Friday, November 22, 2024
Follow Us
එදා හරි අමුතු දවසක් ...

ලා තැඹිලි පාටින් සැරසුණු ඒ හවස් යාමේ අහස මට ඉඟි බිඟි පෑවෙම රහසින්...!
"අද වෙනදා වගේ නෙවෙයි..."
මගෙ හිත කිව්වෙම එහෙම...!


"ඒත් මොකක්ද වෙනස..."
මං හිතෙන් ඇහුවෙම එහෙම...!
"මං දන්නෑ ලමයෝ..."
හිත එහෙම කොඳුරලා දුර ඈතක ගියෙ අල්ල ගන්නවා කියන එක හීනයක්ම වෙද්දි...!
"ඒයි...එන්න යං කොෆී එකක් බොන්න..."
කල්පනා ලෝකෙක කිමිදිලාම හිටිය මම...පියවි ලෝකෙට ආවෙ ඒ හඬින්...!
ඒ සදෙව්...!
සදෙව් ගිම්හාන වික්‍රමතුංග...මගේ හොඳම යාලුවා කිව්වොත් මං හරි...!
නෑ...!
ඒත් මං වැරදී...!
ඒ මගේ හොඳම යාලුවා...?
නෑ...
වෙන්න බෑ...!
අනේ මංදා...
ඒ බැඳීම හරි අමුතුයි...!
"නමක් ඕන්නෑ ඒ බැඳීමට..."
හැමදාමත් එයාව අඳුන්වලා දෙද්දි...මට ආවෙ මාරම ප්‍රශ්ණයක්...වෙන මොකුත් නෙවෙයි,,,
"මොකද්ද ඒ බැඳීම"
හැමදාමත් මාව අව්ල් කරපු ඒ ප්‍රශ්ණෙට...අදටත් මට පිලිතුරු නෑ...!
"එන්නෙ නැද්ද..."
කල්පනා ලෝකෙන් ආයෙත් මාව මිදෙව්වෙ...ඒ හඬ...සදෙව්...!
"යමු යමු..."
මං එහෙම කියල...දුවන් ගියේ එයා ගාවට...!
එදා හරි අමුතු දවසක්මයි කියලා මගෙ හිත ආයෙ ආයෙම කෙඳිරුවේ මන්තරයක් ජප කරනවා වගේ...!
වෙනදට තත්පරයකුත් ඇති අපිට මොනවම හරි කියවන්න...ඒත් අද...අද අපි කොෆී ශොප් එකට යනකම්ම අපි අතර කිසිම විදිහක බස් හුවමාරුවක් වුණේ නෑ...පැතිරුණේ නිහැඬියාවම විතරයි...!
කොෆි ශොප් එකට ගිහින්...වෙනදා වගේම අපි ඉඳ ගත්තේ...අපිටම වෙන් වුණ...ඒ ටේබල් එකේ...!
ඒ කියන්නේ...
අවන්හලේ කෙරවලේම තියෙන...
සූරියකාන්ත මල්වලින්ම පිරුණ මල් වාස් එක තියෙන...
ටේබල් එකේ...!
අනිත් හැම ටේබල් එකකම තිබුණේ...
රෝස මල්...!
ඒත්...
අපි හැමදාමත් ඉඳ ගත්තේ...
සූරියකාන්ත මල්වලින්ම එලිය වුණ...
ඒ ටේබල් එකේ විතරමයි...!
අපි කරපු සමහර පිස්සු වැඩ මතක් වෙද්දි...
ඒ හිටියෙ අපිමද කියල අපිටම විශ්වාස නෑ...!
හේතුව...
අපි දෙන්න කොෆී බොන්න ගිය සමහර දවස්වලට...
අපි ආයෙම හැරිලා ආවා කොෆී බොන්නෙ නැතුවම...!
හේතුව වුණේ...
මොකද්ද කිව්වොත්...
ගොඩක් අය හිතාවි අපිට පිස්සු කියල...
අපිට විකාර කියලා...!
ඒත්...
හේතුව වුණේ...
ඒ නමක් නැති බැඳීම උරුම අපි...
ඒ ටේබල් එක නැති දාට ආපහු ආපු එක...!
ඒකටත් හේතුව...
අපි හැමදාමත්...
ආදරේ කලෙ...
ආස කලේ...
සූරියකාන්තවලට විතරමයි නිසා...!
"ඕක බොන්නෙ නැද්ද..."
එයා ඇහුවෙ එහෙම...!
එතකොටයි මං ආවෙ සිහියට...!
"ඕක බොන්නෙ නැද්ද ලමයෝ..."
"ඇයි..."
"ඇයි කියන්නෙ...? ඔයා තාම බොන්න තියා හිතලවත් නෑනෙ..."
#ඔව්...!
ඒක ඇත්ත...!
ඉස්සර පැය බාගෙන් හිස් වෙන...
අපේ කොෆී කප් එක...
අද තොල ගාන්නම ගියා පැයක් විතර...!
"ඉතින් ඔයා බීලත් නෑනෙ..."
එයාගෙ කොෆී කප් එකට එබෙන ගමන් මං එහෙම කිව්වෙ ටිකක් අමුතුවට වගේ...!
"කොහෙන් ගියත් තමුසෙ පොටක්මයි නේද හොයන්නෙ රණ්ඩු වෙන්න...!"
"ඔව් ඔව්...වැඩේමනේ..."
"අම්මෝ අම්මෝ ඇති ඈ...අද රණ්ඩු බෑ..."
"ඇයි...මොකද්ද අද විශේශෙ..."
"ඒකෙන් වැඩක් නෑනෙ...ඔන්න ඕක බොනව ඉක්මණ්ට.. ගෙදර යන්නත් ඕන..."
එයා එහෙම කියනවත් එක්කම...මං එයාටත් ගස්සලා කොෆී එක තොල ගෑවෙ සීරුවට...!
මං දැක්කා...!
එයාගෙ හැසිරීම වෙනද වගේ නෙවෙයි...!
වෙනදට සදෙව් කොෆී එක බොද්දි එයාගෙ ඇස් තියෙන්නෙම කොෆී කප් එකේ ගිලිලා...
ඒත් අද...
අද එයාගෙ ඇස් මාව හිමි හිමින් ගිලිනවා මං දැක්කා...!
හැබැයි...මං නොදැක්ක ගානටම හිටියා...!
කොෆී එක හිස් වෙන්න ඔන්න මෙන්න කියලා...මං දැක්කේ එයා මල් වාස් එකේ තියෙන මල් ටික එලියට අරන් ඒවා හරි සීරුවට පිරි මදිනවා...!
"ඕක තියනවා හලෝ...ගුටි කාල තමයි අපිට යන්න වෙන්නෙ.."
"කමක් නෑ...හැමදාම නෑනෙ...අද විතරක් කමු..."
"කමු නෙවේ මං කියන්නෙ නෑ ඔයාට...ඔන්න ඕක තියන්න සදෙව්..."
එහෙම්ම එයා නැගිට්ටෙ මල් පොකුරත් අතේ තියා ගෙනමයි...!
"ඒයි මෝඩයෝ...ඕක තියපන්..."
මං භය වෙලා වගේ වට පිට බලන ගමන් එහෙම කිව්වෙ ඉස්සරහ හිටපු අය එයා දිහා බලනවා දැක්ක නිසා...!
එහෙම්ම එයා ජැකට් එකේ සාක්කුවට අත දාලා මොකද්දෝ අරගෙන මගේ ඉස්සරහට ඇවිත් දන ගහලා ඒ මුද්ද මගේ දිහාට දිග් කරලා ප්‍රපෝස් කරා අදටත් මට මතකයි...!
එතන හිටපු හැමෝම නැගිටලා...අත්පුඩි ගැහුවෙ...මං අත එයාගෙ පැත්තට දිග් කරද්දියි...!
ලැජ්ජාවෙන් ලැජ්ජාවෙන් දිග් කරපු අත...හීනි හිනාවක් එක්ක එයා ඇදලා ගත්තේ "දැන් ඉතින් මගේනෙ" කියල නොකියා කියමින්...!

 

-ඉෂ් -