Monday, April 29, 2024
Follow Us
අපි කිව්වා නේද සර්ට බෙල්ලෙ වැල දාගන්න වෙන එක ශුවර් කියලා ?

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවති දිනයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින පාර්ලිමේන්තුවට පැමිණ, ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබාගැනීම සඳහා මහත් ක්‍රියාශීලීව මන්ත්‍රීවරුන් හමුවෙමින් කටයුතු කරනු දක්නට ලැබිණි.

මන්ත්‍රීවරුන් සිය කාමරය වෙත කැඳවමින් මෙන්ම එක් එක් මන්ත්‍රීවරුන් වෙත තමන්ම යමින් ඔවුන්ගේ කරට අතදාගෙන මල්ලී, මචං කියමින් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කිරීම උදෙසා ඔවුන් එකඟ කරවා ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියාත්මක වෙමින් සිටියේය. මේ පිළිබඳ ජනාධිපතිවරයා ද පසු කලෙක සිහිපත් කළ අතර අද මොනවා කීවත් එදා මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වන සංශෝධනය සම්මත කරවා ගැනීම සඳහා හදවතින්ම වෙහෙස වූ බව ඔහුට ගෞරවයක් වශයෙන් සටහන් කළ යුතුය.

මේ අතර ජනාධිපතිවරයා හමුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙක් පැමිණියහ. ඒ, ඩිලාන් පෙරේරා සහ ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන්ය. ඔවුන් දෙදෙනාම නීතීඥයින්ය.

"සර්, මොකද්ද සර් මේ කරන්නෙ ? සර්ගෙ අතේ තියෙන හැන්ද වීසි කරන්න එපා සර්. මේවා ඇවිල්ලා රනිල්ගේ නියම දහං ගැට.

මේකට අහුවෙන්න එපා සර්. මේක සම්මත කරගන්න ඉඩ දෙන්න එපා.

මේක සම්මත කරගත්තොත්, අපි කිව්වයි කියලා හිතාගන්න, එදාට සර්ට බෙල්ලේ වැල දාගන්න වෙයි කියලා" යනුවෙන් ඔවුහු ජනාධිපතිවරයාට පැවසූහ.

ඒ මොහොතේ එම ස්ථානයේ ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශකයකු වන මියුරු භාෂිත ලියනගේ මහතා ද සිටියේය.

එයින් වසර හතරකට පසු, මෑත දවසකදී මියුරු භාෂිතට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ "අරුන් දෙන්නා එදා කියපු කතාව ඇත්තනේ .. ! මට තේරුණේ නෑ රනිල් මගෙ බෙල්ලට තොණ්ඩුව දැම්මා කියලා" යනුවෙනි.

(LNW)