Friday, November 22, 2024
Follow Us
' ෂට් ඩවුන්'

පරිගණකය ඇගේ අණට ක්‍රියාත්මක විය. එය පසෙකින් තැබූ ඇය දෑත් දෙපසට විහිදුවා ඇඳේ හිඳ මහ හඬින් සුසුමක් හෙලුවාය.
" එහෙම වෙන්නෙ කොහොමද? " ඇය නැවත නැවතත් සිතුවාය.
"ෆිල්ම් එකක එහෙම දෙයක් වෙනව නම් ඇයි ඇත්ත ජීවිතේ එහෙම වෙන්න බැරි? මං හිතපු කිසිම දෙයක් වෙන්නෙ නැත්තෙ ඇයි? "
මහේශාක්‍යාට තදබල වෙහෙසක් දැනිණි. ඇඳෙන් නැගිට ගත් ඈ උණුසුම් කෝපි කෝප්පයක් පිළියෙල කරගත්තේ නිදිමත පහකර ගැනීමටය. ඇයට නැවත නැවතත් සිහි වූයේ අශීමාගෙත්, අශෝක්ගේත් අපරිමිත ප්‍රේමයේ කතාවයි.
" මිනිස්සුන්ට පුලුවන්ද එහෙම ආදරේ කරන්න?"
මහේශාක්‍යා නැවතත් සිතුවාය.
" බඳින්න කලින් දැනගෙන හිටපු අපිට දුර ගමනක් යන්න බැරි වුනා නම්...... ඒ වුනාට අශීමා බඳින්න කලින් අශෝක්ව දැනගෙන හිටියෙ නෑනෙ. අඩුමතරමෙ බැඳපු ගමන් අශීමට තමන්ගෙ රට දාල නොදන්න මිනිහෙක් එක්ක ඇමරිකාවට යන්න වෙච්ච එකම ලොකු අපරාධයක් නේද? "
මහේශාක්‍යා සු‍රතින් නළල පොඩි කළාය. හිස රිදෙන බව ඇයට තදින් දැනුණි.
" ඔයා හිත හදාගන්න ඕන මහේශාක්‍යා. ඒක ෆිල්ම් එකක් විතරයි. ෆිල්ම් කියන්නෙ මනඃකල්පිත කතා. ඒව ඇත්ත ජීවිතේ වෙන්නෙ නෑ. "
මහේශාක්‍යා තමන්ටම පැවසුවේ තම හිත සුව පිණිසමය. දීර්ඝ නින්දක් තමාට අවැසි බව දැනුණත් හිතට සුවයක් නැත. ඉතින් නින්ද ලබාගන්නෙ කෙසේදැයි මහේශාක්‍යා කල්පනා කළාය. මාස දෙකකට ඉහත දී සිදු වූ සියල්ල ඇයට සිහිනයක් මෙන් දැණිනි. ඉක්මනින් මේසය අසලට ගිය ඇය යමක් ලියන්නට ගත්තාය. එහෙත් දෙඅත් වෙව්ලන්නට විය. රැයක් නිදි නොමැතිව චිත්‍රපටය කිහිප වතාවක් නැරඹීම නිසා ම ඇගේ දෙනෙතට වෙහෙසක් දැනිණි. සියල්ල බොඳ වී යන සෙයක් ඇයට දැනුණද ඇය තදින් දරාගත්තාය. අවසානයේ ඇගේ දුරකථනය නාද වූයේ ඇයව පියවි සිහියට කැඳවමිනි.
" අම්මා.."
මහේශාක්‍යා හොඳින් අසා සිටියාය. ඒ තම බාල පුතුගේ හඬය.
" ඔයා කොහෙද ඉන්නෙ අම්මා? අනේ ඉක්මනට කියන්න ප්ලීස්.."
" සෙනෙල්.. අම්මා හොඳින් ඉන්නව පුතේ. දැන් අම්මා ගැන කරදර වෙන්න එපා. "
ඒත් සමගම අනිත් පසින් ඉකිබිඳින හඬක් මහේශාක්‍යාට එකවරම ඇසිණි.
" සෙනෙල්. ඔයා අඬන්නෙ ඇයි? තාත්තා කතා කරාද ඔයාට?"
" මට ඔයා එක්ක කතා කරන්න ඕන අම්මෙ. ඔයා ඉන්න තැන කියන්න මං එන්නම්. "
" මං ඉන්නෙ ගෙදරනෙ පුතා. දැන් ඔයාට අඬන්න තරම් මොනාද වුනේ රත්තරනෙ."
මහේශාක්‍යා තමන්ටම බොරු කරගනිමින් සිටියාය.
" හැමදේම නැති වුනත් මං හුඟක් දේවල් දන්නව අම්මා. ඔයා ඉන්න තැන එඩ්‍රස් එක කියන්න. මට ඕන දැන් ඔයාව බලන්න. ඔයා එක්ක කතා කරන්න."
"සෙනෙල් මං කියන දේ අහන්න පැටියෝ. අම්මා ගොඩක් හොඳින් ඉන්නව. ඒත් මෙතනින් පස්සෙ ඔයාවත්, අයියවත් මං ගැන හොයන්න බලන්න එපා. මට පුලුවන් මාව බලාගන්න."
" අනේ අම්මේ..............."
සෙනෙල්ගේ හඬට බිය වූ මහේශාක්‍යා ඇගේ ලිපිනය ඔහුට යැව්වේ සියල්ලට වඩා දරු පෙම තවමත් ඇය ළඟ බැවිනි.
උදෑසන ආහාරය සැකසූ මහේශාක්‍යා සෙනෙල් එතැයි සිතා මිදුලට බැස්සාය. තවමත් මල් පොහොට්ටු දරන රෝස පඳුරෙන් තරමක් පිපී ආ මලක් කඩාගත් ඈ එහි සුවඳ බැලුවාය. එක්වරම ගේට්ටුව අසලින් ආ හඬට ඈ එහි පිවිසියේ මාස ගණනකින් නොදුටු සෙනෙල්ගේ මුහුණ දැකීමටය. ඔහුගේ දෑස් රතු වී ඇත. හැඬූ බව හොඳින් පෙනේ.
" අම්මා.... " දිව ආ ඔහු මහේශාක්‍යාව වැළඳගත්තේ මහත් සෙනෙහසකිනි.
" ඔයා මෙහෙ ඉන්නෙ හරි සතුටින් වගේ"
සෙනෙල් එසේ පැවසුවේ වටපිට බලමිනි.
" විශාල ගෙවල් හිස් පුතා. ඒත් පුංචි ගෙවල් හැමදේකින්ම පිරිලා. දුක, සතුට, නිදහස, ආදරේ මේ හැමදේම මේ ගේ ඇතුළෙ පිරිල පුතා."
" ඒත් අම්මේ.. අම්මා ඉන්නෙ තනියමනෙ"
සෙනෙල් එය පැවසුවේ කුතුහලයෙනි. ඒ තරම් හැඟීම් ප්‍රමාණයක් තනි කෙනෙක් ලබාගන්නෙ කොහොමදැයි ඔහුට සිතුණි.
" හැමදේම තියෙන්නෙ හිතේ සෙනෙල්..."
එසේ පැවසූ මහේශාක්‍යා කුස්සියට ගියේ සෙනෙල්ට ආහාර පිළිගැන්වීමටය. සෙනෙල්ට සියල්ල පැවසිය යුතු දැයි ඇයට සිතුණි. අවසානයේ සෙනෙල් හෝ ඔහුගේ අයියා කිසිවෙකු පිළිබඳ තරහක් ඇති කරගැනීම නොමනා බව ඇයට සිතුණි.
" මං එයාලගෙ අම්මා. එයාලා කිසිම කෙනෙක් ගැන තරහක් ඇති කරගන්න ඕන නෑ. එහෙම වුනොත් ඒක මගෙ වැරැද්දක් වෙනව. "
මහේශාක්‍යා බොහෝ කල්පනා කළාය. සෙනෙල් ආසාවෙන් කෑම අනුභව කරනු දුටු මහේශාක්‍යාට අප්‍රමාණ සතුටක් දැනිණි.
" ඇත්තටම මොකක්ද අම්මෙ වුණේ? "
සෙනෙල් මාතෘකාවට පිවිසුනේ ආහාර ගැනීමෙන් පසුවය.
" පුතා මට ප්‍රොමිස් වෙන්න මේව අහල කිසිම කෙනෙක් එක්ක වෛර බැඳගන්නෙ නෑ කියල."
" මේ ජීවත් වෙන ටික කාලෙට කාටවත් වෛර කරන්නෙ ඇයි අම්මෙ? මං එච්චර මෝඩ නෑ. දැන් වෙච්ච හැමදේම අම්මා මට කියන්න."
මහේශාක්‍යා සිනාසී සුසුමක් හෙළුවාය. සෙනෙල්ට ඉදිරියෙන් වූ අසුනේ හිඳගත් ඈ කතාව ආරම්භ කළාය.
" මට තේරෙන් නෑ පුතා කොහෙන් කොහොම පටන් ගන්නද කියල. මටත් හැමදේම පැටලිලා වගේ. ගලපගන්න හරි අමාරුයි."
මහේශාක්‍යා අපහසුවෙන් සිනහවක් සිත්තම් කළාය.
" හරී. එහෙනං ඔයාලා ආදරේ කරන්න පටන් ගත්ත කාලෙ ඉඳලම මට කියන්න. මං ආසයි එතන ඉඳල අහන්න"
මහේශාක්‍යා හිස සොලවා ඔහුගේ ඉල්ලීම භාර ගත්තාය.
" අපි ආදරේ කරන්න ගද්දි මං ඔයාගෙ වයසටත් වඩා හුඟක් බාලයි පුතා. ජීවිතේ ගැන හරිහමන් තේරුමක් මට තිබ්බෙ නෑ. ඒ කාලෙ අපි හුඟක් ආදරේ කරා පුතේ. කිසිම කෙනෙක්ට හිතාගන්න බැරි විදිහට, වැටෙන තැන් දරාගෙන, ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නෙවත් නැති කාලෙක අපි හුඟක් ආදරේ කරා. ඒත් ඒකට කියන්නෙ ආදරේ ද කියල මං අද කල්පනා කරනව. අපි දෙන්නට දෙන්න නැතුව බැරි වුනා. උඹ වෙනුවෙන් මං මැරෙන්න වුනත් ලෑස්ති කියද්දි මං ඒවට රැවටුනා කියල දැන් හිතෙනව පුතා. මොකද මිනිස්සු දෙන්න ලෑස්ති වෙන්නෙ දෙන්න බැරි දේවල්. ඒත් එයාල එයාලට දෙන්න පුලුවන් ආදරේ කවදාවත් දෙන්නෙ නෑ. මේ මැරෙනකන් ජීවත් වෙන ටිකට ඇයි එහෙම හැසිරෙන්නෙ අපි. මට ඒ හැමදේම දැනෙන්න ගත්තෙ අපි මැරි කරල සතියක් ගත වුනාට පස්සෙ. මං මගෙ රස්සාවට තිත තියලා, මගෙ හීන පස්සට දාල ආදරේ වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරාට පස්සෙ මට හිතුනෙම මං මෝඩ වුනා කියල. ඒකට හේතුව පුතාගෙ තාත්තා කියල කියන්න කැමති නැති වුණත් මට එහෙම කියන්න වෙනව පුතා. ඒක මගෙ මෝඩකමද නොතේරුම්කමද කියල මට තාම හිතාගන්න බෑ. මං ඕන නම් ඒ කාලෙම එයාගෙන් අයින් වෙන්න තිබ්බ. ඒත් මං බය වුනා. අපි දෙන්නව දන්න අය, අපෙ අම්මා තාත්තා මොනව කියයිද කියල. "
කතාව නතර කළ මහේශාක්‍යා සුසුමක් හෙළා දෙනෙත් පිසදැමුවාය. සෙනෙල් ඉදිරියේ නොහඬමියි ඇය දැඩිව අධිෂ්ඨාන කර ගත්තාය.
" අම්මා ජොබ් එකක් කරා කියල කවදාවත් අපිට කියල නෑනෙ. අඩුමතරමෙ තාත්තා හැමදාම කිව්වෙ අම්මා තාත්තා තරම් උගත් නෑ කියලනෙ. "
සෙනෙල් එසේ පවසන විට මහේශාක්‍යා තරමක් සිනාසුණාය.
" මියුසික් කියන්නෙ මං ආසම දේ පුතා. මං එතකොට ප්‍රයිව්ට් ස්කූල් එකක මියුසික් ටීචර් කෙනෙක්. පස්සෙ පුතාලගෙ තාත්තා බිස්නස් එක පටන් ගත්තම මට ජොබ් එකෙන් අයින් වෙන්න කිව්ව. මං එයාට තියෙන ආදරේ නිසාම එහෙම කරා පුතා."
" බැන්දට පස්සෙ හැමදේම වෙනස් වුනා කිව්වෙ තාත්තා ආදරේ කරේ නැද්ද එතකොට?"
" තාත්තා ආදරේ මගෑරියා. එයාට කොහොම හරි මගෙ ආදරේ මදි වුණා. ජීවිතේ කියන්නෙ සෙල්ලමක් වගේ වුණා. "
" එතකොට කොහොමද ඔයාල අපි ඉස්සරහ ආදරෙන් හිටියෙ? කවදාවත් අපිට දැනුණෙ නෑ ඔයාල අතරෙ ප්‍රශ්න තියනවා කියල."
" පුතේ මං අනිත් අම්මල වගේ නෙවෙයි. මං එහෙම හැසිරුණා නම් දරුවො තාත්තට වෛර කරන්න ගන්නව. ඒත් දැන් ඔයාල ඉන්නෙ හැමදේම තේරුම් ගන්න පුලුවන් වයසක. ආදරේ කියන්නෙ බලෙන් බැඳල තියාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. "
සෙනෙල් තව මව දෙස බලා සිටියේ පුදුමයෙනි. ඒ තරම් දරා ගැනීමක්, ඒ තරම් ඉවසීමක් වෙන ගැහැණියකට තිබිය හැකිද? ඔහුට තම බිරිඳ සිහිවිය. තමා මොන තරම් ඇයට ආදරේ කළද තමා අතින් සිදුවන සුළු අත්වැරදීමක් ඇයට දවසක් කතාබහ නොකර සිටීමට හේතුවක් වේ. ඒ අතින් බැලූ කළ තම මව කෙතරම් ශ්‍රේෂ්ඨදැයි ඔහුට සිතුණි.
" පුතා දැන් ඕව හිතන්න එපා. ඔයා ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න ඕන. ඉස්සර වගේ මං ඔයාලගෙ පස්සෙන් ඉන්නෙ නැති වෙයි. ඒත් ඕන දේකට අම්මා ඉන්නව. "
මහේශාක්‍යා කඳුලු වැළක්වීමට උත්සාහ කළත් සිහින් ඉකියක් ඇයට නොදැනීම පිට විය.
" අම්මා දැන් මොනාද කරන්න හදන්නෙ? මේ වගේ ගෙදරක තනියම ජීවත් වෙන්නෙ කොහොමද?"
සෙනෙල්ට අවැසි වූයේ මව තමා වෙත කැඳවා ගැනීමටය.
" කවුරු වුණත් දවසක තනි වෙනවාමයි පුතේ. ඒකට හුරු වෙන්න ඕන. අනිත් එක..... මං මගෙ හීන එක තැනක නතර කරල ඔයාල වෙනුවෙන්, ඔයාලගෙ තාත්තා වෙනුවෙන් කැප වුණා. දැන් මං ආයෙම මගෙ හීන හොයාගන්න ඕන. "
" අම්මා කවදාවත් ඔහොම කතා කරල නෑ. අද හරි අමුතුයි. අම්මට ඔහොම වෙන්න මමත් වැරදියි නේද අම්මෙ? මට දැන් හිතෙනව මං මල්ශි එක්ක වෙනම ගෙදරකට ගිය නිසාද අම්මට ඔහොම වුනේ කියල. "
සෙනෙල්ගේ සිතේ සැබැවින්ම පසුතැවිමක් තිබිණි. තමා අම්මා ළඟම සිටියේ නම් අම්මා මෙතරම් වෙනස් නොවෙනු ඇත. තාත්තා පමණක් සිටින ගෙදර ඇයට පාලුවක් දැනෙන්නට ඇත.
" ඔහොම හිතන්න එපා මගෙ පොඩි කොල්ලො. දරුවො ලොකු වුණාම එයාලගෙ ලෝකවලට යන්න ඕන. මට ඔයාලගෙ තාත්තා එක්ක තවත් ඒ ගෙදර ඉන්න බැරි හින්දා මං මෙහෙම තැනකට ආවෙ. දැන් මගෙ ජීවිතේ හරි සැනසීමයි පුතේ. "
මහේශාක්‍යා සැබැවින්ම සැනසීමෙන් ජීවත් වූවාය.
' ඉස්සර මං ආසම මනුස්සය.. නොදැක ඉන්න බැරි කෙනා.. දැන්....... දැනුත් ආසම මනුස්සය නේද..... නෑ.... මං දැන් ආස එයාගෙ ඉස්සර ආදරේට..... ඒ ආදරේ තාම මට දැනෙනව.. මං කොහොමද ඒක සෙනෙල්ට කියන්නෙ..... කොල්ල හිතයි මට පිස්සු කියල..... පිස්සු නොහැදී තියෙයිද මං ඒ ඉවසපු ඉවසිල්ලට..... මොන කතා ආරංචි වුණත් ඉවසුව..... ඒත් අන්තිමට ඒ කතා ඇත්ත කියල මගෙ ඇස් දෙකෙන්ම දැක්කම මොන ගෑනිටද ඉවසන්න පුලුවන්..... ලොකු පුතාට අවුරුදු තිහකට ළඟයි...... එහෙව් තාත්තා කෙනෙක් කොහොමද එහෙම හැසිරුණේ...... මුකුත් නොදැක අන්ධයෙක් වගේ ඉන්න පුලුවන්ද මට.....'
" අම්මා.."
සෙනෙල්ගේ හඬින් මහේශාක්‍යා කල්පනාවෙන් මිදුණාය.
" මොනාද ඔච්චර කල්පනා කරේ අම්මා?"
මහේශාක්‍යාට පිළිතුරක් නැත. ඇය සිනාසුණාය. මහ හඬින් සිනාසුණාය. ගෙදර මිදුලටත්, ඉන්පසු පාරටත්, මුළු නගරයටත් ඇසෙන සේ ඇය සිනාසුණාය. සක්වලටම ඇසෙන සේ සිනාසෙන්නට ඇයට වුවමනා විය. තමා ඉදිරිපිට සිටින සෙනෙල් කඳුලු සලන බව දුටු මහේශාක්‍යා එකවරම තම සිනහව හැඬුමකට පෙරලුවාය. මවත්, පුතත් තරඟයට මෙන් හැඬුවෝය.
" දැන් සෙනෙල් ගෙදර යන්න. මල්ශි බලන් ඇති ඔයා එනකන්. "
මහා හැඬුමකට පසු මහේශාක්‍යා හඬ අවදි කළාය.
" අම්මා මාත් එක්ක අපෙ ගෙදර යන්. ඒ කැමති නැත්තං අයියලාගෙ ගෙදර යන්න. මෙහෙම තනියම ඉද්දි අසනීපයක් වුණොත් කවුද ඉන්නෙ? "
අම්මා තම ගෙදරට කැඳවා ගැනීමට මහේශිගේ අකමැත්තක් නැත.
" මිනිස්සු අසනීප වෙන එක සාමාන්‍ය දෙයක් පුතා. මං ගැන වද වෙන්න එපා. අම්මට ඇත්තටම ආදරේ නම් මං ගැන හොයන්න බලන්න එපා. මට මෙහෙම ජීවත් වෙන්න දෙන්න. "
" ඇයි අම්මෙ ඔයා ඔහොම හැසිරෙන්නෙ?"
සෙනෙල් මහ හඬින් කෑගැසුවේය.
" කවුරුත් දන්නෙ නෑ මං විඳපු වේදනාවල්. උඹල ඔක්කොම හිතන්නෙ උඹල ගැන විතරයි. දැන්වත් මට මගෙ පාඩුවෙ ඉන්න දීල යන්න. "
තව මොහොතක් හෝ නතර නොවූ ඔහු පිටුපස නොබලාම දිව්වේය. දොර වසාගත් මහේශාක්‍යා බිම හිඳ හැඬුවාය. සෙනෙල්ගේ හිත බිඳුනු බව ඇයට දැනුණාය. එහෙත් දැන් ඔවුන් අතහැරිය යුතුය. තනිකමට මුහුණ දිය යුතුය. තමාට සඵල කරගැනීමට නොහැකි වූ හීන බදාගන්නට දිව යා යුතුය. මග නැවතූ හීන ඇරඹිය යුතුය. තමා කිසිදිනෙක නොදුටු ඒ ලෝකයට යා යුතුය. එහෙයින්ම අතහැරිය යුතුය. මෙතනින් නැවතිය යුතුය.

-Impressive Heart