Monday, April 29, 2024
Follow Us
කොරෝනා වෛරසයෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම්

කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත රෝග තත්ත්වයක් බවට පත්ව ඇත. අද (27) වන විට මෙම වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් ප්‍රාන්තය තුළ මියගිය ගණන 80 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම චීනය පුරා විවිධ නගර ගණනාවකින් මෙම වෛරසය ආසාදිත වූ බවට හඳුනා ගෙන ඇති පිරිස 3,000කට ආසන්න වේ. වාර්තා වන අන්දමට ගොදුරු වී ඇති වයසින් අඩුම පුද්ගලයා බවට සඳහන් වන්නේ බීජිං නුවර නව හැවිරිදි දැරියකි.

මේ අතර ලෝකයේ විවිධ රටවලින් කොරෝනා වෛරසය ආසාදිත වූ බවට සිද්ධීන් වාර්තා වෙමින් පවතී. මේ වන විට හොංකොං හා තායිලන්තයෙන් 8ක් බැගින්, එක්සත් ජනපදය, තායිවානය, මැකාවෝ හා ඕස්ට්‍රේලියාවෙන් 5ක් බැගින්, සිංගප්පූරු, ජපානය, දකුණු කොරියාව හා මැලේසියාවෙන් 4ක් බැගින්, ප්‍රංශය 3ක්, වියට්නාමය 2ක් සහ නේපාලය 1ක් බැගින් කොරෝනා වෛරස ආසාදිතයින් පිළිබඳ සිදුවීම් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මේ වන විට චීනයෙන් පිටත දී කිසිදු මරණයක් වාර්තා වී නැත.

චීනය යනු සංචාරක මූලාශ්‍රයක් ලෙසින් ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් රාජ්‍යයකි. මීට දශකයකට පමණ ඉහත දී චීනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2%කට වඩා අඩු ප්‍රතිශතයක් ගත්ත ද 2015-18 දක්වා වකවානුව තුළ එය 11%ක් ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙන කාරණයකි. එසේම 2016 වසරේ දී ශ්‍රී ලංකාව පළමු වරට සංචාරකයින් මිලියන 2 ක ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ අතර එහිදී 271,577 ක්, එනම් 13.24% ක සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ චීනයෙනි.

මේ අතර පසුගිය 2019 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි 1,913,702 ක්වූ මුළු සංචාරකයින් ප්‍රමාණයෙන් 8.77% ක්, එනම් 167,863 ක් පැමිණ ඇත්තේ චීනයෙනි. මෙයින් 47%ක්ම, එනම් 78,212 ක් පැමිණ ඇත්තේ 2019 වසරේ මුල් මාස 03 දී වීම විශේෂත්වයකි. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවට පෙර චීන සංචාරකයින්ගේ පැමිණීමෙහි ක්‍රමික වර්ධනයක් සටහන් වූයේ එයාකාරයෙනි.

කෙසේ වෙතත් අද වන විට ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා උග්‍ර වී ඇති කොරෝනා වෛරසය චීනයේ නගර ගණනාවක් මුළුමනින්ම වසා දැමීමට හේතු වී තිබේ. එසේම හොංකොං වැනි රාජ්‍යයන් පවා අද වන විට තර්ජනයට ලක්ව ඇත. හොංකොං දේශය අද දින එරට ඩිස්නිලන්තය ඇතුළු සියලු විනෝද උද්‍යාන වසා දැමීමට තීරණය කර තිබේ.

එමෙන්ම චීනය යනු සුඛෝපභෝගී මගී නෞකා කර්මාන්තය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයකි. ලෝකය පුරාවට 2018 වසරේ දී මෙකී සුඛෝපභෝගී මගී නෞකාවලින් සංචාරය කරන ලද මගීන් සංඛ්‍යාව මිලියන 28.2 ක් ලෙසින් ගණන් බලා ඇත. එය 2019 වසරේ දී මිලියන 30ක් ඉක්මවා ඇති බවට වාර්තා වේ. 2030 වසර වන විට ලෝකයේ විශාලතම මගී නෞකා වෙළෙඳපොළ බවට චීනය පත්වනු ඇති බවට Shanghai International Shipping Institute පුරෝකථනය කර ඇති අතර එහිදී චීනයෙන් පමණක් මිලියන 8ත් 10ත් අතර සේවාදායකයින් ප්‍රමාණයක් එක්වනු ඇති බවට එහි වැඩිදුරටත් සඳහන් වේ.

නමුත් කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් Costa Crociere, MSC, Royal Caribbean සහ Genting Cruise Lines යනාදී ලොව ප්‍රමුඛතම මගී නෞකා චීනය වෙත යාත්‍රා කිරීම මේ වන විට අත්හිටුවීමට පියවර ගෙන තිබේ. එය ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තයට එල්ල කරෙන දැඩි බලපෑමකි.

යම් හෙයිකින් කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරි දින කිහිපය තුළ පාලනය කර ගැනීමට කිසියම් හෝ හැකියාවක් නොලැබුණහොත් එය ගෝලීය ආර්ථිකයට ඇති කරන බලපෑම කොපමණදැයි ගණන් බැලීමට තවමත් කල් වැඩිය. එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට පමණක් නොව සමස්ත ආර්ථිකයටම ඇති විය හැකි බලපෑමෙන් වියුක්ත වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත.

Ada Derana business news