ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව බහුකාර්ය ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) විවෘත කෙරිණි.
රුපියල් මිලියන 478ක් වියදම් කරමින් ඉදිකරන ලද මෙම ගොඩනැඟිල්ල තට්ටු 06කින් සමන්විත වන අතර රජයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග පැවැත්වීමට සහ වෙනත් එවැනි විභාග පැවැත්වීම සඳහා ශාලා පහසුකම්, නවීනතම තාක්ෂණික සහ ශ්‍රවණ උපකරණ සහිත එකවර ශ්රාවකයින් 175කට පමණ පහසුකම් සැලසිය හැකි අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, ශබ්ද පරිපාලනය කරන ලද අංග සම්පූර්ණ බහු කාර්ය ශබ්දාගාරයක් (විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ විභාග කටයුතු, ශබ්දාගාර කටයුතු, පටිගතකිරීම් ආදිය සහිත) සම්පත් පුද්ගලයින් සඳහා නේවාසිකාගාර පහසුකම්, පොදු සන්නිවේදන ජාලයක්, අන්තර්ජාල විභාග පැවැත්වීම සඳහා වන පහසුකම් සහිත කාමර, විභාග රහස්‍ය කටයුතු සඳහා පහසුකම් සහිත කාමර සහ CCTV කැමරා පද්ධතිය ඇතුළු පහසුකම් රැසකින් ද සමන්විත වේ.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාාචාර්ය මංජුලා විදානපතිරණ, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් සුභාෂිණී දෙමටගොඩ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිතුමා, හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරුන්, අමාත්‍යංශ සහ විභාග දෙපර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ සඳහා එක් වූහ.