කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220kV භූගත විදුලි සම්ප්රේෂණ රැහැන් පද්ධතියේ ඉදිකිරීම් කටයුතු අද (06) ආරම්භ කෙරිණි.
පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරයට අයත් නැෂනල් ට්රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්රොවයිඩර් (NTNSP) ආයතනය ක්රියාත්මක කරන ප්රථම ව්යාපෘතිය මෙය වන අතර, ඒ සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) අමෙරිකානු ඩොලර් මිලියන 52ක සහනදායී ණයක් ලබාදී ඇත.
ව්යාපෘතිය යටතේ උපපොළ නවීකරණය සහ පාලන පද්ධති ස්ථාපනය ද සිදු කෙරෙන අතර, කොළඹ වරාය නගරය ඇතුළු වේගයෙන් සංවර්ධනය වන ප්රදේශවලට අඛණ්ඩ හා ගුණාත්මක විදුලි සැපයුමක් තහවුරු කිරීම ප්රධාන අරමුණ වේ.
එමෙන්ම, ජනාකීර්ණ නාගරික ප්රදේශ හරහා භූගතව ඉදිකෙරෙන මෙම සම්ප්රේෂණ පද්ධතිය ජනතාවට සිදුවන බාධා අවම කිරීමත්, නඩත්තු කටයුතු සහ හදිසි බිඳවැටීම්වලදී විකල්ප සම්ප්රේෂණ මාර්ගයක් ලෙස ක්රියා කිරීමත් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් මහතා, විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා, බලශක්ති අමාත්යාංශයේ ලේකම් රසල් අපෝන්සු මහතා, NTNSP ආයතනයේ සභාපති නුසිත් කුමාරතුංග මහතා, එහි ප්රධාන විධායක නිලධාරී නන්දන වෙත්තසිංහ මහතා, උපදේශක පුබුදු නිරෝෂණ මහතා ඇතුලු නිලධාරීහු රැසක් සහභාගී වූහ.