Friday, October 18, 2024
Follow Us
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් බොරිස් ජොන්සන්ට විශිෂ්ට ජයක්

ඊයේ (12) පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සවේටිව් පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් වේ.

මේ වන විට ආසන 650 අතරින් 637 ක ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව ජයග්‍රහණය සඳහා ලබාගත යුතු ආසන 326 ක සීමාව දැනටමත් කොන්සවේටිව් පක්ෂය විසින් පසු කර තිබේ.

බීබීසී පුවත් සේවය පවසන්නේ බොරිස් ජොන්සන් සහ කොන්සවේටිව් පක්ෂය බහුතර ආසන 74 කින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගනු ඇති බවයි.

මෙවර බොරිස් ජොන්සන්ගේ මැතිවරණ සටන් පාඨය වූයේ "get Brexit done" යන්නයි. මේ අනුව ලබන මාසයේදී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කටයුතු කඩිනම් වනු ඇතැයි වාර්තා වේ.

ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ ඊයේ රාත්‍රිය හඳුන්වා ඇත්තේ ‘අතිශයින්ම බලාපොරොත්තු කඩ වූ රාත්‍රියක්‘ යනුවෙනි.

ඉදිරි මැතිවරණවලදී තමන් තරග නොකරන බව ද ලේබර් පක්ෂ නායකයා තවදුරටත් සඳහන් කළේය.

2017 මහ මැතිවරණයට සාපේක්ෂව ලේබර් පක්ෂයේ ඡන්ද පදනම මෙවර 8%කින් අඩු වී තිබේ.

මෙම මහමැතිවරණයේ ප්‍රබල හඬක් නැගූ ලිබ්ඩිම් (ලිබරල් ඩිමොක්‍රටික්) පක්ෂයට ද සිතූ තරම් ජයග්‍රහණයක් වාර්තා කර ගත නොහැකි විය.

එහි නායිකාව බවට පත්වූ අද්විතීය පෞරුෂයක් හිමි ජෝ ස්වින්සන් හට ඡන්ද 149 කින් ඇගේ ආසනය වන ඩන්බාටන්ෂයරය අහිමි වී ඇති බව ද වාර්තා වේ.

මේ අනුව, මහා බ්‍රිතාන්‍යයට බ්‍රෙක්සිට් දංගෙඩියෙන් රට ගළවා ගැනීමට තිබූ අවසන් අවස්ථාව ද අහිමි වී ඇත.

(LNW)