Friday, May 03, 2024
Follow Us
ඌරු මස් පිඟාන
"කුසුමේ නැන්දාට ගිහිල්ල දීපං පුතේ..".
"හා."
"මගදී ලිං වලට එහෙම එබෙන්නේ නෑ තේරුනාද?."

 

"හා අම්මේ."
මම රොටී දෙකයි ඌරු මස් පීරිසියයි අරගෙන මහ ගෙදර පැත්තට පිම්මේ දුවගෙන ගියා.ඒත් මට වැඩිදුර යන්න පුලුවන් උනේ නෑ.මම කාගේ හරි හැප්පුනා කියලා මට තේරුනා. මාව වීසි වෙලා වැටුනා. රොටී දෙක එරමිණියා පදුර අස්සට රෝල් වෙලා යන කොට ඌරු මස් පීරිසිය තුනට හතරට කැඩිලා බිදිලා ගියා.
මම ඔලුව උස්සලා බැලුවා. දෙයියනේ තාත්තා.
"කොහේද මිනිහෝ උඩ බලාගෙන දුවන්නේ."
"කුසුමේ නැන්දාට දොළ දුකක් ඇති වෙලා.
අම්මා කිව්වා මේක ගිහිල්ල දෙන්න කියලා."
"දොළ දුකක්."
"ඔව්.."
"අද රෑට රොටීද? පොඩි."
"හ්ම්.."
"මොනව කරන්නද? යමං ගෙදර."
තාත්ත එක්ක මම හිස් අතින්ම ආපහු හැරැනා.
අම්මා මිදුලට වෙලා ඉනට අත් දෙක තියාගෙන බලාගෙන ඉන්නවා
"ඔයා කුසුමේට දෙන්න කියල පොඩි පුතා අතේ රොටීයි ඌරු මසුයි යැව්වද? "
"ඔව් ඇයි."
"ඇයි කුසුමේට ඒ වගේ කෑමක් යැව්වේ."
"අද උදේ ළිඳ ලගදී කුසුමේ මහ පුදුම කතාවක් කිව්වනේ. "
"ඒ මොකද්ද?"
"අක්කේ මට ඌරු මස් එක්ක රොටී කන්න ආසයි.කිව්වා."
"ඉතින්."
"මම ඇහැව්වා වෙනසක් තියෙනවද කියලා."
"කුසුමේ ලැජ්ජාවෙන් ඔලුව වැනුවා. මට හරිම දුකයි. අද හවස හන්දියේ ලෑල්ල ලඟ වල් ඌරු මස් තිබුනා ඒකිගේ වෙලාව. ඌරු මස් කිලෝ එකක් ගෙනත් ඉක්මනට හැදුවා. රොටී ටික හදන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මම ඌරු මස් පිරිසියයි රොටී දෙකයි පොඩි අතේ යැව්වා. අනේ ඒකි ආසාවෙන් කනවා ඇති."
"කුසුමේට මේ ආත්මෙට දරුපල නෑ කියල නේද කිව්වේ."
"ඒක තමයි මටත් පුදුමේ. ගෑණි පුදුම සතුටකින්ලු ඉන්නේ. කුසුමේ බඩ අත ගගා තනියම හිනාවෙනවලු."
"ඇත්තට."
එදා රෑ තාත්තා එයාට කන්න තිබුන රොටී දෙකයි ඌරු මස් පිගානයි අරගෙන මං ලගට ආවා.
"බඩ දරු අම්ම කෙනෙක් බඩගින්නේ තියනවා කියන්නේ ලොකු පාප කර්මයක්. මගේ පුතා මේක කුසුමේ නැන්දාට ගිහිල්ල දීපං පුතේ."
තාත්තා බඩ ගින්නේ ඉදලා එයාගේ පංගුව මගේ අතේ කුසුමේ නැන්දාට යැව්වා. තාත්තා එහෙම කලේ ඈයි කියල මට අදටත් හිතා ගන්න බෑ. මගේ අතේ වැරැද්ද නිසා ඒ ගැන මම අම්මාට කියන්න ගියෙත් නෑ.
තාත්තා අලුත් ගෙදර හැදුවට පස්සේ තමයි අපි මහ ගෙදර අත හැරලා අලුත් ගෙදර පදිංචියට ආවේ. මහ ගෙදරයි අලුත් ගෙදරයි තිබුනේ එකම ඉඩමේ උනාට මීටර් පනහක හැටක පරතරයක් ඒ දෙක අතර තියෙන්නට ඇති කියලා මට හිතුනා. මහ ගෙදර පාලුවට යන එකට වැඩියෙන්ම අකමැති උනේ අම්මා.ඒ නිසා තමයි තාත්තා ඒක කුළියට දෙන්න තීරණය කලේ.
කුසුමේ නැන්දා සුමති මාමා මහගෙදරට කුළියට ඇවිත් මාස තුනක් විතර ගෙවිලා ගියා. එයාලා නෑදෑයෝ නොවුනාට වැඩි දවසක් ගියේ නෑ අපි එක්ක පුදුම විදිහට හිතවත් උනා.
සුමති මාමා එවකට වැඩ කලේ වික්ටෝරියා ජලාශය ආශ්රතව ආරක්ෂක නිලධාරියෙක් විදිහට. ඔහුගේ රැකියාවේ හැටියට නිවාඩු ලැබුනේ මාසයකට වරක් නිසා කුසුමේ නැන්දාට වැඩි හරියක් ඉන්නට සිදුවුනේ තනිවම. ඇය ඉතා රූමත් කෙනෙක්.
කුසුමේ නැන්දා සුමති මාමාව විවාහ වී වසර පහක් පමණ ගෙවී ගොස් තිබුනද ඔවුන්ට දරුවන් හිටියේ නෑ. දරුවකු පිළිබඳ ඇති ආසාව අතහැර දමා තිබුන අවධියක තමයි එක පාරට කුසුමේ නැන්දා මවක් වෙන ලකුණු පහල වෙන්නට පටන් ගත්තේ.
කුසුමේ නැන්දාගේ කුස ටික ටික ලොකු වෙනකොට වැඩියෙන්ම කලබල උනේ තාත්තා.
"බඩ දරු අම්ම කෙනෙක් තට්ට තනියම ඉන්නකොට අපි කොහොමද මැණිකේ මෙහෙ සැනසිල්ලේ නිදා ගන්නේ."
"දරුව ලැබෙන්න මාසෙකට කලින්වත් මනුස්සයට නිවාඩු දාලා එන්න කියන්න වෙයි."
"මම කියල බලන්නම්."
"ගේ කුළියට දීලා අපි කරගත්ත දෙයක්."
"එහෙම කියන්න එපා මැණිකේ ඔයා දරුව ලැබෙනකල්වත් ගෑණි ගැන ටිකක් හොයල බලන්න."
"ඔයාගෙයි කොල්ලෝ තුන් දෙනාගෙයි සුමේ කරනව මදිවට මට තව වින්නඹු කන් කරන්නද කියන්නේ."
"මේ වෙලාවේ ඒ ගෑණි අසරණ වෙලා ඉන්නේ මැණිකේ."
"අපි පොඩි පුතාව රෑට විතරක් කුසුමේ ගාව නතර කරමුද?"
"කොල්ලට උදේට ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා."
"දරුවා ලැබෙනකල් විතරනේ."
කුසුමේ නැන්දාට රෑට තනි රකින්න අපේ ගෙදර කෙනෙකුව යෝජනා උනේ මේ විදිහට. අන්තිම වනතුරුම ඇය ගාවට යන්නේ කව්ද කියල තීරණය කරලා තිබුනේ නෑ.ලොකු අයියාත් මද්ධු අයියාවත් මේ යෝජනාවට කොහොමත්ම කැමති උනේ නෑ. අන්තිමට රාත්රියට විතරක් ඇයගේ තනියට යන්නට සිදු උනේ මට.
"කුසුමේ නැන්දාට අමාරු උනොත් ඉක්මනට ඇවිත් අපිට කියාපං මගේ පුතා. තේරුනාද?"
"හා."
අම්මා ඔතල දෙන මොනව හරි අරගෙන රෑ හතට විතර මම කුසුමේ නැන්දාට තනියට යන්නට ගෙදරින් පිටත් වෙන්න පුරුදු උනා.මට මතක විදිහට එතකොට මගේ වයස අවුරුදු දහයක් විතර ඇති.
මාස දෙකක් විතර මේ විදිහට ගිහින් ඇය ළග නිදා ගන්න එක මට පුරුදු උනා. කුසුමේ නැන්දාගේ බඩ ටික ටික ලොකු වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ..
මේ සිදුවීම වෙනකොට කුසුමේ නැන්දාගේ බඩ කලගෙඩියක් විතර ලොකු වෙලයි තිබුනේ.එක දවසක් කුසුමේ නැන්දා කෙදිරි ගාන ශබ්දයට මට එක පාරටම ඇහැරැනා. මහ රෑ උනාට වෙලාව කීයද කියලා මට මතකයක් තිබුනේ නෑ. රැහැයියන්ගේ තොරතෝංචියක් නැති කෑගැහිල්ලත් ,ඈත බල්ලෙක් උඩු බුරන ශබ්දයක් ඇරෙන්නට එදා රාත්රිය පුරාවට තිබුනේ දැඩි නිස්කලංක මුසල බවක්.
ඇයත් මමත් නිදාගෙන හිටියේ එකම ඇදේ නිසා වෙනදාට වඩා වෙනසක් මට ඇයගෙන් විද්යාමාන උනා. වැඩි වෙලාවක් ගියේ නෑ කලගෙඩියක් තරම් ලොකු බඩ අල්ලාගෙන ඇය ඉකිගසමින් අඩන්න පටන් ගත්තා.
"අම්මේ මට ඉන්න බෑ අම්මේ."
ඇය විලියෙන් කෙදිරි ගාන්නට පටන් ගත්තා.
"කුසුමේ නැන්දාට බඩ රිදෙනවද?"
ඇය ඉකිගසනවා විනා මට උත්තර දුන්නේ නෑ.
"මම නැන්දාගේ බඩ අත ගාන්නද?"
ඇය කතා කලේ නෑ. ටික වෙලාවකින් ඇය කෑ ගහලා අඩන්නට පටන් ගත්තා. ඒ වෙලාවේ මට පුදුම බයක් ඇති උනා.
"පුතේ අම්මට කියපං මට අමාරුයි කියලා. දුවල පලයං පුතේ."
ඇය යටිගිරියෙන් කෑ ගැහුවා. වෙලාව හරියටම කියන්න මතකයක් නෑ. මම එළියට බැහැල පිම්මේ දුවගෙන ගිහිල්ල නතර උනේ අපේ දොරකඩ ඉස්සරහ. මට මතකයි එදා හොඳට හඳ පායපු දවසක්. මම දොර ලඟට ගිහිල්ල වැර යොදලා දොරට තඩි බෑවා. ඉස්සෙල්ලාම දොර ඇරගෙන එළියට ආවේ අම්මා.
"පොඩී.. .."
"කුසුමේ නැන්දාට අමාරුයි අම්මේ."
"දෙයි හාමුදුරුවනේ. හෙට පසලොස්වක."
"යමං පුතේ."
තාත්තා ටෝච් එක අරගෙන එළියට එතකොටත් අම්මා මාත් එක්ක මහ ගෙදර ඉස්තෝප්පුවට ගොඩ වෙලා ඉවරයි.
කුසුමේ නැන්දා වේදනාවෙන් කෑ ගහන ශබ්දය නිසල රාත්රිය දසත දෝංකාර දුන්නා.
"දෙයි හාමුදුරුවනේ." අම්මා ඔලුවේ අත ගහගන්නවා මම දැක්කා.
"ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙලාවක් නෑ.දරු පැටියා එළියට එනවා. ඔයා ඉක්මනට වින්නඹු අම්මව කැන්දන් එන්න". අම්මා කෑ ගැහුවා.
අම්මා කී පමාවෙන් තාත්තා අදුරේම අතුරුදහන් වුනා.
"අම්මේ මට ඉන්න බෑ අම්මේ. අම්මා....මා...මා.."
ඇය විලි අමාරුවෙන් කෑ මොර දෙනකොට මට පුදුම දුකක් ඇති උනේ. මාව හම්බ වෙනකොටත් අම්මා මෙහෙම දුක් විඳින්න ඇති කියලා මට ඒ වෙලාවේ හිතුනා.
"තව ටිකක් ඉවසපන් නංගියේ." අම්මා එහෙම කිව්වේ කුසුමේ නැන්දාගේ හිස පිරිමදින ගමන්.
විනාඩි දහයක් වත් ගියේ නෑ තාත්තා ආවේ වයස අවුරුදු හැටක විතර මැදිවියේ ගැහැණු කෙනෙක් එක්ක.
ඇය අතේ කුඩා ලී පෙට්ටියක් තියෙනවා මම දැක්කා. ඇය ඒක ඇරලා කතුරක්, පිහියක් කපු පුලුන් ටිකක් සුදුපාට රෙදි කැබලි, කීපයක් එළියට ගත්තා.
"ඔය දරුවත් අරගෙන එළියට ගියානම් තමා හොඳ. "ඇය මං දිහා රවල බලන ගමන්ම එහෙම කිව්වා.
"ඔයා කොල්ලත් අරගෙන එළියට වෙලා ඉන්න. ඕන උනොත් මම කතා කරන්නම්". අම්මාගේ කීමට තාත්තා අකමැත්තක් පෙන්නුවේ නෑ.
"පොඩී යමු එළියට"
.තාත්තා එහෙම කියල මගේ අත තදින් අල්ල ගත්තා.දෙයියනේ තාත්තගේ අත වෙව්ලනවා. ඒ අත සීතල වෙලා ගැහෙන හැටි ඒ වෙලාවේ මට හොඳටම දැනුනා.
මිදුලේ හිටපු අපට විනාඩි පහක් වත් ගියේ නෑ දරුවෙකු හඬන ශබ්දයක් ඇහුනා. මම තාත්තගේ මුහුණ දිහා බැලුවා.ඒ වෙලාවේ හද එළියට මට තාත්තගේ මුහුණ හොඳට පේනවා. පුදුමයි ඒ තරම් හැගීම්බර අවස්ථාවක් මම තාත්තගේ මුහුණෙන් කවදාවත්ම දැකලා තිබුනේ නෑ.
"ඇතුලට එන්න. කුසුමේට කෙල්ලෙක් හම්බවුනා." අම්මා ඇවිත් කියනකොට තමයි මමයි තාත්තයි ඇතුළට ගියේ.
ඔලුවේ කෙස් ගහක් නැති උණ හපුලු පැටියෙක් වගේ චුටිම චුටි චුට්ටෙක් තමයි ඒ වෙලාවේ මම දැක්කේ.
ඒ වෙලාවේ කුසුමේ නැන්දා ඇස් පියාගෙනයි හිටියේ.අපි ඔක්කොම හිතුවේ ඇයට ප්රසෘත වේදනාව නිසා අමාරුවට නින්ද යන්න ඇති කියල.
"බයවෙන්න දෙයක් නෑ. ඔය අමාරුවට නින්ද ගිහිල්ල තියන්නේ. තව ටිකකින් ඇහැරෙයි." වින්නඹු අම්මා අඩුම කුඩුම ටික පෙට්ටියට දාන ගමන් කියනවා මට ඇහුනා.
වින්නඹු අම්මා යන්න කියලා එළියට බහින කොටම තාත්තා ඇයව ඇරලවන්න ඉස්සර උනා. ඒත් එයාලට අඩි දහයක්වත් ඉස්සරහට යන්නට පුලුවන් උනේ නෑ. අම්මාගේ අධෝනාවට ඔක්කොම ගැස්සිලා ගියා.
"කුසුමේ කතා කරන්නේ නෑ. හුස්ම ගන්නෙත් නෑ.දෙවි හාමුදුරුවනේ අපි දැන් මොකද කරන්නේ."
අම්මා ඔලුවේ අත ගහගෙන කෑ ගහන්න පටන් ගත්තා. වින්නඹු අම්මා ආපහු හැරිලා ඇවිත් කුසුමේ නැන්දාගේ මුහුණට ලං වෙලා බලනවා මං දැක්කා.
ඇය බලාගෙන හිටියේ නෑ කුසුමේ නැන්දාගේ පපුව අත් දෙකෙන් දිගටම තද කරගෙන තද කරගෙන ගියා. ඒත් ඇයගේ ප්රතිකාරය පරක්කු වැඩියි කියලා මට හිතුනා. කුසුමේ නැන්දා ආයෙමත් නැගිට්ටේ නෑ.
"කරන්න දෙයක් නෑ. ගෑණිගේ පණ ගිහිල්ල". ඇය ඔලුවේ අත ගහගන්න ගමන්ම මිමිනුවා.
"එහෙම කියලා හරියන්නේ නෑ. අපි ඉස්පිරිතාලේට අරගෙන ගිහිල්ල බලමු". තාත්තා කෑ ගැහුවා.
"මම හිතන්නෑ වැඩක් වෙයි කියලා."
තාත්තා එක පාරටම ඇයව උස්සගෙන පාර ගාවට දුවගෙන ගියා.අම්මා චුටි පැටියා වඩාගෙන අඩ අඩා ඇය පස්සෙන්ම දුවගෙන ගියා. වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරිව මම බලාගෙන හිටියා..ඒවෙලාවේ එළිය වැටෙන්නට තවත් ඉතුරු වෙලා තිබුනේ හෝරාවක් වගේ කාලයක්.
කුසුමේ නැන්දා ඉස්පිරිතාලෙට අරන් යනකොටත් මිය ගිහිල්ලයි තිබුනේ. දොස්තරලා කියලා තිබුනේ ඇයගේ ගර්භාෂයේ පැලෝපීය නාලයක් පුපුරලා අදික ලේ වහනය නිසා සිදුවු මරණයක් කියලා.
කුසුමේ නැන්දාගේ මිනිය මහ ගෙදරට ගෙනාවට පස්සේ තමයි සුමති මාමා නිවාඩු දාලා ගෙදර ආවේ. ලොකුම ප්රශ්නය උනේ අලුතින් ඉපදුන පැටියා පිටිකිරි නොබීපු එක. කිරි එරෙන අම්මා කෙනෙක් හොයාගන්න අම්මා සෑහෙන්න මහන්සි උනා මට මතකයි. එහෙම කෙනෙක් නම් ගමේ හිටියා. ඇයගේ නම මට මතකයක් නෑ.අන්තිමට දරුවා හැමදාම ඇය ළගට රැගෙන යන්නට සිදු උනේ අම්මාට.
කූසුමේ නැන්දා මැරැනාට පස්සේ සුමති මාමා මහ ගෙදරින් ගියේ නෑ. දරුවා පිටිකිරි වලට හුරු උනාට පස්සේ එයා ආයෙමත් ගැහැණු කෙනෙක් අරගෙන ආවා. ඔහු නම් කිව්වේ ඇය කුසුමේ නැන්දාගේ සහෝදරියක් කියලයි.
කුසුමේ නැන්දා මියගිහින් අවුරුද්දකට විතර පස්සේ තමයි මේ සිද්ධිය අපිට දැක බලාගන්න පුලුවන් උනේ. අපේ ඉඩමට අල්ලපු ඉඩම අක්කර දහයක විතර විශාල පොල් ඉඩමක්. ඒකෙන් භාගයක් විතර තිබුනේ එරමිණියා කැලේ. ඒ කැලේ අස්සේ වල් ඌරෝ, මීමින්නෝ, තලගොයි, මුගටි විතරක් නෙවෙයි විෂඝෝර නයි පොලොන්ගුත් හිටියා.
සුමති මාමා වැඩට ගියාම ආයෙමත් එන්නේ මාසයකට සැරයක් නිසා නංගීව බලාගෙන හිටියේ අලුතින් ගෙනාපු නැන්දා. ඇය කඩේට, ළිදට ,පොළට යනකොට කරන්නේ නංගීව ගෙට දාලා දොර වහලා යන එක. එයා ඵළියට යනකොට නංගීව අපේ ගෙදර තියලා යන්න කියලා අම්මා කීප වතාවක්ම කිව්වට ඒක එයා සතේකට මායිම් කලේ නෑ.
එහෙම ඇය එළියට ගිය දවසක නංගී කොහොමහරි දොර ඇරගෙන මිදුලට ඇවිල්ල තිබුනා. එතකොට නංගී අමාරුවෙන් අඩිය තියලා ඇවිදින කාලේ.
මිදුලට ආපු නංගී එක්ක කුඩා වල් ඌරෙක් සෙල්ලම් කරනවා ඉස්සෙල්ලාම දැකලා තියෙන්නේ අපේ අම්මා. ඌ වල් ඌරෙක් නෙවෙයි වල් ඊරියක් කියලා පස්සේ අපි දැනගත්තේ. කැලේ හිටපු වල් ඊරියක් නිසා නංගීට කරදරයක් වෙයි කියලා අපි ගොඩක් බය උනා.ඒකට හේතුව ඌ දිගටම එන්න පටන් ගත්ත නිසා. ලොකුම ප්රශ්නය උනේ ඌ ඇවිත් නංගී යන යන පස්සේ යන්න පටන් ගත්ත නිසයි. තාත්තා ඌව එලවන්න එක එක දේවල් කලා. ඒත් ඌ එන එක නතර කරන්න කාටවත්ම පුලුවන් උනේ නෑ.
වල් ඊරි නංගීට පණ වගේ ආදරෙයි.ටික දවසක් යනකොට ඌ නංගීව කාටවත් අල්ලන්න දෙන්නෙත් නෑ. නංගී පස්සෙන්මයි. ඌ උදේම මහ ගෙදර ගාවට ඇවිත් නංගී එළියට එනකල් බලාගෙන ඉන්නවා. ඒ ඇවිල්ල ආයෙමත් යන්නේ අදුර වැටීගෙන එනකොට. වල් ඊරි නිසා දරුවාට කරදරයක් වෙයි කියලා ගොඩක්ම කලබල උනේ සුමති මාමා.
"මම ඌව මරනවා.. "
නිවාඩු ආපු වෙලාවක සුමති මාමා එහෙම කියනවා මට ඇහිලා තියෙනවා.
"මේක බලාගෙන ඉන්න පුලුවන් දෙයක් නෙවෙයි.මම හෙටම යනවා ගල්ගමුවේ හාමුදුරුවෝ හම්බ වෙන්න." අම්මා දවසක් එහෙම කියනවා මට ඇහුනා.
"ඔයාට හිතෙනවද? හාමුදුරුවන්ට මේක විසදන්න පුලුවන් කියලා"
තාත්තා එහෙම කිව්වේ අම්මාගේ යෝජනාවට ඒ තරම් කැමැත්තකින් නොවේ.
"උන් වහන්සේ මාර්ග ථලයක් ලබපු කෙනෙක් නිසා අතීතයේ උන දේවල්, අනාගතයේ වෙන දේවල් ඔක්කොම උන් වහන්සේට කියන්න පුලුවන්."
"ඔයාගේ කැමැත්තක්."
තාත්තා අන්තිමට එහෙම කිව්වේ අම්මා ගත්ත තීරණයක් ආයෙමත් වෙනස් කරන්නේ නෑ කියලා තේරුන නිසා වෙන්න ඇති.
එක දවසක් අම්මා මාවත් ලෑස්ති කරගෙන ගෙදරින් එළියට බැස්සා.කොහේද යන්නේ කියලා ඇහුවාට බස්එකට නගිනතුරැම අම්මා මට ඇත්ත කිව්වේ නෑ.
"කොහේද? අම්මා අපි යන්නේ."
"ගල්ගමුවේ හාමුදුරුවෝ මුණ ගැහෙන්න."
"ඇයි අම්මා අපි හාමුදුරුවෝ මුණ ගැහෙන්නේ."
"කට වහගෙන යමං. හේතුව මම පස්සේ කියන්නම්."
අම්මා එහෙම කිව්වාම ආයෙමත් ඒ ගැන මම කතා කරන්න ගියේ නෑ.
අපි ගල්ගමුවට ඇවිත් තවත් කිලෝමීටර විසි පහක් විතර කැලේ ඇතුළට ආවා මට මතකයි.ඒක වන අලි බහුල මිනිස් වාසයෙන් තොර ජන ශූන්ය ප්රදේශයක්. හැම පැත්තෙන්ම පෙනුනේ රූස්ස කැලේ.
අම්මා හාමුදුරුවෝ හොයාගෙන ගල්ගුහාවක් වගේ තැනකට මාව කැන්දාගෙන ආවා.ඒ වෙලාවේ හාමුදුරුවෝ එරමිණියා ගොතාගෙන ගල් ගුහාව ඉදිරිපිට තිබුන මාහා රූස්ස ගහක් යට භාවනා කරනවා. වයස අවුරුදු හතලිහක විතර පෙනුමක් තිබුන හාමුදුරුවන්ට තිබුනේ හරිම නිවිච්ච මුහුණක්.
අම්මා උන් වහන්සේට දණගහලා වදිනකොට මමත් එහෙම කලා.
"සමාවෙන්න හාමුදුරුවනේ ලොකු ප්රශ්නයක් නිරාකරණය කරගන්නයි ආවේ."
"කියන්න අම්මේ"
හාමුදුරුවෝ හරිම ශාන්තව එහෙම කියනකොට අම්මා ආයෙමත් උන් වහන්සේට දණගහලා වැන්දා.
"අපේ මහ ගෙදරට කුළියට ආපු ගැහැණු කෙනාට දරුවෙක් ලැබුනා. දරුව ලැබුන දවසෙම ඇය මියගියා හාමුදුරුවනේ. දරුවට දැන් වයස අවුරුද්දක් විතර ඇති. අපිට තියෙන ලොකුම ප්රශ්නය දරුවා පස්සෙන් කැලේ ඉන්න වල් ඊරියක් එනවා. කොච්චර එළවන්න හැදුවත් ඌ යන්නේ නෑ ආයෙමත් එනවා හාමුදුරුවනේ."
"ඇති ඇති අම්මේ. මට පේනවා"
"කියන්න අපේ හාමුදුරුවනේ මොනවද ඔබ වහන්සේට පෙනෙන්නේ" අම්මා පුදුම විදිහට කලබල වෙනවා මම දැක්කා.
අම්මා කලබල වෙන්න ඕනේ නෑ.ඔය වල් ඊරි කවුරුවත් නෙවෙයි කලින් ආත්මයේ ඒ දැරිවිගේ අම්මා. දරුව ඉපදුන ගමන් පණ ගියාට දරුව ගැන සෙනෙහසින් දුකෙන් තමයි ඒ ඇත්තී මැරැනේ. ඇය දරුවා දාලා ගියේ හරිම දුකෙන්. ඒ නිසාම ඇය ගෙදරට ළගම කැලෑවක ඊරි දෙනක්ගේ යෝනියක පිළිසිද ගන්නවා. ඔය එන්නේ කලින් ආත්මයේ දරු සෙනෙහස දරාගන්න බැරිව. අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන සෙනෙහස ආත්ම හතකටවත් සන්සිදෙන්නේ නෑ ඒකයි තිරිසන් සතෙක් වෙලත් ඔය දරුව පස්සෙන් එන්නේ."
"මට බයයි අපේ හාමුදුරුවනේ".ඒකයි ඔබ වහන්සේ හොයාගෙන මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ"
"කාටද බය අම්මේ".
"මට බයයි"හාමුදුරුවනේ ඊරිගෙන් දරුවාට කරදරයක් වෙයිද?" කියලා
"බයවෙන්න එපා. කවදාවත් එහෙම වෙන්නේ නෑ' ඒත් ගෙදර අයගෙන් මේ අහිංසක සතාට කරදරයක් වෙන්න පුලුවන්."
"එහෙමයි හාමුදුරුවනේ."
'අම්මා දැන් ඉක්මනට යන්න ඕනේ. මට පේනවා ඒ අහිංසක සතාගේ ජීවිතය අනතුරේ කියලා."
"එහෙමයි හාමුදුරුවනේ."
හාමුදුරුවෝ කියන කිසිම දෙයක් ඒ වෙලාවේ මට හරියට තේරුනේ නෑ. අම්මා හාමුදුරුවන්ට වැඳලා මාවත් අතින් ඇදගෙන එදා එතනින් පිටවුනේ පුදුම හදීස්සියකින්.
අපි එදා ගෙදර යනකොට හොඳටම රෑ වෙලයි තිබුනේ. එදා අපි ගෙදර යනකොට මේසේ උඩ වහපු පිගානක් තිබුනා මට මතකයි.ඒක ගෙදර පිගානක් නොවන නිසා අම්මා ටිකක් කලබල වෙනවා මම දැක්කා.ඒ වෙලාවේ ගෙදර හිටියේ මද්ධු අයියා විතරයි. අම්මා මද්ධු අයියා ඉන්න කාමරේට කඩා වැදුනේ පුදුම කලබලයෙන්.
"කවුද? මද්ධු මේ පිඟාන ගෙනාවේ."
"සුමති මාමා."
"මොනවද? මේ.. අම්මා පිඟාන ඇරගෙන මද්ධු අයියා ගාවටම ගියා."
"ඌරු මස් කියලා තමයි ගෙනත් දුන්නේ."
"ඌරු මස්.. කොහෙන්ද?"
"නංගීට කරදරයක් වෙයි කියල අර ඌරු පැටියා මැරැවලු අම්මා."
"දෙයි හාමුදුරුවනේ"ඛ. අම්මා ඔලුවේ අත ගහගෙන බිම වාඩිවෙනවා මම දැක්කා.
"කවුද? මැරුවේ." කියාපන් කවුද ඒ අහිංසක සතාව මැරුවේ කවුද?"
"සුමති මාමා."
අම්මා විලාප තියමින් අඩන්න පටන් ගත්තා.අම්මා අඩන්නේ ඇයි කියලා එදා මට තේරුනේ නෑ. මද්ධු අයියත් මමත් අම්මා අඩන්නේ ඇයි කියල ඇහුවට අම්මා ඒකට උත්තර දුන්නෙත් නෑ.
"කුසුමේ උඹ කවදාවත්ම ආයේ මේ මිනිස්සු ලගට එන්න එපා.. නංගියේ.."
අම්මා කදුලු සලමින් එහෙම කියනවා මට ඇහුනා.
කුසුමේ නැන්දා ඒවනකොටත් අයෙමත් ඉපදෙන්න කාගේ හරි කුසක පිළිසිදගෙන ඉන්න ඇති කියලා මට හිතුනා.. නිමක් නැති සංසාරයේ නිවන් දකින තුරුම ඉපදෙන එකයි, මැරෙන එකයි ,අපට නතර කරන්න පුලුවන්ද?
- චාමින්ද ගුණවර්ධන