Tuesday, October 22, 2024
Follow Us
විමල්ගේ ලක්ෂ 750 අයථා වත්කම් නඩුව කල්යයි

රුපියල් ලක්ෂ 750කට ආසන්න අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අගෝස්තු 08 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීය.

නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් හැටන් නැශනල් බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම වැනි සමාගම් කිහිපයක ප්‍රධාන ශාඛා මඟින් නිකුත් කළ ලේඛන ඉදිරිපත් කර ඇති නමුත් ඒවා නිකුත් කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට එම ආයතන මෙතෙක් අවසර ලබාදී නොමැති බව විත්තියේ නීතීඥවරුන් විසින් අධිකරණයට දන්වා සිටි අතර පරීක්ෂා කිරීමට අවශ්‍ය ලේඛන මොනවාදැයි තමන්ට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් නියම කරන ලදී.

2010 වසරේ ජනවාරි 01 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා යන ආකාරයට රුපියල් ලක්ෂ 750කට ආසන්න මුදල් සහ වත්කම් නීතිවිරෝධී අයුරින් උපයාගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව නඩුව ගොනුකර තිබේ.

කෙසේවෙතත් මෙම බැංකු ගිණුම් ලේඛනවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා විත්ති පාර්ශ්වයට අධිකරණය විසින් අවසර ලබාදුන්නේ 2019 ජනවාරි 14 වනදා වන අතර දැනට ඒ සඳහා මාස හතක් ගත කර ඇතත් තවත් කල් එය අදින ආකාරයක් මින් පෙන්නුම් කෙරේ.

(LNW)