ඉතා අසීරු ඉලක්කයන් හඹා ගොස් නිති ජය – පැරදුම අතර දෝලනය වන සසර ගමනක ඔබ ලද ජයග්‍රහණය නම්, විශිෂ්ටයි. ඒ අනෙකක් නොව, අප තථාගතයන් වහන්සේ, ‘කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස දකිනවාටත් වඩා දුර්ලභ යැයි’ දෙසා වදහළ මිනිස් උපතත්: ඊට වඩා සුදුර්ලභ බුද්ධ ශාසනයත් උරුම කර ගැනීමයි. කල්ප කාලාන්තරයකට පසු බුද්ධෝත්පාද යුගයක ලද මේ මිනිසත් බව නම් විශිෂ්ට ජයග්‍රහණය, සුරක්ෂා කර ගැනීමට නම් මේ සිත මැනවින් හසුරුවා ගැනීමට දක්ෂ විය යුතු ය. මන්ද… මේ සසරේ සිත විසින් ම අපට ජය – පැරදුම උරුම කර දුන් නිසා ය.
වරෙක තාලපුට මහරහතන් වහන්සේ වදාළේ, “ඒයි සිත, එක් කලෙක නුඹ නිසා මම බමුණෙක් වුණා. නුඹ නිසා ම මම සිටුවරයෙක් වුණා. නුඹ නිසා ම මං රජ වුණා. නුඹ නිසා ම මං වෙළෙන්දෙක් වුණා. නුඹ නිසා ම මං දාසයෙක් වුණා. නුඹ නිසාම මං දෙවියෙක් වුණා. නුඹ නිසා ම අසුර ලෝකෙට ගියා. නුඹ නිසා ම මං නිරයටත් ගියා. නුඹ නිසා ම මං තිරිසන් ලෝකයටත් ගියා. නුඹ නිසා ම මං ප්‍රේත ලෝකෙටත් ගියා.”
එවන් වූ චපල සිත කීකරු කර ගත නොහැකි වුවහොත්, මැනවින් පුහුණු කර ගත නොහැකි වුවහොත් සිදු වන විපත මැනවින් දැක වදාළෝ අප තථාගතයාණෝමැයි.
“දිසෝ දිසං යන්තං කයිරා වේරී වා පන වේරිනං
මිච්ඡාපණිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ”
“හොරෙක් තවත් හොරෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, මිථ්‍යා දෘෂ්ටියේ පිහිටුවා ගත් සිත විසින්, තමාව ඊටත් වඩා පාපියෙකු කරනවා.”
සැබැවින්ම දරුණු සොරෙකුට ඔබ සන්තක සියල්ල පැහැර ගත හැක. ඔබේ දිවිය පවා තොර කළ හැක. නමුත් කිසිකලෙකත් ඔහුට ඔබව නිරයට ඇද දැමිය නොහැක.
වෛරක්කාරයෙකු පියවරක් පියවරක් පාසා ඔබව ලුහුබඳිමින් රිදවූවත් ඔබේ ආධ්‍යාත්මයට කෙසේ නම් අත තබන්න ද? නමුත් ඔබට ඔබේ සිත රැක ගත නොහැකි වුවහොත්, යහපතෙහි යොදවා ගත නොහැකි වුවහොත්, ඒ නොරැක ගත් සිත විසින්ම – අයහපතෙහි යෙදවූ සිත විසින් ම ඔබට අන්ත පරාජයක් අත්කර දෙනු ඇත. ඒ සිත විසින් ම කල්ප ගණන් ඔබව නිරාගින්නේ දවනු ඇත.
තිරිසන් ලොව නොනිමි දුක් උරුම කර දෙනු ඇත. ප්‍රේත ලොව දැවෙන දුකට ඇද දමනු ඇත. නැවත මිනිසත් බව ලැබුව ද ඔබට තියුණු දුක්, කටුක දුක් විඳීමට සිදුවනු ඇත. සිත අයහපතෙහි යොදවා සසරේ කරන ලද පව් කෙසේ නම් වසන් කරන්න ද? ඔබ බොහෝ කොට ලෙඩ දුක්වලින් පීඩාවට පත්වනු ඇත. අකල් මරණයනට ගොදුරු වනු ඇත. දෙනෙත් අඳ ව, ගොළු ව, බිහිරි ව බොහෝ දුක් අනුභව කරනු ඇත. අත් පා කොර ව, අංගවිකල ව රුදුරු පීඩා විඳිනු ඇත. සතුරන් බහුල ව, අභූත චෝදනා ලබමින්, අනුන්ගේ සිනහවට ලක් වෙමින් මානසික පීඩා විඳිනු ඇත. වචනෙන් කිව නොහැකි තව බොහෝ දුක් ලබනු ඇත. නමුත් මේ සිත රැක ගැනුම නම් ලෙහෙසි පහසු දෙයක් නොවනු ඇත.
එනමුදු සිතෙහි සියලු රහස් හෙළිකර ගත් සම්බුදු සමිඳාණෝ කරුණාවෙන් යුතුව සිත දමනය කරන මාවත් මැනවින් දෙසා වදාළ සේක. වරෙක අප සුගතයාණෝ සිත දමනයට, සිත මැනවින් හසුරුවා ගැනීමට, පුහුණු කර ගැනීමට විස්මිත හෙළිදරව්වක් සිදු කළ සේක. රාගයෙන් කිලිටි වී, ද්වේෂයෙන් දුෂ්ට වී, මෝහයෙන් මුළා වී කෙලෙසුන්ගෙන් බැට කන සිත ජය ගැනීමට නොවරදින මගක් වදහළ සේක. සිතේ හට ගත් කාම විතර්ක අබියස පරාජයට පත් නොවී නුවණින් විමසන මඟ මෙසේ පෙන්වූ සේක.
‘ඔන්න දැන් මේ සිතේ කාම විතර්කයක් ඇති වුණා. ඇත්තෙන්ම මේ විතර්කය මට පීඩා පිණිස පවතින දෙයක්, අන් උදවියටත් පීඩාව සලසන දෙයක්, දෙපැත්තට ම පීඩාව සලසන දෙයක්, ප්‍ර`ඥාව විනාශ කරන දෙයක්, දුක පැත්තේ තියන දෙයක්.’ මේ අයුරින් නුවණ මෙහෙයවීමෙන් උපනූපන් සෑම කාම සිතුවිල්ලක් ම දුරින්ම දුරුවන බව, බැහැර වන බව, නැත්තටම නැති වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. මේ අයුරින් සෑම ව්‍යාපාද විතර්කයක් ම, සෑම විහිංසා විතර්කයක් ම දුරු කළ හැකි බව, බැහැර කළ හැකි බව, නැත්තටම නැති කළ හැකි බව සියල්ල දන්නා මහා පැණවතාණෝ දෙසා වදහළ සේක. එමතු ද නොවේ. ලොව පිරිසිඳ දත් ලෝකවිදු බුදු සමිඳාණෝ ‘සිත’ ගැන සැඟවුණ රහසක් නුවණින් දැන මහා කරුණාවෙන් වදහළ සේක.
“පින්වත් මහණෙනි, සිතේ ස්වභාවය මේකයි. බහුල වශයෙන් යම් ම දෙයක් සිතනවා නම්, කල්පනා කරනවා නම්, හිත හිතා ඉන්නවා නම් ඒ පැත්තටමයි සිත නැමිලා තියෙන්නේ.”
කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කවලට ම පුරුදු වූ – ඒවා ම සිත සිතා සිටින සිත ඒ දෙසට ම නැමී යන බව බුදු පියාණෝ දෙසූ සේක. එබඳු සිත දමනයෙහිලා ඔබ විසින් කැපවිය යුතු අයුරු බුදු සමිඳාණෝ මෙසේ පෙන්වා දුන් සේක.
“ගවයන්ට කෑම බීම නැති පායන කාලේ ගොයම මැද්දෙන් දක්කාගෙන යන ගවයා නිකම් ම ගොයමට හැරෙනවා. එවිට ගොපල්ලා ඌට කෙවිටෙන් ගහනවා. ආයෙමත් ඌ ගොයමට හැරෙද්දී තවත් රිදෙන්න ගහනවා. එවිට ඌ දඟලන විට ඉස්සරහට පැනලා එහාට මෙහාට දුවලා ගොයමට හැරෙන උගේ ගමන වළක්වනවා. ගොපල්ලා එච්චර මහන්සියක් ගන්නෙ ඇයි? හරකුන්ට ගොයම් කන්න ඉඩ දුන්නොත් ඒකෙන් දඬුවම් ලබන බව, හිරේ විලංගුවේ වැටෙන බව, දඩ ගහන බව, ගර්හා ලැබෙන බව, මහා කරදර ගොඩක පැටලෙන්නට සිදු වන බව ඒ ගොපල්ලා දන්නවා.” එසේ නම් ඔබ ද නොපමා විය යුතු ම යි. නොරැකගත් සිත විසින් මෙලොව දී ම උරුම කර දෙන දුක්, පීඩා, සන්තාප ගැන සිතා පරලොව බිහිසුණු ඉරණම ගැන නුවණින් විමසා බුදු වදන් හදවතේ දරාගෙන දමනයට පත් වීමට වෙර වැඩිය යුතුම යි. උපන් කුසලයේ අනුසස් නුවණින් දැන ගැනීමෙන් හිත කුසලයට ම හුරු කරන අයුරු තිලොවග ගුරු දෙවිඳාණෝ පෙන්වා දුන් සේක.
“ඔන්න දැන් මේ සිතේ නෙක්ඛම්ම විතර්කයක් ඇති වුණා. ඇත්තෙන්ම මේ විතර්කය මට පීඩා පිණිස පවතින දෙයක් නොවේ. අන් උදවියට පීඩාව සලසන දෙයකුත් නොවේ. දෙපැත්තටම පීඩාව සැලසෙන දෙයකුත් නොවේ. ප්‍රඥාව වැඩෙන දෙයක්. දුක නැති පැත්තේ තියෙන දෙයක්. නිවන සඳහා හේතු වන දෙයක්.” අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක මේ අයුරින්ම නුවණින් විමසන විට ඒ හේතුවෙන් කිසිම බයක් නොදකින බව බුදු සමිඳුන් වදහළ සේක.
යළිදු බුදුරදුන් වදහළේ,
“පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුවක් සිත සිත ඉන්නේ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නේ නෙක්ඛම්ම විතර්ක නම්, කාම විතර්ක ඇති වෙන්නේ නෑ.
බහුල වශයෙන් ඇති වෙන්නේ නෙක්ඛම්ම විතර්ක ම යි. එතකොට ඔහුගේ සිත නැමිලා තියෙන්නේ නෙක්ඛම්ම විතර්කවලට ම යි.”
කාම මඩ ගොහොරුවෙන් ගැලවීමට වෙර දරන සිතකට මෙතරම් දිරියක් වෙන කොයින් ද? බුදු වදන් සත්‍ය ම යි, දිවි පුදා එහි හැසිරෙනු මැන. “භික්ෂුව සිත සිතා ඉන්නේ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නේ අව්‍යාපාද විතර්ක නම් ව්‍යාපාද විතර්ක ඇති වෙන්නේ නෑ. …(පෙ)…” ද්වේෂයෙන් දැවෙන සිතක ගිනි මේ අමා දිය දහරින් නිවී යන බව සත්‍යයයි.
“භික්ෂුවක් සිත සිතා ඉන්නේ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නේ අවිහිංසා විතර්ක නම් හිංසා විතර්ක ඇති වෙන්නේ නෑ. …(පෙ)…” මේ බුදු වදන් ඇසීම පවා කෙතරම් අස්වැසිල්ලක් ද?
(ද්වේධා විතක්ක සූත්‍රය ඇසුරෙන්)
මෙසේ කැප වී රැකගත් සිත විසින් ම ඔබ මහා සැපයක් කරා රැගෙන යනු ඒකාන්තයි.
න හි ඒතේහි යානේහි – ගච්ඡෙය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තේන – දන්තෝ දන්තේන ගච්ඡති
“තමන් නොගිය දිශාව වූ ඒ අමා නිවන වෙත වාහනවලින් යන්ට බෑ. තමාව මනාකොට දමනය කරගෙන දමනය වූ සිතින් ම තමයි යන්ට තියෙන්නේ.”
මේ චපල සිත දමනය කොට සසරේ මෙතුවක් නොගිය දිශාව වන ඒ අමා නිවන සිතින් ස්පර්ශ කිරීමට අපට වාසනාව ලැබේවා!
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.
-Mahamegha