Thursday, May 02, 2024
Follow Us
ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නව ජවයකින් ඇරඹේ

ලාංකේය මුද්‍රණ කඩදාසි නිෂ්පාදන ඉතිහාසය නැවතත් රන් අකුරින් ලියවීම ආරම්භ කරමින් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයේ සහයෝගීතාවයෙන් KSPA Embilipitiya Paper Mills ව්‍යවසායකත්වයෙන් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව ඊයේ (18) සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.

අභිනව කාර්මාන්ත ශාලාව මඟින් වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 90ක් නිෂ්පාදනය කිරීම ඉලක්කය කරන අතර එය මෙරට කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආරම්භයක් වනු ඇත.

මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සිය සුභාෂිංශන මෙසේ එක් කළේය.

" කඩදාසි කර්මාන්තය, ජාතික ආර්ථිකය හා බද්ධ වූ දේශයේ තිරසර සංවර්ධනයට වැදගත් සුවිශේෂි කර්මාන්තයකි. එමෙන්ම, මෙය කර්මාන්ත අමාත්‍යාංශයේ උපක්‍රමික දැක්ම වන ආනයන ආදේශන මත පදනම් වූ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනය හා අනුගත වූ ජාතික කර්තව්‍යයකි. මෙම ආයෝජනය දේශීය කඩදාසි කර්මාන්තය නඟා සිටුවීමේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන අතර එමඟින්, බිහිවන සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණයත්, වාර්ෂික නිෂ්පාදන ධාරිතාවයත් ඒ බව සාධනීයව තහවුරු කරනු ඇත. තවද, මෙම ආරම්භය රටෙහි අනෙකුත් කර්මාන්තයන්හි ප්‍රගමණයට බෙහෙවින් ඉවහල් වන අතර, එහි ප්‍රතිලාභ අනෙකුත් කර්මාන්තයන්වලට ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කරමි "

එමෙන්ම මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වූ සබරගමු පළාත් නවීන් දිසානායක මහතා ද මෙහිදී අදහස් දැක්වීය. 

රටෙහි ආර්ථික ක්‍රම වේදය මධ්‍යස්ථ දක්ශිණාංශික ක්‍රමවේද මඟින් ගොඩනැගිය හැකි බවත් , රජයක් ලෙස නායකයන් ලෙස ව්‍යවසායකයන් ගොඩ නැගිමට අතහිත දියයුතු අතර දේශපාලන නියෝජිතයන් මෙවැනි ව්‍යාපාරවලට මැදිහත්වීම් නොකළ යුතු බවත් අමාත්‍යරවයා පෙන්වා දුන්නේය. එයට අමතරව 1970 වකවානුවලදි චීනය අප රටෙහි ආර්ථික ක්‍රමය  දෙස බලා අද දියුණු වී ඇති ආකාරය සැලකිල්ලට ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය .

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ,පාර්ලිමේන්තු මන්ත්‍රීනි මුදිතා වික්‍රමසිංහ , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්, ඇඹිලිපිටිය ප්‍රදේශවාසීන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ.