ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගයක් දිවයිනට අද ලැබීමට නියමිතව තිබෙනවා. ඒවා ප්‍රංශ රජයෙන් ආධාර ලෙස ලැබීමට නියමිතයි. ඒ අනුව සියලුම හදිසි ශල්‍යාගාර ඒකක දින 90 කාලයක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණ කළේ.
මේ අතර මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් රට තුළ පවතින බව වාර්තා වී තිබෙනවා. එමෙන්ම දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33 හිඟ මුදල් ගෙවිමට ඇති බවයි එම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත්තේ.
රට තුළ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදි තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරිය විසින් කඩිනමින් ඖෂධ මිල දි ගැනිමට අදාළ වියදම් සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් ද එහිදී පත්කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ.
මේ අතර බටහිර ඖෂධ තොග බෙදාහරින්නන්ගේ සංගමයේ ලේකම් රවී කලංසූරිය පැවසුවේ ක්‍රමක්‍රමයෙන් ඔසුසැල්වල පවතින ඖෂධ තොග ද අඩු වෙමින් පවතින බවයි. හෘද රෝගීන්ට, ළමුන්ට හා ප්‍රතිජීවක ඖෂධවල අඩුවක් පවතින බව ඔහු පවසනවා.
මේ අතර ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ද ඖෂධ හා වෛද්‍ය සැපයුම් තොගයක් දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 200 කට අධික වනවා. ටොන් 25 ක බරකින් යුත් එම තොගය හෙට දිනයේ මෙරටට ලැබීමට නියමිතයි.
මේ අතර සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසුවේ අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟය, ඉන්ධන අර්බුදයෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සිදුවන බලපෑම හා සෞඛ්‍ය සේවයේ අතිකාල කප්පාදුව හේතුවෙන් සෞඛ්‍ය සේවයේ බිඳ වැටීමක් සිදුවී ඇති බවයි.
Neth