ අයිතිය තමාට ඇති බව රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍යවලට පැවසුවේ තමා ගියේ සිරකරුවන්ගේ සුබසාධන බැලීමට කියාය. බන්ධනාගාරය යනු විනය දෙපාර්තමේන්තුවක් බැවින් එහි කොට කලිසම් ඇඳගෙන ඇතුළු වීමට කිසිවකුට නොහැකිය.

එමෙන්ම මහෙස්ත්‍රාත්වරයකු භාරයේ සිටින සිරකරුවකුට තර්ජනය කිරීම හෝ බැණ වැදීම කිසිවිටෙක කළ නොහැකිය. අනුරාධපුර බන්ධනාගාරයේ දී සිදුවූ දෙය මතිඅරසන් සුලක්ෂන් ඊළඟ නඩු දිනයේදී අධිකරණයට පැමිණිලි කළහොත් ඇමැතිවරයා අධිකරණයට කැඳවීමට වුව මහෙස්ත්‍රාත්ට බලය ඇත.

සුලක්ෂන් මෙන්ම වේලන් නමැති එල්.ටී.ටී.ඊ. සිරකරුවන් දෙදෙනාම තමන්ගේ ජීවිත ආරක්ෂාව තර කරන ලෙසත් මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට දන්වා තිබිණි. ඔවුන්ව දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ද හමුවූ මොහොතේ මෙම දෙදෙනා උතුරු නැගෙනහිර බන්ධනාගරයකට මාරු කරන ලෙසද ඉල්ලා සිටියහ. මින් පෙර ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා එල්.ටී.ටී.ඊ. සිරකරුවන් පිරිසක් බැලීමට කළුතර බන්ධනාගාරයට ගිය මොහොතේ එහි සිටි සිරකරුවන් ඔහුට පහර දුන්හ. එම පහර කෑමෙන් සිහිසුන් වී අසාධ්‍ය තත්ත්වයේ වූ ඇමැතිවරයා ජීවිතය බේරා ගත්තේ අනූ නවයෙනි. එවැන්නක් මෙවර සිදු නොවුයේ ඇමැතිවරයාගේ වාසනාවකටය.

බන්ධනාගාර ආඥා පනතේ නීතිරීති අනුව මෙන්ම ලෝකයේ පිළිගත් නෙල්සන් මැන්ඩෙලා නීතිය අනුව කිසිදු බන්ධනාගාරයකට ආයුධ රැගෙන යාමට කිසිවකුට නොහැකිය. බන්ධනාගාර නිලධාරියකුටවත් සිරගෙය ඇතුළුව ආයුධ රැගෙන යාමට නොහැකිය. එය ඇමැතිවරයාටද පොදුය.

සාමාන්‍යයෙන් මෙතෙක් විෂය භාර ඇමැතිවරයා බන්ධනාගාරයේ සංචාරය කිරීමට ගියේ බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුවය. නමුදු රාජ්‍ය ඇමැතිවරයා කියන්නේ නොදන්වා ගියේ එහි ඇත්ත නැත්ත සොයා බැලීමට බව කියමිනි.

රාත්‍රී කාලයේ මිතුරන් සමග ගොස් මේ කරන අමුතු සොයා බැලීම හමුවේ අපකීර්තියට පත් වූයේ ආණ්ඩුවත් ශ්‍රී ලංකා ජනරජයත්ය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් රස්සාව එපා කරවන තරමේ මෙම සිදුවීම් අතරේ රාජ්‍ය ඇමැතිවරයා ඉල්ලා අස්වූ බව අසා වැලිකඩ හා මැගසින් බන්ධනාගාර බැරැක්ක තුළ සිටි නිලධාරීන් රතිඤ්ඤා පත්තු කරන්නටද සූදානම් වූහ. එය ඉහළ නිලධාරීන්ගේ ඉල්ලීමට නැවතුණේ අලුතින් සේවයට එක්වූ නිලධාරීන්ට වැරදි ආදර්ශයක් ඇතිවීම නවත්වන්නටය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියත් මුල් දින කිහිපයේ මාධ්‍ය මග හරින්නට වූයේ මෙම සත්‍ය සිදුවීම ගැන කටක් අරින්නට නොහැකි වට පිටාවකය. අන්තිමේදී අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය ගැන විමර්ශන කිරීමට බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු පත් කර තිබුණේය. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවද මෙම සිදුවීම් ගැන විමර්ශන කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කළේය.

මෙම පැමිණිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පොලිස්පති චන්දන වික්‍රමරත්නට උපදෙස් දී ඇත්තේය.

දැන් කළ යුතුව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා නිසි පරීක්ෂණයක් කරවීමය.

(Aruna)