Friday, November 22, 2024
Follow Us
නික්මී

අම්මා නැති වෙලා අදට හරියටම මාස තුනක්..
මම සුදු පාට මල් පොකුරක් අරගෙන අම්මගේ සොහොන ලඟට ගියේ පහනක් පත්තු කරලා එන්න හිතාගෙන..


'හ්ම්ම්... අම්මා... විඳපු දුක් මතක් වෙද්දි හිතෙනවා එකාතකට ජීවත් වුනු කාලෙට වඩා මගේ අම්මා දැන් සැනසීමේ ඇති කියලා...'
ඉවරයක් නැති තාත්තගෙ ගුටි බැට එක්ක ගෙවුනු ජීවිතේ අම්මා අපි නිසාම මොන තරම් හූල්ලන්න ඇති ද?
'පව් මගෙ අම්මා..'
තවමත් අම්මා මතක් වෙද්දි ඇස් වල කඳුලු පිරෙනවා නොදැනීම..
මං මල් පොකුරත් අම්මගෙ සොහොන ලඟින් තියලා පහනකුත් පත්තු කරලා අම්මගෙ සොහොනට වැඳලා ගෙදර එන්න පිටත් වුනේ අම්මා ගැනම හිත හිතා..
සොහොන් පිට්ටනිය පාරෙන් ටික දුරක තිබුනු නිසාවෙන් මේ හරියෙ වැඩි සෙනඟක් ගැවසෙන්නෙ නෑ..
ඒත් හැමදාම අම්මා බලන්න සොහොන ලඟට එන ඒ රුව අදත් මගෙ ඉස්සරහට එනවා වෙනදා වගේම මද සිනහවකින් මුව සරසාගෙන..
මාත් පුරුද්දට වගේ හිනා වුනා..
ඔහුත් මං එක්ක හිනා වුනේ හරියට මගෙන් හිනාවක් බලාපොරොත්තුවෙන් හිටියා වගේ..
"අම්මව බලන්න ගියාද?"
මං නොහිතපු මොහොතක ඔහු ඇහුවා.ඒ මං ඔහුගේ කටහඬ අහපු පළවෙනි වතාව.නිවිච්ච කටහඬක්..
"ඔව්.. "
මමත් ඔහුට උත්තර දීලා බිම බලාගෙනම ගෙදර එන්න පිටත් වුනා...
ඔහුත් මාව පහුකරගෙන ඉස්සරහට ගියේ සොහොන් පිට්ටනිය දිහාවට..
'එයාගෙත් කවුරු හරි නැති වෙලා ඇති මගේ වගේම..'
ඔහු නමින් ලොකු සුසුමක් පිට වුනේ ප්‍රියයන්ගේ වියෝව මොන තරම් දුකක්ද කියලා මං හොඳටම දන්න නිසා..ඔහුත් ඒ දුක විඳිනවා ඇති..

අම්මා නැති ගෙදරත් හරියට සොහොන් පිට්ටනියක් වගේ...
අද ඉරිදා දවස නිසා මං වේලාසනින් තාත්තට කෑම හදලා දීලා මාත් කාලා ඇඳට වැටුනෙ හෙට වැඩට යන්න ඕන නිසා..
'ස්වේතා....'
එක සැරේටම කන ගාවින් ඇහුනු හඬට මං ඇහැරුනේ ගැස්සිලා..ඒ අම්මා බලලා එද්දි හම්බ වුනු තරුණයාගෙ හඬ..
'ඒත්.. එයා කොහොමද මගෙ නම දන්නේ..අනික එයා කොහෙද මෙහේ..මටත් පිස්සු අප්පා..'
මං තනියම හිතලා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා...

සතියක් වැඩ කරලා පුංචි විරාමයක් ලැබුනු ගමන් අදත් මම පිටත් වුනේ අම්මා බලන්න එන්න...
අම්මගෙ සොහොනට ටිකක් මෙහයින් කැළෑ රොද ලඟ කට්ටිය වට වෙලා...
මමත් එතනට කිට්ටු වුනේ මොකක්ද මේ කලබලේ කියලා බලන්න...
'කොල්ලෙක් මරලා දාලා.."
කට්ටිය කියනවා ඇහුනෙ එහෙම..
මාත් එබිලා බැලුවා... රූපයක් නම් අඳුන ගන්න බෑ..ඒ තරමට විකෘති වෙලා..අටකටු පෑදිලා..
ඒත්.. ඔහු ඇඳගෙන ඉඳපු ඇඳුම.... ඒක.. මට හොඳට පුරුදුයි...
"දෙවියනේ මේ.. මේ.. එයා නේද "
මට ගානක් නොවුනට මං දැකපු හැම දවසකම එයා ඇඳගෙන හිටියෙ මේ ඇඳුම..
"අද ඊයෙක නම් වෙච්ච දෙයක් නෙවෙයි මේක..අඩුම මාසයක් වත් ඇති මේ තියන විදියට නම්..."
කවුදෝ කියනවා ඇහුනේ මගේ කකුල් දෙක පණ නැති වෙද්දි..
'එතකොට මං එක්ක කතා කරේ ගිය සතියේ....මෙයා නැති වෙලා එච්චර කල් නම්...'
මගෙ ඔලුවත් එක්ක අවුල් වෙලා..
ඔව්.. ඒ වෙද්දිත් මෙයා මෙතන ඉන්න ඇති...මං ලඟට එන්න ඇත්තෙ එයාගෙ ආත්මය වෙන්න ඇති.එයා උත්සාහ කරන්න ඇත්තෙ මට මේ ගැන කියන්න...
මට එයාගෙ ආත්මය ගැන හිතට දැනුනෙ අනුකම්පාවක්...ඒත් සියල්ල සිදු වී හමාරයි.... දිගු සුසුමක් හෙළනවා හැර ඔහු වෙනුවෙන් මා වෙන කුමක් කරන්නද?
නිමි

-Tharindi