ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පසුගියදා කාලගුණ විද්‍යා හැකියාවන් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වශයෙන් පුත්තලම ප්‍රදේශයේ ස්ථාපනය කෙරෙන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘති භූමියේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
ජපාන රජයේ ආධාර මගින් පිහිටුවනු ලබන මෙම ව්‍යාපෘතිය භාවිතයෙන් ඉදිරියේදී දිවයින පුරා යාවත්කාලීන කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා විසින් ව්‍යාපෘති භුමිය වෙත පැමිණි ආරක්ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඇති විය හැකි ස්වාභාවික ආපදා වලට එරෙහිව ඔරොත්තු දීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අතර උපායමාර්ගික සහයෝගීතාවය මෙම සංචාරය ඔස්සේ අවධාරණය කෙරිණි.
ඩොප්ලර් රේඩාර් ජාලය ක්‍රියාත්මක කිරීම හරහා එමගින් ලබාගන්නා දත්ත භාවිතයෙන් නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකිවල නිරවද්‍යතාවය බෙහෙවින් වැඩිදියුණු කරනු ඇති අතර ඒ අනුව, හානිකර කාලගුණික බලපෑම් වලින් සිදුවිය හැකි ජීවිත හානි අවම කිරීම හා දේපළ ආරක්ෂා කිරීම සඳහා ගුනාත්මක අනතුරු ඇඟවීම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම මුලපිරීම ඔස්සේ ආපදා කළමනාකරණ පද්ධති නවීකරණය කිරීම සහ ජපානය සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන ජාතික උත්සාහයන් සමඟ එහි පෙළගැස්ම පිලිබඳ සඳහන් කල ආරක්ෂක ලේකම්වරයා ඒ වෙනුවෙන් ජපාන රජය දක්වන අනුග්‍රහය බෙහෙවින් අගය කළේය.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. කරුණාතිලක මහතා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර නියෝජිතයන් වශයෙන් Hazama Ando Corporation හි ව්‍යාපෘති කළමනාකරු Tanaka Shumei මහතා ඇතුළු ජපන් රේඩියෝ සමාගමේ තාක්ෂණික විශේෂඥයින් කණ්ඩායමක් සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගීත්වය තුලින් ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් සටහන් කෙරෙන මෙම ව්‍යාපෘතියේ තාක්ෂණය සහ විශේෂඥතාව හුවමාරු කිරීමේදී ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ කාලගුණික විද්‍යා ක්ෂේත්රයෙහි වැදගත් සන්ධිස්ථානයක් වන මෙම ව්‍යාපෘතිය තුලින් මෙරට කාලගුණ විද්‍යා හැකියාවන් දියුණු වීම පමණක් නොව දේශගුණික වශයෙන් ඇතිවිය හැකි බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාවය ඉහල නැංවීම සඳහා තවත් එක් බලවත් පියවරක් වනු ඇත.