Monday, April 29, 2024
Follow Us
ආරාධනා ලැබුනත් පොහොට්ටු සන්ධානයට යන්නෙ නෑ - පලනි දිගම්බරම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසනවා. දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ලෙස තවමත් එක්සත් ජාතික පෙරමුණ සමග සිටින බවත් ඉන් ඉවත්වීමට හෝ වෙනත් පක්ෂයක් සමග සන්ධානගත වීමට හෝ බලාපොරොත්තුවක් නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිගම්බරම් මහතා මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කළයුතු බවත් ඒ සඳහා මැදිහත්වීමට සුළු පක්ෂ ලෙස තමන්ට අයිතියක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත් තිබෙන විවේචන අතහැර සියලු දෙනා එක්ව කටයුතු කරන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට එජාපය ප්‍රමුඛ සන්ධානයට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පවසයි.

එජාපෙ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගන්නේ නම් ජයග්‍රහණය සඳහා වැඩි අවස්ථාවක් තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගතයුත්තේ එක්සත් ජාතික පක්ෂය බව ද ඔහු පෙන්වා දෙයි.

එජාපය සමග ලබන 05 වැනිදා ගොඩනගන සන්ධානය හා එක්වීම සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එන බව ද පලනි දිගම්බරම් මහතා පවසනවා.

(LNW)