“ලොකු නෝනා පෙට්ටගම වහන්න ද?”
කුසුමාවතී මිලීනගෙන් ඇසුවේ බයාදු ලෙසිනි. උතුරු සළුව පොරවමින් සිටි මිලීනා කුසුමාවතී දෙස බැලුවේ නොපහන් ලෙසිනි.
“මොකද කලබලේ? රෝන්දෙ යන්න කිව්වොත් උඹටත් ඉතිං…” කුසුමාවතී බිම බලා ගත්තා ය.
“උඹලා තමයි කුසුමාවතීව නරක් කරන්නේ. යන යන තැන අරන් ගිහිල්ලා.” කාමරයට ඇතුල්වන දියණිය සුරංගනීට මිලීනා කීවේ එක ලතාවකට ය.
“කාරෙකේ ඉඩ තියෙනවානේ අම්මේ. තව කෙනෙක් ගියාම මොකද?” සුරංගනී මිලීනගේ උතුරු සළුව සකසමින් කීවා ය.
“ඕව අපිට ස්වීප් ඇදිල ගන්න ඒවා නෙවෙයි.” මිලීනා කීවේ සුරංගනීගේ අත ගසා දමමිනි.
“අම්මේ…” සුරංගනී තම ගෙල අතගාමින් මිලීනාව ඇමතුවේ ඇඳ සිටි ඔසරියට ගැළපෙන මුතු මාලයක් ඉල්ලන බව හඟවමිනි.
“අර මක්කටද වන්දනාවේ යන්න මුතුමාල?” මිලීනා සුරංගනීව ගණන් නොගෙන පැවසුවා ය.
“ඕක වහපං.” ඕ අනතුරුව කුසුමාවතීට පැවසුවා ය.
“මමත් පන්සල් යනවා. ගෙදරට හොරු පැනලා මේව අරන් ගිහිල්ලා තිබුණොත් බලාගන්න පුළුවන්.” මිලීනා කීවේ කුසුමාවතීට පමණක් නොව සුරංගනීටත් එක්ක ය.
මිලීනාගේ වටිනා රත්හඳුන් පෙට්ටගම ඕ වැඩිවිය පැමිණුන කාලයේ දී සුදු ඒජන්ත කෙනෙකු ළඟ ලිපිකරු රැකියාවක් කළ ඇගේ පියා විසින් අරන් දුන්නකි. එතුළ ඇති දේ හරියටම දැන සිටියේ ද මිලීනා පමණි.
සුරංගනීට පවා එය විවෘත කිරීමට අවසර නොවුණ අතර අගුල් දෙකක් සහිත එහි යතුර නිතරම මිලීනාගේ ඉණේ රැඳී තිබුණි. අඩි පහක් පමණ, උස අඩි හයක් දිග අඩි හතරක් පළල මේ පෙට්ටගමේ මිලීනා සතු වටිනා දේත්, නොවටිනා දේත් තැන්පත්ව තිබුණේ බහිරවයකු අරක්ගත් නිධානයක් ස්වරූපයෙනි.
“මගෙන් පස්සේ මේවා කොහොමත් ඔයාට.” ශෝකයෙන් යුතුව කාමරයෙන් පිට වෙන සුරංගනීට කියූ මිලීනා කුසුමාවතී කාමරයෙන් පිටවූ පසු කාමරය ද අගුල් දමා වසා දැමුවේ හොඳ පරිස්සමෙනි.
මිලීනා යද්දී බණ මඩුව උපාසක උපාසිකාවන්ගෙන් පිරී පැවතුණ ද ඈ හැමදාම හිඳ ගන්නා තැන මිලීනා වෙනුවෙන් වෙන්ව තිබුණි. ඕ ඒ පැදුරක ප්‍රමාණයේ රෙක්සීන් එක අතට ගද්දී සිසිලිනා ද මිලීනාට සමීප වූවා ය.
“මොකද?”
“මට අද ඉටිකොළේ ගේන්න මතක නැති වුණානේ.”
“මේක හතරට නමල දාගත්තම හරි පහසුයි.” කියූ මිලීනා එසේ රෙක්සීන් එක නමා හිඳගත්තේ සිසිලිනා ව නොතකමිනි.
“මම ගෙනාවේ මට ඉඳගන්න.”යි තමාට පමණක් ඇසෙන සේ කිව්වේ මිලීනාගේ සිත ය. මිලීනා ඊළඟට අකමැතිම දේ තම වතුර බෝතලයෙන් අනික් අය වතුර ඉල්ලනවාට ය. එනිසා කලෙක සිට ඇය වතුර ගෙනෙන්නේ බෝතලයෙන් භාගයකි.
“මේ ඇබිත්ත මට තියාගන්න ඕන.” වතුර ඉල්ලන කාටත් ඇය කියන්නේ එම වචන ටික ය.
කෙසේ වෙතත් අද නම් මිලීනාගේ සිතට හරි නැත. ගෙදර කිසිවකු නොවීම ගැන සිතුවා මිස එක බණ පදයක් ඇගේ සිතට ගියේ ද නැත. දහවල දානයෙන් පසුව කාටත් නොකියාම මිලීනා ගෙදර ගියේ විශාල හදිස්සියකට මෙනි.
සිල් රෙදි බහා දමා දිය නා ගත් මිලීනාට තරමක පහසුවක් සමඟ කිසියම් ගුප්ත සතුටක් ද දැනෙන්නට විය. ඇය කාමරේ මඳක් සක්මන් කළේ තමන්ගේ වටිනා කියන හැම දෙයක්ම සුරක්ෂිතව පවතින පෙට්ටගම දෙස ආශාවෙන් බලමිනි. එකවරම ඇගේ සිතට නැගුණේ එහි ඇති දෑ පරීක්ෂා කර බැලීමේ දැඩි ආශාවකි.
විශාල බරකින් යුතු පියන සම්පූර්ණයෙන් ම ඔසවා බිත්තියට හේත්තු කිරීමට අපොහොසත් නිසා මිලීනා කළේ පියන අඩි දෙකක් විතර ඔසවා කිතුල් ලීයකින් සිර කිරීමය. විදුලි පන්දමක් දල්වාගෙන අඩි පහක් උස පෙට්ටගම එබුන මිලීනා එහි ඇති දෑ එකින් එක අතගෑවේ මහා ආශාවෙනි.
පෙට්ටගමේ යටම ඇත්තේ පියා රැකියාව කළ සුදු ඒජන්ත සියරට යද්දී අත්හැර ගිය පිඟන් කෝප්ප ආදියයි. ගෙවුණු අවුරුදු හැත්තෑ ගණනටම මිලීනා ඒවා පාවිච්චි කළේ එක් වතාවක් පමණි. මිලීනාගේ ආභරණ සියල්ල ද තිබුණේ එකී තේ ජෝගුවක ය. මිලීනා එය සොයා නමන ලද රෙදි අතරින් අත පතුලට දැම්මා ය.
එහෙත් ඇගේ අතට ජෝගුව හසු නොවිණි. කලබල වූ මිලීනා ඇඟිලි තුඩුවලින් සිටගෙන පෙට්ටගමට හොඳින් එබුණි. කලබලය වැඩිකමට මිලීනාගේ වැලමිට පියනට සිරකර තිබූ කිතුල් ලීයට වැදුණි. “ක්‍රීස්” හඬක් නඟමින් එක්වරම වේගයෙන් පහළට වැටුන පෙට්ටගමේ පියන මිලීනාගේ හිසේ පිටුපසට වැදුනේ මරු පහරක් වශයෙනි. මිලීනාට දැඟලීමට පවා හැකි වූයේ තප්පර කිහිපයක් පමණි.
රාත්‍රියේ නිවසට පැමිණි සුරංගනී මිලීනාව දකින විට මිලීනාගේ ඉණේ රෙද්දක්වත් නොතිබුණි. සුරංගනීගේ විලාපය අතරින් මිලීනාගේ මිනිය පෙට්ටගමෙන් මෑත් කර ගනිද්දී ඇගේ අප්‍රාණික අතේ පැටලී තිබූ එක්වරක්වත් නොඇඳි සාරියක් ද එළියට වැටුණි. එහි ලේ තැවරී තිබෙනු දුටු කුසුමාවතීට ශෝකය අතරින් සිනාවක් ද මතු විය.
‘පුංචි නෝන ඉල්ලලවත් ඕක දුන්නේ නෑනේ.’ ඇගේ සිතුවිලි එසේ විය. ‘දැං ඉතිං ඔක්කෝම පුංචි නෝනට.’ කුසුමාවතීට ආයෙම සිතුණි.
කුසුමාවතී සිතූ දේ කිසි ලෙසකින්වත් සිදු නොවුණි. මිලීනාගේ භූත ආත්මය පෙට්ටගම උඩ වාඩිවී සිටිනු නිවැසියන්ට කිහිපවිටක් දකින්න ලැබුණ නිසා කිසිවෙක් පෙට්ටගමේ තිබූ කිසිම දේකට අතක් තබන්නට පවා බිය විය. රෑට රෑට පෙට්ටගමේ බඩු අඳින ශබ්දය නිවැසියන්ට ඇසුණේ වරක් දෙවරක් නොවේ.
“ලොකු නෝන බහිරවයෙක් වෙලා.” ඒ හැම අවස්ථාවකදීම කුසුමාවතීට එසේ සිතුණි.
– පසුවදන –
‘මසුරු බව බහිරව උපතකට සත්වයා ව රැගෙන යයි.’
චන්දන එස්. කුමාර