පැවසීමට බොහෝ දේ තිබුණද ඇසීමට බොහෝ දේ තිබුණද ඔබ ඉදිරියෙහි මුණිවත රැකීම ම පමණක් මා හට ඉතිරි වී තිබු එකදු කාර්යය විය. රාත්රී අන්ධකාරය රළුවත්ම වැස්ස මගින් හාරා ගනු ලැබූ පැරණි මතක වල නෂ්ඨාවශේෂන් ඉඳහිටක හදවත මැද සියුම් වූ ඉරිතැලීම් ඇති කරනු ලැබිණි.
සඳ හා ගෙවුණු රාත්රීන් වර්ෂාවේ කදුළු බිදු මැදින් දියාරු වී වෑස්සෙන්නට විය. දල්වාගත් ඩන්හිලයක වේගවත් සුවඳ නැහැය පසාරු කරගෙන යන මොහොතේ තවමත් නුඹ මා අසල බැව් සිහිගන්වන්නට තරම් විය. සිහින් කෙඳිරුමකින් පවා තත් ඇහැරෙන රාත්රියේ නුඹ හුස්ම ලයාන්විතව උණුසුම් වී ඇති සෙයක් ගෙලෙහි සියුම් තැන් හරහා මා හට දැනෙන්නට විය.
ඒ සියල්ල ඔබ මා අවනත කෙරූ මතකයන් වල ආලින්දයක් බඳු මොහොතකි.
ආදරය වනාහි එම සියලුම මතක අස්සේ නැවත නැවතත් අතීතාවර්ජිතව සැරිසැරීමය. කිසිදා බිඳකුදු හෝ නුඹට දුන් සෙනෙහස ආපසු නොගැනීමය !