Monday, October 05, 2026
Follow Us
පාසල්වලට අධිවේගී ෆයිබර් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩසටහන සාර්ථකව ඉදිරියට
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ "ගමට සන්නිවේදනය" ව්‍යාපෘතිය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ව ක්‍රියාත්මක කරනු ලබන රජයේ සියලුම ද්විතීයික පාසල් සඳහා අධිවේගී ෆයිබර් අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ජාතික වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

 

මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි ද්විතීයික පාසල් 6,225ක් සඳහා අධිවේගී ෆයිබර් අන්තර්ජාල සබඳතා ලබා දෙන අතර එහි ප්‍රගතිය පහත පරිදි වේ.
 
• ව්‍යාපෘතිය ආරම්භයට පෙර ෆයිබර් සබඳතා තිබූ පාසල් සංඛ්‍යාව - 1264
• ව්‍යාපෘතිය යටතේ නව ෆයිබර් අන්තර්ජාල සබඳතා ලබා දුන් පාසල් සංඛ්‍යාව - 2,345
• ෆයිබර් අන්තර්ජාල සබඳතා ලබාදෙමින් පවතින පාසල් සංඛ්‍යාව : 2,616
එමෙන් ම මෙම ව්‍යාපෘතිය යටතේ පළාත් අනුව අධිවේගි ෆයිබර් අන්තර්ජාල සබඳතා ලබා දී ඇති පාසල් සංඛ්‍යාව පහත පරිදි දැක්විය හැකි ය.
• බස්නාහිර පළාත - පාසල් 285
• මධ්‍යම පළාත - පාසල් 275
• දකුණු පළාත- පාසල් 300
• උතුරු පළාත - පාසල් 172
• නැගෙනහිර පළාත - පාසල් 347
• වයඹ පළාත - පාසල් 334
• උතුරු මැද පළාත - පාසල් 153
• ඌව පළාත - පාසල් 176
• සබරගමුව පළාත - පාසල් 303
 
තවද එම පාසල් සඳහා මාසිකව රුපියල් 5,130 බැගින් වූ සීමාරහිත අන්තර්ජාල පැකේජ ලබා ගැනීමට 2026 වර්ෂයේ අයවැයෙන් රුපියල් මිලියන 150 ක මුදලක් ද වෙන් කොට තිබේ. මීට අමතරව, 2027/2028 වර්ෂවලදී දිවයිනේ සියලුම ප්‍රාථමික පාසල් 3,832 සඳහාද අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු යොදා ඇත. ප්‍රාථමික පාසල් සඳහා ද මෙම පහසුකම සැපයීමෙන් අනතුරුව දිවයිනේ සියලු පාසල් අධිවේගි අන්තර්ජාල පහසුකම්වලින් සමන්විත කිරීම එම ව්‍යාපෘතියේ ඉලක්කයයි.
 
ඩිජිටල් අධ්‍යාපන සංකල්පය යථාර්ථයක් කරමින්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ යාවත්කාලින වෙමින්, ග්‍රාමීය හා නාගරික වෙනසකින් තොරව සියලු සිසුන්ට මෙන් ම ජනතාවට නූතන තොරතුරු තාක්ෂණික මෙවලම් වෙත සමාන ප්‍රවේශයක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.