Friday, November 27, 2026
Follow Us
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කොළඹට නුදුරින් පිහිටි අක්කර 27ක භූමි ප්‍රමාණයක් ලබා ගෙන, සිනමා, කලා සංස්කෘතික කටයුතු මෙන්ම භාවනා සහ බෞද්ධ දර්ශනය හැදෑරීමේ ආයතන සඳහා "කලා සංස්කෘතික ගම්මානයක්" ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය.

පුරාවිද්‍යාත්මක පරික්ෂණ සිදු කිරීමේදී කැණීම් සිදු කිරීමෙන් තොරව, GPR (Ground Penetrating Radar) ඇතුළු නවීන තාක්ෂණය භාවිත කරමින් පොළොව යට පවතින පුරාවස්තු පරීක්ෂා කිරීමේ නවීන ප්‍රවේශයක් අනුගමනය කරන බව කාරක සභා සභාපතිවරයා ඇතුළු නිලධාරීහු මෙහිදී පැහැදිළි කළහ.
 
දහම් පාසල් අවසාන විභාගය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එකම කාලසීමාව තුළ යෙදීමෙන් සිසුන්ට සහ දෙමාපියන්ට සිදු වන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඒකාබද්ධ විභාග කැලැන්ඩරයක් සකස් කිරීමටත්, පළාත් හා කලාප මට්ටමින් විභාග දින සම්බන්ධයෙන් ගැටලු ඇති වීම වැළැක්වීමට අදාළ උපදෙස් යැවීමටත් සාකච්ඡා කෙරිණි.
 
හානියට පත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය සංරක්ෂණය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. මෙම ස්ථානයේ පැවති හිමිකාරීත්ව හා පරිපාලන ගැටලු නිරාකරණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, කුරුණෑගල නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වා කඩිනමින් අවසන් විසඳුමකට පැමිණීමට මෙහිදී තීරණය විය.
 
රාමසාන් සමයේදී විදේශයන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබෙන රටඉඳි දිවයින පුරා පිහිටි මුස්ලිම් පල්ලි 2,700ක් අතර සාධාරණව හා විනිවිදභාවයෙන් යුතුව බෙදා හැරීම සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. මේ සඳහා නිසි පරිිදි ලේඛනගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් මෙහිදී සාකච්ඡා විය.
 
මීට අමතරව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික ක්ෂේත්‍රවලවලට අදාළව මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවට ඉදිරිපත් කළ තවත් කරුණු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගමගෙදර දිසානායක සහ මුනීර් මුලාෆර් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරනු ලබන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.