Tuesday, October 22, 2024
Follow Us
නවීන්ව බාගැනීමේ වෑයමත් අසාර්ථකයි. සජිත්ගේ කුමන්ත්‍රණය මෙවරත් කොට උඩ !

පසුගියදා නුවර එළිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් සහ නවීන් දිසානායක මහතා දේශපාලන වශයෙන් විවාහ වී සිටින බවයි. ඒ අනුව තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්ව සටනේ සාමාජිකයකු ලෙස නවීන්ව ද මාධ්‍ය ඉදිරියේ පෙන්වීමට සජිත් ප්‍රේමදාස මහතා එහිදී බලවත් උත්සාහයක නියැළුණේය.

එහෙත් ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මාධ්‍ය වෙත පැවසුවේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි.

රනිල්, සජිත්, කරූ යන තිදෙනා අතරින් දෙදෙනෙකු ජනපති සහ අගමැති වශයෙන් සුසංයෝගයක් ලෙස ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු බව පැවසූ ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නම ස්ථිර බවට සජිත් පාර්ශ්වය විසින් ගෙන යන ප්‍රචාරය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ සජිත්ගේ නම යෝජනා වූයේ හුදෙක් මූලික සාකච්ඡාවකදී පමණක් බැවින් එහි විශේෂත්වයක් නොමැති බවය.

එසේම තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩවූයේ ද විශේෂත්වයක් නිසා නොවන බව පැවසූ ඒ මහතා තමන් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කාගේත් වේදිකාවලට ගොඩවන බවත් පෙන්වා දුන්නේය.

ඊට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවක් ඇති බව සඳහන් කළ ඒ මහතා එය ඉතා සාධාරණ බලාපොරොත්තුවක් බව ද අවධාරණය කළේය.

එමෙන්ම බිම්මටම්මේ සාමාජිකයින්ගේ කැමැත්ත ඇත්තේ සජිත්ට බවට සජිත් පාර්ශ්වය ගෙනයන මිත්‍යාවට ද පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ බිම්මටමේ සාමාජිකයින්ගේ කැමැත්ත විමසීම සඳහා පක්ෂයක් ලෙස තමන් තවමත් සමීක්ෂණයක් සිදු කර නොමැති බවය.

ඒ අනුව පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ද සිටින්නේ සජිත්ගේ ඔඩොක්කුවේ බව පෙන්වීමට සජිත් පාර්ශ්වය ගෙනගිය වෑයම ද ඉතා කුජීත ලෙස අවසන් වී තිබේ.

මේ වනවිට පවතින තත්වය අනුව පක්ෂ නායකත්වය ඩැහැ ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කීවෙනිදෝ වතාවටත් කළ කුමන්ත්‍රණය ද ආපසු හැරී මුලටම පැමිණ ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

(LNW)