ලෝක සෞඛ්ය සංවිධානයේ මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වන සෞඛ්ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන සැසිවාරය (Universal Health and Preparedness Review - UHPR) ඊයේ (22) කොළඹ දී ආරම්භ විය.
ඊයේ සහ අද (23) යන දෙදින පුරා පැවැත්වෙන මෙහි සමාරම්භක අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය.
වසංගත, ස්වභාවික ආපදා සහ වෙනත් මහජන සෞඛ්ය හදිසි අවස්ථාවන්හිදී ජන ජීවිත සුරක්ෂිත කරමින් අඛණ්ඩ සෞඛ්ය සේවාවක් පවත්වාගෙන යාම රජයක ප්රමුඛ වගකීමකි. අර්බුදයක් ඇති වූ පසු ප්රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, ඊට පෙර සිටම ඊට මුහුණදීමේ හැකියාව ගොඩනඟා ගැනීම කාලීන අවශ්යතාවක් බව සෞඛ්ය අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.2025 වර්ෂයේ පැවැති 79 වන ලෝක සෞඛ්ය සමුළුවේදී ලද ඉල්ලීමකට අනුව මෙවර සැසිවාරය මෙරටදී ක්රියාත්මක කෙරේ.
කොවිඩ්-19 වසංගතයෙන් ලද අත්දැකීම් ද පදනම් කරගනිමින්, අනාගතයේදී ඇතිවිය හැකි මහජන සෞඛ්ය හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා අප සතු ජාතික හැකියාවන් විමර්ශනය කිරීමත්, සමස්ත රාජ්ය යාන්ත්රණය සහ සමාජය ඒකාබද්ධ කරගනිමින් සෞඛ්ය පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමත් මෙම සැසිවාරයේ ප්රධාන අරමුණ වේ.
මෙම අවස්ථාව සඳහා විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (මහජන සෞඛ්ය) විශේෂඥ වෛද්ය මහේන්ද්ර ආනල්ඩ්, ශ්රී ලංකාවේ ලෝක සෞඛ්ය සංවිධාන නියෝජිත වෛද්ය රාජේෂ් සම්බාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) යන මහත්වරුන් මෙන්ම ලෝක සෞඛ්ය සංවිධානයේ නියෝජිතයින්, ත්රිවිධ හමුදා නිලධාරීන්, සෞඛ්ය ක්ෂේත්රයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, රාජ්ය ආයතන නියෝජිතයින් සහ විද්වතුන් පිරිසක් එක්ව සිටියහ.