Monday, April 29, 2024
Follow Us
මහින්ද පරාද කරපු අපිට අනිත් අය අභියෝගයක් නෙවෙයි - රවී කරුණානායක

පසුගිය ජනාධිපතිවරණයේදී, බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට හැකි වූ එක්සත් ජාතික පක්ෂයට අනෙක් අය අභියේගයක් නොවන බවත්, නිවැරදි වෙලාවට නිවැරදි පුද්ගලයා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

'ඒ පුද්ගලයා කව්රු වුණත්, අඬඅඬා ඉන්න කෙනෙක් නෙමෙයි, රට දියුණු කරන්න. දිනන්න පුළුවන් පුද්ගලයෙක්. යම් අය වැරදි ප්‍රකාශ කරනවා. ඒවා අද්භූත ප්‍රකාශ පමණයි. එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය, සහෝදරත්ව නැතිකරන්න හදන අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. අපි අභියෝග වලට බය නැහැ. අපි යම් වෙනසක් ඇති කළා. අපි හිතන තරම් සාර්ථක නොවූ නමුත්, එක්තරා දුරකට සාර්ථක වෙලා තිබෙනවා. වළලා දමා තිබු ප්‍රජාතන්ත්‍රවාදය දන් යළිත් ලැබිලා තිබෙනවා. මේ තුලින් මිනිසුන්ට ජීවත්විය හැකි තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. අපි වැරදි නිවැරදි කරගෙන යන ගමනක් තමයි මේක' ඒ සම්බන්ධෙයන් රවී කරුණානායක මහතා වැඩිදුරටත් පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙනයාම සහ තවත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් 26 පස්වරුවේදී මාධ්‍ය දැනුවත් කිරීමකට එක් වෙමිනි.

සිය අමාත්‍යංශය ‌වෙනත් ස්ථානයකට ‌ගෙනයාම ඇතැම් පුද්ගලයන්ට ගැටලුවක් වී ඇති නමුත්, දැනට අමාත්‍යංශය පවත්වාෙගන යන්‌නේ අමාත්‍යංශයක් තිබිය යුතු ස්ථානයක ‌නොවන බවයි ඇමතිවරයා පවසන්‌නේ.

'වෙනත් ආයතන ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා දේවල් කරද්දි ඒ ගැන කව්රුත් වැරදි දකින්නේ නැහැ. නමුත්, විශාල සේවක පිරිසක් වැඩ කරන්න ඉඩකඩ නොමැතිව ගැටලු වලට මුහුණ දෙද්දි, මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබියදීත්, මේ අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයන එක ඇයි මේ තරම් ගැටලුවක් කරගන්නේ. අනිත් කාරණය තමයි අපි අමාත්‍යාංශය අළුතින් ගෙනයන ගොඩනැගිල්ලට සුනිත්‍ය බලශක්ති අධිකාරියත් ගෙනයනවා. එම කාර්යාලය දැනට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන යන්නේ කුලිය වශයෙන් විශාල මුදලක් ගෙවමින්. අපි දැන් මේ යන්න හදන්නේ ඒ ගෙවන මුදලට බාගයකටත් වඩා අඩු කුලියක් ඇති තැනකට.'

'සමහරු රටේ තැන් තැන්වල පොඩි පොඩි පැල්පත් හදද්දි, ඒ ගැන තමන් පිම්බෙන්න පුවත්පත්වල දැන්වීම් පළකරද්දි, ඒවාට මොනතරම් වියදමක් යනවද. ඒ වගේ බොරු වැඩ වෙනුවෙන් මිලියන් 10, 15 වියදම් කරන එක පේනේ නැද්ද. ඒ වගේ දේවල් ගැන කැක්කුමක් නැද්ද. අපි කරන්නේ ප්‍රාග්ධන වියදම්. ඒ වගේ පුනරාවර්තන වියදම් නොවෙයි.'

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිස් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඒ ප්‍රමාණය ඉදිරියේදී අපට පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් අප සමග එකතු වෙන්නේ සුබවාදි ගමනක් සදහායි. අපි කරන්නේ සදාචාරාත්මක දේශපාලනයක්.'

'රටේ යම් යම් ප්‍රශ්න ඇති කරන්නේ, යම් යම් පුද්ගලයන් ඉලක්ක කරලා. දැන් මේ රටේ කුණු ප්‍රශ්නයත් ඒ වගේ තමයි. මේවා කරන්නේ කව්ද කියලා සොයා බැලිය යුතුයි. මේවාට අවසර දීලා තිබෙන්නේ 2013 වසරේ. නමුත් අපි ආණ්ඩු වලට බැණ බැණ ඉදලා වැඩක් නැහැ. ගැටළුව දුරදිග යන්න කළින් සොයා බලා පිළියම් ලබාදිය යුතුයි.'

'එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න, බෙදා වෙන්කරන්න හදන අය ඉන්නවා. නමුත් අපි ඒ දේ කරන්න දෙන්නේ නැහැ. දෙතුන් දෙනෙක් ඉන්නවා මේ කඩාක්පල්කාරී පුද්ගලයින්. මේක අද ඊයේ සිද්ධ වුන දෙයක් නෙවෙමයි. 2005, 2010 වසර වලදීත් මේ දේම සිද්ධ වුණා. ඩී.එස්. සේනානායකලා ඉතාමත් ශක්තිමත්ව ගොඩැනගුව එක්සත් ජාතික පක්ෂයේ පළමු කැඩීම සිද්ධ වුණේ 1989 දී. ඒ දෙදරීම තමයි අද වෙනකල් මෙතෙක් දුර ඇවිත් ඉන්නේ.'

(LNW)