Friday, April 19, 2024
Follow Us
ගිනි ගත්තෙකුගේ හදවත

නම් ගම් සියල්ල මන:කල්පිතයි. යම් යම් සිදුවීම් රසවින්දනය උදෙසා වෙනස්කම් කර ඇති බව සලකන්න.

මම ඉපදුනේ කොලඹින් ඒ තරම් ඈත නොවුනත් ගොඩක් ලස්සන කෙත් වතු යායකින් හැඩ වෙච්ච හරිම ලස්සන ගමක. නිවාඩු කාලෙට අපි කලේම යාලුවො ඔක්කොම එකතු වෙලා කුඹුරු වතු ගානෙ රවුම් ගහපු එක...

ගොඩක් ලස්සන ලමා කාලයක් තිබුන මම අද කොහොම මේ විදියට මේ හිර කූරු ගැන ගැන ඉන්නවද කියල මටම හිතාගන්න බෑ.

පවුලෙ එකම දරුවා උන මම හැදුනෙ වැඩුනෙ අම්මගෙයි තාත්තගෙයි ආදරේ ගොඩක් එක්ක. මං ඉල්ලපු දෙයක් තාත්ත අරන් නොදී හිටියෙ බොහොම කලාතුරකින්. තාත්තට වතු වගේම බිස්නස් තිබුන නිසා ජීවිතේ දුක් අඩුපාඩුකම් මට දැනිල තිබුනෙ නෑ.

හැමදේම පටන්ගත්තෙ තාත්තට හාට් ඇටෑක් එකක් ඇවිත් තාත්ත නැති උනා කියල ඉස්කෝලෙන් මාව ඉක්මනට එක්කන් එන්න කියල පනිවිඩයක් අම්ම එවල තිබුන දවසෙ. මගෙ තාත්ත හිටිය නම් මං කවදාවත් වැරදි දේකට යොමු වෙන්නෑ කියල මං දන්නව.

එදා සල්ලි අඩුපාඩු නොතිබුන නිසා තාත්තගෙ වැඩ කටයුතු සේරම හොඳට කරගත්තත් මේ ලෝකෙ අම්මයි මායි තනි වෙලා බව තේරුම් යන්න අපිට වැඩි කාලයක් ගියෙ නෑ.

නෑදෑයො ඔක්කොම ඉඩකඩම්වලට රන්ඩු වෙන්න ගද්දි අම්ම කලේ හැමදේම ගහක් ගලක් වගේ තනියම උහුලපු එක. මම රන්ඩුවට යනකොටත් බුදු පුතේ මට ඉන්නෙ උඹ විතරයි රත්තරනේ කියල අම්ම මං ඉස්සරහ වැඳ වැටුන වාර අනන්තයි.

චන්ඩිකම් ඔලුවට ගහපු මගෙ ඉස්කෝල ගමනත් එහෙම්ම නැවතුනා. ඕලෙවල් ඉහලින්ම පාස් වෙලා තිබුනත් ඉහලට ඉගෙනගන්න ආසාවක් මට තිබුනෙ නෑ.

ඒ අතරෙ තමයි ඉස්කෝලෙ යාලුවො මගෑරිලා මං හන්දියෙ ත්‍රීවීල් බජාර් එකට සෙට් උනේ. ඒ කාලෙ ඒක මට හරි ලොකු දෙයක් උනා.

මුලදි මට සමාජෙ ගැන ලොකු ටෝක්ස් දුන්නු සමන් අයිය තමයි මුලින්ම සමාජෙට ගැලපෙන්න ඉදපන් බන් කියල සිගරට් එකක් මගෙ කටට දුන්නෙ. මුලින් කැස්සට ආවත් ලැජ්ජ වෙන්න බැරි නිසා මං පුරුදු තාලෙට ඒක ගැහුවා.

ඔය අතරෙ තමයි මට අහිංසව හම්බ උනේ.

නම වගේමයි පුදුම අහිංසකකමක් තිබුනෙ.

මුලදි මගෙ ඇස් මගෑරියත් පස්සෙ පස්සෙ කෙල්ලට මං නොදැක ඉන්න බැරි තරමටම මට පිස්සු වැටුනා.

ඔය අතරෙ අම්මගෙ බලකිරීමට ප්‍රයිවට් ෆර්ම් එකක ජොබ් එකකට ගියත් සමන් අයියලව සතියකට පාරක් හරි මුනගැහෙන්න මං අමතක කලේ නෑ. සෙනසුරාදට පාක් එකට යන ගමන් ඉරිදට අහිංසව බලන්න තියාගත්තා.

ඒ ටික කාලෙට ඒ කෙල්ල මට පණ වගේ ආදරේ කලා. මං ගෙදරටත් කියල අම්මගෙත් ආශිර්වාදෙ ගත්තා. අහිංසව දැක්කම අම්මත් ගොඩක් සතුටු උනා. මටත් වඩා අම්ම ගැන හොයල බැලුවෙ අහිංසා.

දවසක් මගෙ බෑග් එකේ තිබුන ලයිටරයක් අහිංසට අහු උනා. කෙල්ල අඬ අඬ මගෙන් ඇහුවෙ අයිය මේ ජරාව බොනවද කියල මං කොච්චර සිගරට් බොන්නෑ කිව්වත් කෙල්ල විශ්වාස කලේම නෑ. හරියටම දවස් තුනක් මගෙ කෝල් එකකටවත් ආන්සර් කලේ නෑ...

මං අවුලෙන් හිටපු ඔය දවස් ටිකේ තමයි සමන් අයිය මට කතා කලේ වරෙන් උඹට දුක අමතක කරවන බඩුවක් මගෙ ලඟ තියනව කියල. මමත් වැඩිය හිතුවෙ නෑ. සමන් අයිය එහෙම්ම වීල් එකේ මාව දාන් ගිහින් නැවැත්තුවෙ වනාතමුල්ල පැත්තෙ ස්පොට් එකක.

එදා තමයි මං කුඩු කියන දේ මගෙ ඇස් දෙකටම දැක්කෙ. සමන් අයිය එදා උගෙම සල්ලිවලින්ම මට කුඩු අරන් දුන්න මං ටිකක් අදිමදි කලත් බොන විදියෙ ඉදන් හැමදේම කියල දීපු ඌ මට බීල පෙන්නුවා. හිතට පොඩි චකිතයක් දැනුනත් හිතේ දුක අඩු කරගන්න ඕනකමට මං ඕනෙකක් වෙන්න කියල ගැහුවා. මං හිතුවෙ නෑ ඒ දවස නිසා මගේ අද දවස මේ විදියෙ අපායක් වෙයි කියලා.

ගොඩක් අය කුඩුවලට අත තියන්නෙ අපි නම් ඇබ්බැහි වෙන්නෑ කියල. ඒත් ඇබ්බැහි වෙනකන්ම තමුන්වත් දන්නෑ. අන්තිමේදි මට උනෙත් එච්චරයි. මුලදි ඉදල හිටල ගැහුවත් අන්තිමේදි මට කුඩු නැතුවම බැරි උනා. මං පුදුම විදියට ඇබ්බැහි උනා.

අහිංසා ආයි මං ලඟට ආවත් එයා වෙනුවෙන්වත් මට කුඩු අතෑරගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. එයාට නොදැනෙන්න මං රස්සාව කරල හම්බෙන හැම සතේකින්ම කුඩු ගැහුව. පස්සෙ පස්සෙ සික් එක වැඩි වෙනකොට මට සල්ලි මදි උනා. ගෙදරට හංගන්න බැරි වෙන තරමටම ආවා.

මට මතකයි අම්ම දැනගත්තට පස්සෙ අම්ම මගෙ කකුල් දෙක අල්ලගෙන මට වැඳ වැඳ කිව්ව බොන්නෙපා බුදු පුතේ කියල. මං කලේ එහෙම්ම නැවිලා අම්මගෙ අත් දෙක අල්ලගෙන අම්මගෙ මගුල් මුද්ද ගලවගත්ත එක. මගෙ අම්ම එදා කොයි තරම් ඇඬුවත් මට පෙනුනෙ එච්චරයි. මට ඕන උනේ සල්ලි විතරයි. කුඩු තමයි මගෙ ලෝකෙ උනේ.

ඔහොම හිටපු එක දවසක අහිංසා මගෙ අතින් ගෑනියෙක් උනා. මාව විශ්වාස කරල මට හැමදේම දුන්න. කෙල්ල අඬද්දිවත් මට ගානක් උනේ නෑ. එදත් මං හිටියෙ හොඳ සිහියකින් නෙමෙයි.

දවසක් අහිංසගෙ ගෙදර අය බැනල බැනල රෙදි බෑග් එකකුත් එක්ක අහිංසව අපේ ගෙදරට ගෙනත් දැම්ම. අහිංසා මං නිසා අම්ම කෙනෙක් වෙන්න යනවලු. අපේ මූනෙ දැලි ගෑව කියල ඒ අම්ම අඬ අඬ ඇවිත් අහිංසව දාල ගියේ.

අහිංසා අඬ අඬ ඇවිත් මගෙ පපුවට තුරුල් උනා. ඒත් මට ඕන උනේ කුඩුම විතරයි. මං නිසා අසරන උන මගේ කෙල්ල මං ලඟට ආවමත් මං කලේ ගනන් නොගෙන කුඩු හොයන් ගියපු එක.

ඒ වෙනකොට අම්මට කියල ඉඩම් ඔක්කොම විකුනවලා අපිට තිබ්බෙ අපි හිටපු තැන විතරයි.

හැමදාම අහිංසා අපි ආදරෙන් හිටපු දවස් මතක් කර කර හොඳින් ඉමු කිව්වම මං එකඟ උනත් සික් එක කඩාගන්න මට බැරි උනා. කෙල්ල අමාරුවෙන් බඩ උස්සන් ඇවිත් මගෙ පපුවට තුරුල් වෙලා අඬපු දවස් ගොඩක් තිබුනා. මහ රෑ මං බීල ඇවිත් කෑගහද්දි මාව පපුවට තුරුල් කරන් ඇඬුවා. මොන දේ උනත් කෙල්ල ඒ වෙනකොටත් මට අවන්කව හිටියා. මාව කොහොමහරි හදාගන්නයි එයාට ඕන උනේ. පංසල් ගානෙ බඩගෑව තනියම දරුවවත් බඩේ තියාගෙන. මට නිකන් වෙලාවට පපුව උනු උනත් ඒක සික් එකට යට උනා.

අම්මට ඒ වෙද්දිත් මාව තිත්තම වෙලා තිබුනෙ. මගෙ මූනවත් බැලුවෙ නෑ.

මටත් හිතුනා මේ හැමදේම බොරුවක් කියල. කොහොමහරි කුඩු නවත්තගන්නෝන කියල හිතුනෙ අහිංසගේ මූන දැක්කම. අනික දරුව හම්බෙන්නත් තව ටික දවසයි තිබුනෙ. අම්මලට උනත් තව මට දෙන්න සල්ලියක් තිබුනෙ නෑ. දවස් දෙකක් විතර මං අහිංසා එක්ක ආදරෙන් හිටියා.

එදා සමන් අයියා මාව ගෙදරටම හොයන් ආවා

එදා අහිංසා අඬ අඬ මාව නවත්තගන්න හැදුවත් එදත් මගෙ මිතුරු ආශ්‍රය මට ලොකු උනා මං වෙනුවෙන් දුක් ගිනි උහුලපු මගෙ අහිංසකීට වඩා. එදා සමන් අයිය ගිහින් කුඩු අතාරින්න හදපු මට ආයෙම කුඩුවල රස මතක් කරල දුන්න. මට කුඩු අතාරින්නම දුන්නැහැ. මාව ඒ නරා වලටම කොහොම හරි ගත්තා.

දවසක් සල්ලි මදි වෙලා ඉද්දි සමන් අයිය මට කිව්ව යකෝ ඔය සාගරේ වගේ ගෙයක් තියෙන්නෙ ඔප්පුව අරන් වරෙන් මං හොඳ ගානකට සෙට් කරන්නම් කියල. මට කිසි දෙයක් තේරුන්නෑ. මට ඕන උනේ කුඩුම විතරයි. මගෙ අම්ම මගෙ කෙල්ල මගෙ දරුවා මේ අයට මොකද වෙන්නෙ කිසි දෙයක් මට මතක් උනේ නෑ.

මං ගෙදර දෙක කලා ඔප්පුව ඉල්ලලා. අම්මල මට ඔප්පුව දුන්නෙම නෑ. අන්තිමේදි මම අම්මගෙන් යතුර උදුරගෙන අල්මාරියෙන් ෆයිල් ටික අරගත්තා. මං යන්න හදද්දි අහිංසා මගෙ ඇඟේ එල්ලුනා බුදු මහත්තයෝ අපෙ දරුව ගැනවත් හිතන්න මගෙ රත්තරනේ කියලා. අහිංසව එහාට තල්ලු කරල දාපු මම කෙලින්ම ගියෙ සමන් අයිය ලඟට. ලක්ශ පනහක විතර ගේට දුන්නෙ රුපියල් පනස්දහ උනත් මට ඒකත් මහ මෙරක් උනා එවෙලෙ තිබ්බ සික් එකට.

මං එදා ඇති වෙන්න කුඩු ගැහුවා. ගහල ගහල මං එතනටම වෙලා වැටිල ඉද්දි පොලිස්සියෙන් ඇවිත් මාව අල්ලගත්තා. මට දුවන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.

මට හොඳ සිහියට එනකොටයි මං දැනගත්තෙ මාව අල්ලගෙන තිබ්බෙ කුඩුවලට නෙමෙයි. මගේ බිරිඳගෙ මරනෙට කියල.

මං අහිංසව තල්ලු කරපු පාර අහිංසව වැදිල තියෙන්නෙ කැබිනට් එකේ. මගේ දරුව එක්කම එයා එතනදිම මාව දාල ගිහින්. දෙයියනේ මං එදා ඉඳන් අද වෙනකන් අඬපු තරම දන්නෙ මං විතරයි. මං කොච්චර ඇඬුවත් මට පණ වගේ ආදරේ කරපු මගේ අහිංසව මට ආයෙ කවදාවත් මගෙ ජීවිතේට ලැබෙන්නෑ. මට වැරදි දේවල් එපා කියල මාව පපුවට තුරුල් කරන් අඬන්න මට මගෙ අහිංසව ආයි කවමදාවත් මගෙ ජීවිතේට ලැබෙන්නෑ.

මං හැමදේම තේරුම් ගද්දි මං හොඳටම පරක්කුයි. කුඩු මගේ හැමදේම විනාස කලා කියල තේරුම් යද්දිත් මගෙ මැණික මාව දාල යන්නම ගිහින්. මට නින්ද යන්නෑ. මගෙ අහිංසව පෙනි පෙනි මං මුලු රෑම අඬනවා. මගෙ දරුවා මේ ලෝකෙ දකින්නත් කලින්ම මං මරාගත්තා.

අදටත් පොඩි දරුවො දැක්කම මට මතක් වෙනව මගේ කිරි කැටියත් අද ජීවතුනා නම් අද මේ වගේ නේද දෙයියනේ කියල. ඒත් ඒ මගෑරුන අතීතය ආයි හරවන්න බෑ. අද මම කුඩු මගෙ ජීවිතෙන් ඈත් කලත් මං ගොඩක් පරක්කුයි. වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි. අන්න ඒකයි මං හැමෝටම කියන්නෙ කුඩු කියන්නෙ අත්හදාබැලීම් කරන්න හොඳ දෙයක් නෙමෙයි...

මගේ ජීවිතේ පාඩමක් කරගන්න. තවත් මං වගේ කෙනෙක් සමාජෙට බිහි කරන්නෙපා. තවත් සමන්ලා මේ සමාජෙ ඕන තරම් ඇති. ඒ නිසා පරෙස්සමෙන්.....

Shasika Sewwandi