මගේ ආච්චියි සීයයි කසාද බැඳලා අවුරුදු 60 සංවත්සරය තිබුණා. එදා හවස මමයි සීයයි කතා කර කර ඉද්දි මම සීයාගෙන් ඇහුවා "සීයා කොහොමද එකම ගැහැණියකට අවුරුදු හැටක් තිස්සේ ආදරේ කරේ කියලා"
මම හිතුවේ සීයා මට හිනාවෙයි කියලා. එහෙම නැත්තම් එයාලගේ යහපත් සම්බන්ධතාවයේ රහස "හොඳ සන්නිවේදනය" නැත්තම් "ඇහුම්කන්දීම" වගේ උත්තරයක් දෙයි කියලා.
පුදුමෙකට වගේ සීයා ඒ වගේ උත්තරයක් නොදී කුස්සියේ කෝපි හද හද හිටිය ආච්චි දිහා ටිකක් බලන් හිටියා. " මං එකම ගෑණියෙක්ට ජීවිතේම ආදරේ කරේ නෑ දරුවා" සීයා කිව්වා.
"ඕනෙම ගෑණියෙක් හැම අවුරුදු කීපයකට වතාවක්ම වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඒ හැම වතාවෙදිම පිරිමියෙක් අලුත් නොවුණොත් ඒ පිරිමියාට ඈව මඟ ඇරෙනවා"
මං අවුරුදු 22 දී කසාද බැන්ද කෙනා නෙවෙයි අවුරුදු 30 දී හිටියෙ. අම්මා කෙනෙක් වුණාම එයා වෙනස් කෙනෙක් වුණා. එයාගේ පෙනුම වෙනස් වුණා. එයාගෙ හැසිරීම් සිතුම් පැතුම් වෙනස් වුණා. සමහර අහිමි වීම් වලින් එයා වෙනස් වුණා.
අවුරුදු 40 දී හිටියේ අවුරුදු 30 දී හිටිය කෙනා නෙවෙයි. එයා ප්රේමයට වඩා ගෞරවය බලාපොරොත්තු වෙන කෙනෙක් වුණා.
අවුරුදු 40 දී හිටිය කෙනා නෙවෙයි 50 දි හිටියේ. ඒ කාලේදි එයා අපේ ගැළපීම් වලට වඩා අපි එකිනෙකාට ලබාදෙන සහයෝගය ගැන විශ්වාස කරා. අවුරුදු 60 දී එයා මගේ පොරොන්දු වලට වඩා මගේ පැවතීම අපේක්ෂා කරා.
එයා වෙනස් වෙන හැම වතාවකම මට තෝරාගැනීම් දෙකක් තිබුණා. එක්කෝ එයා "වෙනස් වෙලා, ඉස්සර වගේ නෙවෙයි" කියලා චෝදනා කරන එක. එහෙමත් නැත්තම් "අපි හැමෝම වෙනස් වෙන බව පිළි අරගෙන එයාව අලුතෙන් ඉගෙන ගන්න එක"
හැම කෙනෙක් ම කරන ලොකුම වරදක් තමයි එයාලා මුලින්ම කෙනෙක් එක්ක ආදරෙන් බැඳෙනවා, ඊටපස්සෙ ඒ කෙනාට දෙන අවධානෙ ටික ටික අඩු වෙලා යන්න ඉඩ දෙනවා. ඒත් කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනකොට ඔයා කරන්න ඕනේ ඒ කෙනා ගැන තියෙන කුතුහලය නොකඩවා තියෙන්න දෙන එක. ඔයා එයාව දකින එක, එයාව ඉගෙන ගන්න එක අත් හැරියොත් ඔයාට සිද්ධ වෙනවා වෙනස්වීම් ගැන චෝදනා කර කර ඉන්න.
-අනුවර්තනය; උපේක්ෂා ගලප්පත්ති
මුල් සටහන; The Fallen Poet