"ප්රශ්නයක් නෑ . මං සතුටින් "
කිව්වම එයාලා එතනත් තමන්ට ඕනි විදිහට සංස්කරණය කරලා කතාවක් හදාගෙන රස විඳිනවා. කවුරුවත් සතුටින් ඉන්නවාට වඩා දුක කියාගෙන ආවම අපේ හිත තුච්ඡ සතුටක් ලබනවා. උපදෙස් දෙන්නමයි ආස.
මිනිස්සු කැමති
වැටිච්ච අයට.
" මම කොහොම හරි නැඟිට්ටා "
කිව්වම අවිශ්වාස කරන එක තුච්ඡ හිතට සැනසීමක්. කාටහරි වැරදීම තරම් සතුටක් ලොවෙත් නෑ .
මිනිස්සු කැමති
නාහෙන් අඬන අයට.
" දැන් කඳුළු ඉවරයි. වයසට යනවා කියන්නේ පරිනතවීම "
කිව්වම හිත යටින් හිනාවෙනවා
"මුන් හිනාවෙන්නෙ අඬන්න බැරුව " කියලා. මිනිස්සු කැමති නෑ තමන්ට හොයාගන්න බැරි වෙච්ච හිනාව කාගෙවත් මූණේ දකින්න .
මිනිස්සු කැමති සංකීර්ණ , අවිවේකී මිනිස්සුන්ව කියවන්න .
" මම හරි සරලයි. හුදෙකලාව සොඳුරුයි "
කිව්වම හිත කියන්නේම ඒක මානසික ලෙඩක් කියලා. තුච්ඡ හිත කැමති නෑ ඒ වගේ අය ඇසුරට. මාරයා කැමති නෑ ලෝකයෙන් එතෙර දකින අයට .
මිනිස්සු කැමති ද්වතාව අල්ලගෙන ඔංචිලි පදින්න . අටලෝ දහමින් හතරක් ලුහුබඳින්න.
" අතහරින්න කලින් අල්ලගෙනද ඉන්නෙ කියලා බලන්න "
කිව්වම අතීතයයි අනාගතෙයි උස්සගෙන ප්රවේශම් කරනවා. මිනිස්සුන්ට නිකං ඉන්න බෑ . කරන්න දෙයක් හොයනවා හිත.
මිනිස්සුන්ට ඕනි නිවන් දකින්න ; හැබැයි දිව්යලෝක පැත්තෙ රවුමක් , දෙකක් ගහලා . කල්ප ගානකට පස්සෙ මෙතේ බුදුන් දැකලා.
" බුදුන්ට වඩින්න හිත පූජාසනයක් කරන්න "
කිව්වම තුච්ඡ හිත කැමති නෑ හිත පාපිස්නක් කරලා හිතෙන් මිදෙන්න . ඉතිං මොහඳුරේ තැන් හා කර කර රමණයේ යෙදෙනවා. ඒ සිතුවිලි පරම්පරාවට යටත් වෙලා ආයෙ ආයෙ උපදිනවා.
හිත ලස්සන වුණාම ලෝකය මල් යායක්. අපට ලංවෙන්නෙත් ඒ වගේම සුවඳ මල්.
ශ්‍රීමතී වල්පොළ