Thursday, April 25, 2024
Follow Us
සංචාරක ක්ෂේත්‍රයට සහන රැසක්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හා සේවා සපයන ආයතන හා සංචාරක මග පෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සඳහා අය නොකිරීමට තිරණය කෙරේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

මීට අමතරව මෙම ආයතන ලියාපදිංචිය සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලබා ගන්නා ලියකියවිලිද ලිහිල් කර තිබේ. ව්‍යාපාරික ස්ථානයේ අයිතිය සනාථ කරනු ලබන ඔප්පුව හෝ ඒ වෙනුවට බදු ගිවිසුම හෝ අදාළ ස්ථානයේ ව්‍යාපාරික කටයුතු ද තහවුරු කිරිම සඳහා ඉඩම පිහිටි ස්ථානය අයත් රාජ්‍ය ආයතනය මගින් එකඟතා ලියවිල්ලක් ලබා ගැනීම, වෙළෙඳ බලපත්‍රය හෝ ඒ වෙනුවට පළාත් පාලන ආයතනය විසින් ව්‍යාපාරික කටයුතු තහවුරු කරනු බලන ලිපියක් ඇත්නම් එම ලියාපදිංචිය දීර්ඝ කිරීමට ප්‍රමාණවත් වේ.

එමෙන්ම මුද්‍රාව සහිත අනුමත ගොඩනැගිලි සැලැස්ම හෝ ඒ වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය හෝ පළාත් පරිසර අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබා ගැනීම ඊට ප්‍රමාණවත් බව ද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

ඊට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අදාළ ආයතනවලට ලබා දෙන තාවකාලික බලපත්‍රය මාස හයක කාලයක් සඳහා ලබා දීමට කටයුතු යොදා තිබේ. ඊට අදාළ ලියාපදිංචි ගාස්තු ද ලිහිල් කල ඇතැයිද අමාත්‍යංශය පවසයි. ඒ අනුව ආගන්තුක නිවාස, සංචාරක හෝටල්, අවන්හල් ආදියට තාවකාලික බලපත්‍ර ලබාදීමට අය කෙරෙන්නේ රුපියල් 2200 ක් පමණි.

සංචාරක නිවාස, බංගලා , කුලියට ගත් මහල් නිවාස, සංචාරක හිතකාමී ආහාර ලබා ගැනීමේ ස්ථාන සඳහා තාවකාලික බලපත්‍ර ලබා දීමට අය කරනු ලබන ගාස්තුව රුපියල් 1100 දක්වා අඩු කර ඇත. මීට පෙර මේ සඳහා ගාස්තු අය කෙරුණේ අදාළ ආයතනවල ඇති කාමර ගණන, පහසුකම් සැලකිල්ලට ගනිමිනි. එහෙත් කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරයේ බිද වැටීම් සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹී බව මේ පිළිබඳව අදහස් දක්වන විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

(Aruna)