Friday, November 22, 2024
Follow Us
අලුත් මල් පොකුරක්
රු එළිය මූණට වැටෙද්දි මම දෑස් විවර කළේ අවුල් වූ හිසකෙස් අතින් හද හද.
"ඔයා නැගිට්ටද ඉන්න මම තේ එකක් හදන් එන්නම්."

 

අතේ වූ කැළෑ මල් මිටියක් ඈ මේසය මත වූ පෝච්චියට දැම්මා ය.මා මේ ලොව වඩාත් ප්රිය කරන ස්ථානය මගේ ලියන මේසය බව ඈ දනී.තෙත බේරෙන හිසකෙස් ඈ පාන්දරම ස්නානය කළ බව කියා පෑවේය.විවාහ වී නිවසට පැමිණ දින දෙකක් පමණක් ගත වී තිබුණත් වසර ගණනක් මෙ නිවසෙ උන් අයෙක් මෙන් ඈ සැහැල්ලුවෙන් සිටිනු දැක මම පුදුමයට පත් වූයෙමි.
"මොනවද සුදු බබා කල්පනා කරන්නෙ? විනාඩියක් දෙන්න තේ එක අරන් එන්නම්."
ළගට පැමිණ මගේ නළලත උණුසුම් හාදුවක් තැවරූ ඈ මලක් මෙන් සිනාසුනාය. සැබැවින්ම ඈ මලකි.කැළයේ පිපුණු පිවිතුරු ඩේසි මලකි.මා නෙලා ගන්නා තෙක් ඈ පෙති තලා නොගෙන සුපිපී සිටියා ය.
කෝප්ප දෙකක් අතැතිව කාමරයට පැමිණි ඈ මට තේ එක දී ජනේලය ළගට ගොස් හිරු එළියට මුහුණලා දෙනෙත් පියා ගත්තේ අමුතු ආස්වාදයක් ලබමිනි.
දණිහිසෙන් මදක් ඉහළට තිබූ ගවුම ඇගේ නාරි දේහයේ හැඩ වඩාත් ඉස්මතු කිරීමට සමත් විය. අම්මා මගෙන් දුරස් වූ දා සිට මේ කාමරයේ තනිවම ජීවත් වූ නිසාමදෝ ඇයගෙ පැමිණීම නිසා මගේ කාමරය පවා අමුතු ආකාරයෙන් පෙනේ යැයි මට සිතුණි.
" සුදු බබා ?"
"හ්ම්........."
"මොනවද ඔච්චර හිතන්නෙ අනේ ?"
"ඔයා ආවට පස්සෙ මේ කාමරෙ පිරිලා වගේ අහසි.මෙච්චර කාලයකට මට මෙහෙම දැනිලම නෑ. අද මට දැනෙනවා ලෝකයම දිනුවා වගේ හැඟීමක්.ඒ ඔයා නිසා තමයි අහසි. ඔයා හරියට මට ආශිර්වාදයක් වගේ."
කිසිවක් නොකියාම ඈ විත් මගේ පපුවට තුරුළු වූවා ය.
" ඔයා එදා ඒ ලියුම නොදැම්මා නම් අපි හමුවෙන එකක් නෑ නේද අහසි ? "
" නෑ සුදු බබා අපි හම්බෙයි. ඒවා වෙනස් කරන්න කාටවත් බෑ " උගුර යටින් ඈ පැවසුවේ හඬන බව අඟවමිනි.
වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙක් වූ මා තනිකම මකා ගැනීමට විනෝදාංශයක් ලෙස නවකතා ලිවීමෙහි නිරත වී සිටියෙමි. බොහෝ තරුණ තරුණියන් අතර ඉක්මනින් ජනප්රිය වූ මා හට සුබ පතා ලියුම් , තෑගි බෝග, විවාහ යෝජනා පවා පැමිණි බව නොරහසකි. ඈ මට මුණ ගැසුණේ ද එමගිනි.
'ඔයාගෙ ලස්සනම ලස්සන වචන අතරෙ මට අතරමං වෙන්න හිතෙනවා. මෙච්චර ලස්සන සිතුවිලි තියෙන ඔය හිත පාලුවෙන් කියල මට හිතෙනවා.ඇයි කියල මම දන්නෑ.කොහොම වුණත් දිගින් දිගටම ලියන්න ඔයාට මගෙන් සුබ පැතුම්'
දෙනෝදාහක් මගේ පාඨකයන් අතරෙන් මගේ පාලුව හඳුනාගත් ඈ කවුදැයි සෙවීමේ කුතුහලය අද ඈ මවෙත ලබා දී ඇති බව මට මතක් විය. තවමත් මගේ පපුව මත හිඳින ඇගේ හිස මා සිප ගත්තෙ අසීමිත ස්නේහයකිනි.
" අහසි..........."
"හ්ම්ම්ම්ම්ම්"
"මම අලුත් පොතක් ලියන්න හිතුවා."
"අනේ ඇත්තමද ! ලියන්න ඔයාට ලස්සනට ලියන්න පුලුවන් සුදු බබා" ඇගේ දෙනෙත් සතුටින් දිලිසෙනු මම දුටුවෙමි.
" ඔයා මගේ අම්මා වගේමයි අහසි. එයත් ඔයා වගේම ලස්සනයි හරිම චාම් ලස්සනක් තිබුණෙ. මං ඒ දවස්වල පුංචි පුංචි කවි ලියද්දි අම්මා ඒව හරියට අගේ කළා.මට තව තව ලියන්න කිව්වා."
දෙනෙත් බොඳ කරමින් පිරුණු කදුළු බිදු දෙකක් කම්මුල් දිගේ ගලා යනු මට දැණිනි. ඈ ඉක්මනින් තම මහපට ඇගිලි දෙකෙන් මගේ කදුළු පිසදා මගේ මුහුණ දෝතට මැදි කර ගත්තාය. " මං ඉන්නවනෙ දැන් ඔයාට " යැයි කීවා ය.
"ආදරෙයි මම මගේ ඩේසි මලට" පවසා ඇගේ රෝස පැහැ කම්මුලක් මත මම දීර්ඝ සිපුමක් තැබුවෙමි. ඉදින් දැන් මට පාලුවක් නොදැනෙනු ඇත. මගේ ලියන මේසය මත සෑම දිනකම අලුත් මල් මිටියක් දැකිය හැක. වෙනදා මෙන් සයනයට ආ විගස නිදා ගන්නටද නොලැබෙනු ඇත. තව තවත් පාඨක ලියුම් ගොඩ ගැසෙනු ඇත. ඒ කෙසේවුවද මා සතුටින් සිටිනු ඇත.
-කෞෂල්යා විජේරත්න -