Friday, April 26, 2024
Follow Us
ඔහුගේ බිරිඳ

ප්‍රථම ප්‍රේමය වූ කලී අපූරුම දෙයකි. එය එක් අතකින් බැලූ කල අත්දැකීමකි.

තවත් අතකින් කිසිදාක සිතින් අතුගා දැමිය නොහැකි හැඟීමකි. ප්‍රථම ප්‍රේමය නිර්වචනය කළ හැක්කේ කෙසේදැයි මා දන්නේ නැත. නමුත්, 'ප්‍රථම ප්‍රේමය' යන්න මා ද අත්විඳ ඇත්තෙමි. එය සැබෑවටම කවියන් පවසන්නාක් මෙන්ම අපූරු සුන්දරත්වයක් කැටිකරගත් විස්තර කළ නොහැකි සුන්දර යමකි.

    සාමාන්‍යයෙන් නිවසේ කිසිවෙකුත් නොමැති අලස දහවල් කාලයන් මා ගත කරන්නේ මගේ ප්‍රථම හා එකම ප්‍රේමය පිළිබඳව සිතමින් ය. සතියේ දින පහේම දහවල් වරුව මට සැබැවින්ම ඉතා අලස ය. අශේන් රැකියාවට ගොසිනි. දියණිය පාසල් ගොසිනි. පුංචි පුතුන් දෙදෙනා නින්දේ ය. ඉතින්, දියණිය පාසල් නිම වී නැවත පැමිණෙන තුරු මා සිටින්නේ තනිවම ය. පුතුන් දෙදෙනා දහවල් එකොළහයි තිහට පමණ නිදා ගත්තාට පසු නැවත අවදි වන්නේ පැය දෙක තුනකට පසුව ය. නිවස අස්පස් කරන කටයුතු සියල්ලම මා උදයේම නිම කරන නිසා දහවල් කාලයේ දී කල්පනා ලෝකයේ කිමිදෙනවා මිස මට කරන්නට වෙනත් වැඩක් ඇත්තේ ද නැත. ඉතින්, සෑම දිනකම වාගේ මා කරන්නේ මගේ ඒ සුන්දර ප්‍රේමය සිහිකරමින් පුංචි සුන්දර සිහින ලොවක සැරිසැරීම ය.

       සත්‍යයම පැවසුවහොත්, දවසේ මා වැඩිපුරම සතුටින් සිටින වෙලාව එයයි. මට මා විය හැකි මොහොත එයයි. දියණිය පාසල් නිමවී පැමිණි පසු මට සිදුවන්නේ නැවතත් සැබෑ ලෝකයට පැමිණීමට ය. එය එතරම් දෙයක් නොවේ. මගේ දියණිය යනු මා මෙලොව වඩාත්ම ආදරය කරන පුද්ගලයා ය. ඉතින් මගේ සිහින ලොවට බාධාවක් වුවද ඇගේ පැමිණීම මට සතුටකි. පුතුන් දෙදෙනාගේ අවදි වීම වුවද මට කරදරයක් නොවේ. ඔවුන් ද මගේ රුධිරය දරණ අහිංසක පැටවුන් ය. ගැටලුව මතුවන්නේ අශේන්ගේ පැමිණීමත් සමගය.

    සැබැවින්ම අශේන් මට කිසිදු ආකාරයක හිංසාවක් කරන ආකාරයේ සැමියෙකු නොවේ. ඔහු කිසිදාක මට පහර දෙන්නේ හෝ මට බැන වදින්නේ හෝ නැත. ඔහු එවන් පිරිමියෙකු නොවේ. එහෙත්, සවස් කාලයේ වැඩ නිමවී නැවත නිවසට පැමිණෙන ඔහු මට සැබෑම හිසරදයකි. ඔහුගේ පැමිණීමත් සමගම මගේ සතුට ද පලා යයි. ඔහු දැකීම මට අප්‍රිය උපදවන්නක් නොවේ. එසේම සතුට උපදවන්නක් ද නොවේ. ඔහු මගේ සැමියා ය. මා ඔහුගේ බිරිඳ ය. මම ඔහුට තේ සාදා දෙමි. ඔහුට කන්නට බත් පිඟාන බෙදා දෙමි. ඇඟ සෝදන්නට කටයුතු පිළියෙළ කර දෙමි. ඔහු ද මට අවශ්‍ය සියලුම දේ ගෙනැවිත් දෙයි. අප දෙදෙනා අතර කිසිදු ආකාරයක ගැටුමක් නැත. එහෙත්.. මගේ ජීවිතයේ එක්තරා වැරදුණු තැනක් තිබේ. මා පැතූ ජීවිතය මෙය නොවේ. දරුවන්ට පරමාදර්ශී මවක් වෙමින් ප්‍රියමනාප සැමියෙකු සමග ගෙවන මේ ජීවිතය නොවේ, මා පැතුවේ. මට මගේ ජීවිතයේ එක්තරා තැනක් සම්පූර්ණයෙන්ම වැරදිණි.

       මා ඔබට කියන්නට යන්නේ මට වැරදුණු මගේ ඒ කතාවයි.

______________________________________________________

    මගේ නම ජිනාලි සුබසිංහ ය. මා උපන්නේ නාගරික ප්‍රදේශයක වුවද මගේ දෙමව්පියන් හා නෑදෑයන් සියල්ලෝම ඉතාමත් සාම්ප්‍රදායික පුද්ගලයෝ වූහ. එසේම ඔවුහු පාරම්පරිකව ඉඩම් වතුපිටි හිමි වූ යමක් කමක් ඇති ධනවත්තු ද වූහ. මගේ පවුලේ මා හැරුණු විට මට වඩා වැඩිමහල් තවත් දියණියක හා පුතෙකු ද විය. පවුලේ වැඩිමලා වූයේ අයියා ය. ඔහු මට වඩා වසර දහතුනක් වැඩිමල් වූ අතර මගේ අක්කා මට වඩා වැඩිමල් වූයේ වසර දෙකකිනි.

    අයියා ඉගෙනුමට උපන් හපනෙකු වූ අතර මා පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙසින් පත්වීමට වරම් ලබා ගත්තේය. මගේ අම්මාත් තාත්තාත් ඔහු පිළිබඳව පුදුමාකාර ලෙසින් ආඩම්බර වූ අතර ඔවුන්ට අනුව පවුලේ වාසනාව වූයේ අයියා ය.

   මා මුලින් කී ලෙසම මගේ පවුල සාම්ප්‍රදායික එකකි. ඒ නිසා අක්කාගේත් මගේත් අධ්‍යාපනය පිළිබඳව ඔවුන් එතරම් සැලකිලිමත් වූයේ නැත. ඔවුන්ට ඕනෑ වූයේ අයියාට හොඳින්ම ඉගැන්වීමට හා අක්කාට හා මට ඉතා ඉහළ දෑවැද්දක් ලබා දී හොඳ පවුලකින් විවාහයක් කර දීමට ය. අක්කා නම් සිටියේ 'ඉරණම එන හැටියකට, අම්මලාට ඕනෑ හැටියකට බාර ගන්නවා' යන මතයේ ය. එහෙත් මා එසේ සිතුවේ නැත. මට ඉගෙන ගන්නට ඕනෑ විය. ඉතින් මම ඉගෙන ගත්තෙමි. අප දෙදෙනාට හොඳින් උගන්වන්නට අම්මලාට ඕනෑ කමක් නොතිබූ බව ඇත්තකි. එහෙත් මා ඉගෙන ගනිද්දී ඊට එපා යැයි කියන්නට තරම් ඔවුන් කුරිරු වූයේ ද නැත. ඒ නිසා, මට මගේ ඉගෙනීම නිදහසේ කරගෙන යාමට හැකි විය.

      අක්කා විවාහ වූයේ මා දොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී ය. ඇයට ඒ වනවිට වයස අවුරුදු විස්සක් වූ අතර ඇය විවාහ වූයේ අවුරුදු තිහක පිරිමියෙකු සමග ය. ඔහු තාත්තාගේ මිතුරෙකුගේ පුතෙකු වූයේය. අක්කා නම් ඇගේ විවාහය පිළිබඳව සිටියේ අපමණ සතුටකිනි. කෙසේ වෙතත් එහි සතුටු වන්නට තරම් දෙයක් තිබුණාදැයි මට තවමත් සිතාගන්නට නොහැකි ය.

     "අක්කේ ඔයාට තාම අවුරුදු විස්සයි. ඔයාට පුළුවන්ද අවුරුදු විස්සෙන් බැඳලා ඔහොම..." මට ඇත්තෙන්ම ඇසිය යුත්තේ කුමක්දැයි කියා හෝ සිතාගත හැකි වූයේ නැත. එහෙත් අක්කා නම් පිළිතුරු දුන්නේ සතුටින් ඉපිලෙමිනි.

     "අනේ ඉන්න චූටි. ඔයාටත් තේරෙයි බැඳල යන දවසට.. මට මේ ඉවසිල්ලක් නෑ වෙඩින් සාරිය අඳිනකං... "

          හේතුවක් සිතාගත නොහැකි වුවද මට ඊට තරහ ගියේය.

      "බැඳල යන දවසට? මම ඉන්නෙ මොකා එක්කවත් බැඳල යන්න නෙමෙයි තේරුණාද? ඔයාට ඕන එකම මට ඕන නෑ මගුල" එවෙලේ සිතට ආ කෝපයට අක්කාට වචනවලින් දමා ගසා මම ඇගේ කාමරයෙන් පිටවී ගියෙමි. අක්කා පුදුම වී මා දෙසම බලා සිටින්නට ඇත. මා නැවත හැරී බැලුවේ නැත. මට ඇගේ කතා තවදුරටත් අසා සිටින්නට උවමනාවක් තිබුණේ නැත.

       ඉතින්, අක්කා විවාහ වී විශාල දෑවැද්දක් ද සමග නිවසින් පිටව ගියාය. මම තවදුරටත් ඉගෙන ගත්තෙමි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ද වරම් ලබා ගත්තෙමි. මා මගේ අධ්‍යාපනය හොඳින් කරගෙන යමින් සිටි නිසා අක්කාට මෙන් ඉක්මන් විවාහයක් මා වෙනුවෙන් කරදීමට අම්මලා වෙහෙස වූයේ නැත. ඉගෙන ගන්නා එකා ඉගෙන ගත්තාවේ යනුවෙන් සිතූ ඔවුහු, මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට ද ඉඩ දුන්හ. ඉතින්, විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නිසා මම නිවසින් පිටව ගියෙමි. එහෙත් මා විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල හෝ බෝඩිමක නතර වනවාට අම්මලා කැමති වූයේ නැත. ඒ නිසා ඔවුන් සිදුකළේ එක්තරා පහසුකම් සහිත නිවාස සංකීර්ණයකින් මට කුඩා නිවසක් කුලියට ගෙන දීම ය. ඇත්තෙන්ම මම ඒ අදහසට එකපයින්ම එකඟ වීමි. මා එතරම් සමාජ ආශ්‍රය ප්‍රිය කරන්නෙකු නොවේ. ඉතින් නේවාසිකාගාරවල ජීවිතය ඇත්තෙන්ම මට ප්‍රිය නැත. කාමරය හා නානකාමරය හැරුණු විට කුඩා සාලයක් පමණක් තිබූ ඒ පුංචි නිවහන මට සැබෑම සතුටක් ගෙන ආවේය.

       සැබැවින්ම, මගේ ජීවිතයේ මා ගෙවූ සුන්දරම කාලය ගෙවුණේ ඒ පුංචි නිවහනේ ය. අද වුවද ඒ පිළිබඳව සිහිකිරීම මට පුදුමාකාර සතුටක් ගෙන එන්නකි.

_______________________________________________________

      මා නුතාරා හඳුනාගත්තේ විශ්වවිද්‍යාලයේ දී ය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මුල්ම දිනවල පටන් ඈ මගේ ළඟින්ම සිටි අතර මාස කිහිපයක් ගතවද්දී අප නොදැනුවත්වම අපි දෙදෙනා හොඳම මිතුරියන් වීමු. අප කෑවේ බීවේ එකට ය. කොහේ හෝ ගමනක් යෑමට සිදු වී නම් ඒ ගියේ ද එකට ය. නුතාරා එතරම් ධනවත් පවුලක යුවතියක් නොවේ. ඒ නිසා සාමාන්‍යයෙන් ගැහැනු ළමුන් ආසා කරන එහෙත් වැඩකට නැති විකාර විලාසිතා වැනි දෑ මිලදී ගැනීමට ඇයට හැකියාවක් තිබුණේ නැත. ඒ වෙනුවට ඈ වෙනුවෙන් එවන් දෑ ඇයට ගෙන දුන්නේ මා ය. ඇය සෑම දිනකම විශ්වවිද්‍යාලයට පැමිණියේ නිවසේ සිට බස් රථයේ ය. ඇගේ නිවස හා විශ්වවිද්‍යාලය අතර සැලකිය යුතු දුරක් තිබූ අතර සෑම දිනකම එසේ බස් රියෙන් පැමිණ නැවත සවසට නිවස බලායාම ඇත්තෙන්ම පීඩාකාරී හා වෙහෙස උපදවන එකකි. ඒ නිසා, ඇයට මාත් සමග මගේ නිවහනේ සිටින්නට එන්න යැයි මම ආරාධනා කළෙමි. එය ඇත්තෙන්ම ඉතාමත් හොඳ තීරණයකි. නුතාරාගේ දෙමාපියන්ගෙන් ඊට විරුද්ධත්වයක් නොවූ අතර මගේ දෙමාපියන්ට ද එය ගැටලුවක් වූයේ නැත. නුතාරා නිවහනේ මාසික කුලිය ගෙවීමට යම් මුදලක් දීමට යෝජනා කළ ද මගේ තාත්තා එය ප්‍රතික්ෂේප කළේය. ඒ, ඇගේ පවුල් පසුබිම පිළිබඳව මා ඔහුට පැවසූ පසුව ය.

   ඉතින්, නුතාරා වනිගසේකර මගේ ජීවිතයේ අලුත්ම පිටුවක් පෙරලන්නට එක් වූයේ එලෙසිනි.

     මා ඔබට මෙතැන් පටන් කියන්නට යන කතාන්දරය කියූ පසු ඔබ මා දෙස වෙනත්ම අයුරකින් බලනු ඇත. එහෙත්, එය එසේ බැලිය යුතු කතාන්දරයක් නොවේ. සැබැවින්ම අපූරු, සුන්දර වෘත්තාන්තයකි.

      මගේ ජීවිතයේ ගෙවී ගිය වසර විසිතුන පුරාවට ම පවුලේ අයෙකුට හැරෙන්නට වෙනත් කිසිවෙකුටත් මා පෙම් කර තිබුණේ නැත. ඇත්තෙන්ම මට කිසිවෙකුත් කෙරෙහි එවන් පෙම් සිතක් පහළ වූයේ නැත. යොවුන් වියේ ප්‍රේමය හා ආදරය පිළිබඳව මගේ තිබුණේ ඇල්මැරුණු හැඟීමකි. මට එකල ඕනෑ වූයේ ඉගෙන ගන්නට ය. ඉතින් මම මගේ සම්පූර්ණ අවධානය යොමු කළේ ඉගෙනීමට ය. යොවුන් වියේ ආකර්ෂණීය හැඟීම් හේතුවෙන් මගේ පෙම පතා පැමිණි පිරිමි ළමුන් නොසිටියා නොවේ. එහෙත් මගේ සිතේ කිසිදාක ඔවුන් වෙනුවෙන් කිසිදු ආකාරයක හැඟීමක් උපන්නේ නැත. මට එකල සිතුණේ ආදරය යනු එක්තරා ආකාරයක ප්‍රෝඩාවක් ලෙසිනි. ඉතින් මට ඔය විකාරවලට සිත යොමු කර කා දමන්නට තරම් කාලයක් තිබුණේ නැත. ඊටත් වඩා, මට එක්තරා අධිෂ්ඨානයක් තිබිණි... කවදාක හෝ ඉහළට ම ඉගෙන ගෙන, පිරිමියෙකු මත යැපෙන්නේ නොමැති අභිමානවත් සහ ස්වාධීන ගැහැනියක වන්නට මගේ යටි සිත ගැඹුරේ ම ස්ථිර අධිෂ්ඨානයක් තිබිණි. ඉතින් පිරිමි ළමයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගෙන මගේ ඒ අධිෂ්ඨානය යන්තමින් හෝ පළුදු කර ගන්නට මට ඕනෑ නොවීය. මගේ අභිමානය, පිරිමියෙකුගේ බොළඳ පෙම්වතිය වීම මගින් හෑල්ලුවට ලක් කර ගන්නට මට කිසිදු ඕනෑකමක් තිබුණේ නැත. හැඟීම්වලට වහල් වී මගේ ඒ තිර අදිටන සේදී යන්නට මා කිසිවිටෙකත් ඉඩ දුන්නේ නැත. මට එසේ කියන්නට හේතු තිබිණි.

      මගේ සමවයසේ ගැහැනු ළමුන්ගේ පෙම්වතුන් ය, මට පිරිමින් එපා කරවීමට මූලිකවම හේතු වූයේ. ඔවුන්ට අනුව ගැහැනුන් සිටිය යුත්තේ ගැහැනුන් විදිහට ය. එනම් නිවසේ වැඩපල හා දරුවන් හදා වඩා ගැනීම ආදිය කරගෙන නිවසට වී සිටීම ය. අධ්‍යාපනයේ ඉහළට ම යාම, රැකියාවක ඉහළට ම යාම ආදිය ගැහැනුන්ට අකැප ය. යන්තම් උසස්පෙළ සමත් වීම පමණක් ඇති ය. ඉතින්, ඔවැනි පෙම්වතෙකු මටත් සිටියා නම්, මා කිසිදිනෙක විශ්වවිද්‍යාල වරම් නොලබනු ඇත. මට මගේ ම බලාපොරොත්තු තිබේ... මගේ ම අරමුණු තිබේ... මගේ ආච්චි අම්මා මෙන්, මගේ අම්මා මෙන්, මගේ අක්කා මෙන් තවත් එක් සාම්ප්‍රදායික ගෘහණියක් වීමට මට ඕනෑ නොවීය. ඉතින්, ඉගෙන ගන්නා වයසේ දී පෙම් හබ වලට නොපැටලී සාමකාමීව ඉගෙනීම පමණක් සිදුකිරීමට මම තීරණය කළෙමි.

  ' උපාධිය ලබන තෙක් කිසිදු ආකාරයක ප්‍රේමයකට පැටලෙන්නේ නැත ' යන්න මාගේ ජීවන ආදර්ශ පාඨය වූ බව සැබෑවකි. එහෙත්... දෛවය හෝ ඉරණම යනු අප කිසිවෙකුටත් කලින් තීරණය කළ හැක්කක් නොවේ. එය තීරණ ගන්නේ තමාට ඕනෑ හැටියට ය. ඒ අනුව මගේ දෛවය ද ඇයට ඕනෑ ආකාරයට ක්‍රියා කරන්නට පටන්ගත්තාය. ඉතින්, මා විසින් මගේම සිතට කොපමණ අවවාද දී තිබුණ ද, අවසානයේ දී එක්තරා ජීව ප්‍රාණියෙකු මගේ ඒ අධි ආරක්ෂිත සිත් කලාපය සසල කරවන්නට සමත් විය.

    ඒ අපූර්ව ජීව ප්‍රාණියා සැබැවින්ම නුතාරා වනිගසේකර ම වූවාය.

     ඔබ ඔය පවසන්නට ආ ඒ වදන එලෙසම, මදකට ගිල ගන්නැයි මම ආදරයෙන් ඉල්ලා සිටිමි. පළමුව, අසා සිටින්න. දෙවනුව, සිතා බලන්න. ඉන්පසුව, ඔබ කැමති ආකාරයකට මා පිළිබඳව නිර්වචනය කරන්න. ඉතින්... මගේ ඒ අපූර්ව වූ ද, සුන්දර වූ ද, අපමණ වේදනාබර වූ ද ඒ කතාන්දරය... මෙතැන් සිට දිග හරිමි.

________________________________________________________

    නුතාරා සාමාන්‍ය ගැහැනු ළමයෙකුට වඩා ශක්‌තිමත් කෙල්ලක වූවා ය. ඇය පාසල් අවධියේ දී කුඩා කල සිටම ක්‍රීඩාවට යොමු වී සිටි බවත්, පාසලේ අවසාන වසරේ ක්‍රීඩා නායිකාව ව සිටි බවත් ඈ මට පැවසුයේ අප හමුවූ මුල් කාලයේ දී ම ය. ඉතින් සිදුවිය යුතු ලෙසින්ම ඇයට සැබෑම ශක්තිමත් හා ක්‍රියාශීලී සිරුරක් හිමි ව තිබිණි. ඇය බැලූ බැල්මට සිහින් ය. එහෙත් සවිමත් ය. ක්‍රීඩිකාවකට පමණක් උරුම වන ආකාරයේ සවිමත් අත් සහ පාද ඇයට හිමි වී තිබිණි. ඇය උස ය. අඩි හයක් නම් නැත. එහෙත් අඩි පහයි අඟල් දහයක් පමණ උස බව ඉඳුරාම කිව හැකිය. ඇගේ ඇහිබැමි ඝන ය. ඒවා ඇයට ගෙන දුන්නේ නපුරු අහංකාර පෙනුමකි. ඇගේ ඝන තද කළු හිසකෙස් ඇගේ පිට මධ්‍යයට පමණ වන්නට දිගුව තිබිණි. මගේ අනෙකුත් මිතුරියන්ට අනුව නම් නුතාරාට තිබුණේ සමාව නොදෙන සුළු, භය උපදවන ආකාරයේ පෙනුමකි. එහෙත් මා කිසිදාක එසේ සිතුවේ නැත. නුතාරා සැබැවින්ම සුන්දර ය. ඇය ගතිගුණ අතින් තරමක නපුරිච්චියක බව සැබෑ ය. එහෙත් ඈ කිසිදාක මට එලෙස සලකා නැත. ඉතින්... මට නම් ඇය නපුරියක නොවේ.

    මට සමහරවිටෙක සිතුණේ ක්ලියෝපැට්රා රැජිණියට නුතාරාගේ පෙනුම තිබෙන්නට ඇතැයි කියා ය. ඉතින් දිනක් මම මගේ අනෙක් මිතුරියන්ට ද ඒ බව කීවෙමි. ඔවුන් ද එය පුදුමයෙන් අනුමත කළෝය. ඇගේ කොණ්ඩය තවත් ටිකක් කොට වූවා නම් ඇය ක්ලියෝපැට්රා ම ය. ඉතින් නුතාරාට ක්ලියෝපැට්රා යැයි පටබැඳි නාමයක් ඇති වීමට වැඩි කලක් ගත වූයේ නැත.

     මා හා නුතාරා අහස හා පොළව වගේ ය. ඇය පොල් ගසක් සේ උස වුවද මා එතරම් උස තැනැත්තියක වූයේ නැත. මම ඇයට වඩා පැහැපත් වීමි. ඇය සවිමත් ආකර්ෂණීය යුවතියක වූ අතර මම බණ්ඩක්කා කරලක් මෙන් සුළඟටත් ගසා ගෙන යන්නට හැකි ආකාරයේ සරුංගලයක් වීමි. ඇය එතරම් කතාවට ප්‍රිය නොකරන එහෙත් දක්ෂ ප්‍රියමනාප කෙල්ලක වූ අතර මම ඊට හාත්පසින්ම වෙනස් වීමි. මා කතා කරන්නට පටන් ගතහොත් ඒ කතාව අවසන් කරන්නට පැය දෙක තුනක් ගත වේ. මා එසේ මොනවා හෝ කියවන්නට ගතහොත් අසා සිටින්නේ නුතාරා පමණි. මගේ අනෙකුත් මිතුරියන් මට දෙස්දෙවොල් තබද්දී නුතාරා සිනාමුසු මුහුණින් මා දෙස සම්පූර්ණ අවධානය යොමු කර බලා සිටින්නී ය.

    මා නුතාරාට හෝ, නුතාරා මට හෝ කිසිම දිනෙක 'ආදරෙයි' යනුවෙන් පවසා නැත. එහෙත් පැහැදිලිව ම මම ඇයට ආදරය කළෙමි. අප දෙදෙනාගේ දවස ආරම්භ වන්නේ උදෑසන අවදි වීමෙනි. නුතාරා සාමාන්‍යයෙන් උදෑසන හතරයි හතළිස් පහට අවදි වෙයි. ඉන්පසුව මට තේ හෝ කෝපි හෝ සාදා තබයි. ඇය ඒවා බොන්නේ නැත. උදෑසනම වතුර වීදුරුවක් පමණක් පානය කරන ඇය උදෑසන පහට පමණ දුවන්නට යන්නී ය. ඇය නැවතත් පැමිණෙන්නේ විනාඩි හතළිස් පහකට පමණ පසුව ය.

    සමහරදාක ඇය ඒ පැමිණෙන මොහොතේ දීත් මා නින්දේ ය. බොහෝවිට මම ඒ මොහොත වන විට අවදිව සිටිමි. නුතාරාගේ තේ සහ කෝපි ඇත්තෙන්ම රසවත් ය. අම්මාගේ තේ වුවද එතරම් රස නොමැත. සමහරවිට නුතාරාට කුමක් හෝ බලයක් තිබෙන්නට ඇත.

   සාමාන්‍යයෙන් අපේ උදෑසන ආහාරය සකසන්නේ මා ය. සමහරදාට නුතාරා ද එය සිදු කරයි. බොහෝවිට සිදුවන්නේ මා ආහාර සකසද්දී ඈ මට උදව් කිරීම ය. මේ උදෑසන ආහාරය පිළියෙල කරන මොහොත මා දවසේ කැමතිම මොහොතකි. මා කලින් සඳහන් කළ ලෙසම නුතාරා එතරම් කතාවට ප්‍රිය නොකරන යුවතියකි. එහෙත් මට එය කිසිදාක ගැටලුවක් වූයේ නැත. මන්ද කියතොත් ඇය මට මගේ ජීවිතයේ හමු වූ හොඳ ම සවන්දෙන්නිය යි. වෙනත් අය මෙන් බොරුවට සවන්දෙන බවක් අඟවා සවන් නොදී සිටීම නුතාරාගේ ගතිගුණ අතර නොවිණි. මා පවසන්නේ කුමක්ද, ඒ සියල්ලට ම ඇය වචනයක් නෑර ඉතා හොඳින් සවන් දුන්නා ය.

     ඉතින්, මම ඇයට කීවෙමි. මගේ බලාපොරොත්තු... මගේ අනාගත අපේක්ෂාවන්... මගේ අරමුණු... මගේ අධිෂ්ඨානයන්... මේ සියල්ලම පිළිබඳව මම ඇයට සවිස්තරාත්මකව පැහැදිලි කළෙමි. උපාධිය ඉක්මනින් සම්පූර්ණ කළ යුතු බව, සමාජයේ පිළිගන්නා උසස් රැකියාවක් කරන්නට මගේ තිබෙන ආශාව, මගේම මුදලින් මගේ අවශ්‍යතා ඉටු කර ගන්නට තිබෙන කැමැත්ත, කවදා හෝ දිනෙක සුරතල් දියණියකගේ මවක් වී ඇයට ජීවිතය ජයගන්නට මග කියා දිය යුතු ආකාරය, මගේ දියණියව සාම්ප්‍රදායික රාමුව තුළ කොටු නොකළ යුතු ආකාරය, මගේ මුදල්වලින් සාප්පු සවාරි යන්නට ඕනෑ බව ආදී වශයෙන් දහසකුත් එකක් මාතෘකා පිළිබඳ ව මම නුතාරා දැනුවත් කළෙමි. උදෑසන ආහාර සකසන මොහොතේ දී ආරම්භ වන මගේ කතා, දවස පුරාවට ම නුතාරාට අසන්නට ලැබේ. විශ්වවිද්‍යාලයේ දී ලැබෙන සුළු විවේකයක දී පවා මම ඇයට නොයෙක් දේ පිළිබඳ ව විස්තර කර දුන්නෙමි. අපේ පුංචි නිවහනට පැමිණි පසුව ද ඇයට තවත් කුමක් හෝ වැදගත් මාතෘකාවක් පිළිබඳ විස්තර කර දුන්නෙමි. අවසානයේ දී මගේ විස්තර කිරීම් හා පැහැදිලි කිරීම් අවසන් වන්නේ "නිදාගනින් කටර් එක. ඕක හෙට උදේට කියන්න" යනුවෙන් පවසන නුතාරා නිසා ය.

     නුතාරා කිසිදාක මට 'කට වහපන්' යැයි කීවේ නැත. ඇය හැමදාමත් ඉතාමත් සාවධානව මට සවන් දුන්නා ය. ඇය මගේ බලාපොරොත්තු කිසිවක් වැරදි යැයි කීවේ හෝ මා පිළිබඳ ව අමුතු ආකාරයකින් බැලුවේ හෝ නැත. ඇය හැමදාමත් කීවේ මා ඉතාමත් ධෛර්යය සම්පන්න කෙල්ලක බව ය. මගේ නොසැලෙන අධිෂ්ඨානය හා මගේ අනාගත බලාපොරොත්තු ඇය සෑමවිටකම අගය කළා ය. ඇය කීවේ මගේ ඒ ධෛර්යය හැමදාමත් මා සමගම තබා ගත යුතු බව ය. මා කිසිවෙකුගේ පිහිටක් නොමැති ව මගේම දෙපයින් අභිමානවත් ව නැගී සිටිය යුතු බවත්, මට එසේ කළ හැකි බවත් ඈ පැවසුවා ය. එය සිදුකරන්නට තරම් අවශ්‍ය ශක්තිය මා තුළ තිබෙන බවත්, මා පෙනෙනවාට වඩා ශක්‌තිමත් කෙල්ලක බවත් ඈ කීවා ය.

    ඉතින්, මම ඇයට වඩ වඩාත් ආදරය කළෙමි. ඇයගේ කරුණාවන්ත හා සුන්දර ආත්මය සමග තව තවත් සෙනෙහසින් බැඳුණෙමි. එහෙත්... කිසිමදාක ඒ බව ඇයට වචනයෙන් නොකීවෙමි. ඇය ද කිසිදාක මට එවැන්නක් වචනයෙන් නොකීවා ය. එහෙත්... ඇය ද මට පෙම් කළ බව මම හොඳින්ම දැන සිටියෙමි.

    මා අසනීප වූ දවසක් වී නම්, ඇය එදින නිවහනට ම වී මා බලා ගත්තා ය. මට උණුසුම් පාන වර්ග සාදා දී නියමිත වෙලාවට බෙහෙත් පෙව්වා ය. අප දෙදෙනා සමහර දිනෙක කෑම කන්නට සයිවර් කඩවලට ගියෙමු. ඇඳුම් ගන්නට සාප්පු ගාණේ රස්තියාදු වුණෙමු. කිසිවෙකුටත් වැඩකට නැති සවරන් කැබලි මිලදී ගත්තෙමු. මේවා සියල්ලට ම මුදල් වියදම් කළේ මා ය. නුතාරා ට එසේ අනවශ්‍ය දේ ට වියදම් කරන්නට තරම් මුදලක් තිබුණේ නැත. එහෙත් මා එසේ මුදල් වියදම් කරද්දී ඈ මා නැවතුවේ ද නැත. මා මුදල් වියදම් කල ද ඒ පමණ දැන බව ඇය දැන සිටියා ය. ඉතින් මාසයකට දෙකකට පමණ වරක් අපි දෙදෙනා එසේ නගරය වටා රවුමක් දෙකක් ගසා විනෝද වීමු.

    අප දෙදෙනා අතර තිබුණේ මිතුදම පමණක් යැයි ඔබ කියන්නට බැරි නැත. එහෙත්... මගේ සිත දන්නේ මා ය. මම ඇයට සැබැවින්ම මිතුරියකට වඩා, සහෝදරියකට ද වඩා පෙම් කළෙමි. අප දෙදෙනා එකිනෙකා සමග ආදර බස් නොකී බව ඇත්තකි. ඉඟියකින් හෝ එවැන්නක් පෙන්නුවේ නොමැති බව ඇත්තකි. එහෙත්... අපි එකිනෙකාට සැබැවින්ම පෙම් කළෙමු. ඔබට අප්‍රිය වන්නට හැකි ය. ඔබට ඕනෑ නම් අප්‍රිය කරන්නට ද හැකි ය. එය මගේ ගැටලුවක් නොවේ. අප දෙදෙනා අතර තිබූ ඒ විස්තර කළ නොහැකි අපූර්ව ප්‍රේමය, කෙතරම් නිර්මල දැයි දන්නේ අප දෙදෙනා ම පමණකි. ඒ හැඟීම් පිවිතුරු ය. නොඉඳුල් ය. ඒ සියල්ලට ම වඩා.... ආදරණීය ය.

_________________________________________________________

     කාලය, ඉතා කුරිරු අන්දමින් සියල්ලම වෙනස් කරමින් ගලා ගියේය.

     මම උපාධිධාරිණියක වීමි. නුතාරා ද උපාධිධාරිණියක වූවා ය. ඉතින්... අප දෙදෙනාට ඒ සුන්දර වූත්, අපූර්ව වූත් අපේ අතීතයට සමුදෙන්නට කාලය පැමිණියේ ය.

     අපේ වෙන්වීම පිළිබඳව විස්තර සහිතව පවසන්නට මට ඕනෑ කමක් නැත. එහෙත්... අපි වෙන්වීමු. මගේ ජීවිතයේ සුන්දරම මතක සෑදූ ඒ පුංචි නිවහනින් අපි එළියට පැමිණියෙමු.

     මට මතක ය. සමුගන්නට පෙර නුතාරා මා වැළඳ සිටි ආකාරය මට තවමත් හොඳින්ම මතක ය. ඇය කිසිවක් ම පැවසුවේ නැත. කාලය පිළිබඳ ව හැඟීමක් නොමැති ව අපි දෙදෙනා එකිනෙකාට තරයේ තුරුලු වී සිටියෙමු. අපේ දෙමාපියන් ද කිසිවක් පැවසුවේ නැත. වසර ගණනක් එකට සිට වෙන්ව යන්නට කාරණා සැදුණු  'මිතුරියන්ගේ' සමුගැනීමට බාධා නොකරන්නට ඔවුන් තීරණය කරන්නට ඇත.

     කෙතරම්දැයි නොදන්නා වෙලාවක් මා වැළඳ සිටි නුතාරා, අවසානයේ මා මුදා හැරියා ය. ඉන්පසුව, පහත් වී, ඉතා සියුම් ලෙස... දැනෙන නොදැනෙන පරිද්දෙන්... මගේ නළල හා හිසකෙස් පටන්ගන්නා රේඛාව අතර වූ ඒ සිහින් ඉඩ, සිපගත්තා ය. ඈ හැඬුවේ නැත. මා මුලින් කී ලෙසම මගේ නුතාරා ශක්තිමත් කෙල්ලකි. ගතින් මෙන් ම සිතිනුත්..! ඉතින්.. ඇයටත් සමගම මම හැඬුවෙමි. මේ වෙන්වීමට මා සූදානම් ව සිටියේ නැත. එහෙත්, එක්වීමක් තිබේ නම් වෙන්වීමක් ද තිබිය යුතුම ය. එය ලෝක ධර්මතාවය යි. ඉතින් ඒ සනාතන දහමට ගරු කරමින් නුතාරා මගෙන් සමුගෙන ගියා ය.

    පුංචි කිරිල්ලියක මෙන් නොනවත්වා කියවමින්, ඉතා සැහැල්ලුවෙන් හා ප්‍රීතියෙන් කල් ගෙවූ ජිනාලි ද රැගෙන, නුතාරා එසේ සමුගෙන ගියා ය.

_______________________________________________________

     එතැන් පටන් සිදුවීම් සිදුවූයේ කෙසේදැයි මා දන්නේ නැත. සියල්ලම සිදුවූයේ ඇසි පිය ගසන සැනිනි. ඒවාට විරුද්ධ වන්නට තබා වචනයකුදු පවසන්නට මට ඉඩක් ලැබුණේ නැත.

     උපාධිය ලබා නිවසට පැමිණි මට, මා බලාපොරොත්තු වූ ආකාරයෙන් රැකියාවක් කරන්නට ඉඩ ලැබුණේ නැත. මා අක්කාට හා මගේ අනෙකුත් ඥාති සොහොයුරියන්ට වඩා වෙනස් ව, වෙනසක් කරන්නට යන බව ඉව වැටුණු නිසා දෝ මගේ පවුලේ සියල්ලෝ ම, උපාධිය අවසන් කළ විගසම මා විවාහ කර දීමට කටයුතු යොදා තිබිණි. මම ඇත්තෙන්ම පුදුම වීමි. මගේ විවාහයට තිබූ එකම අඩුව වූයේ මනාලියයි. ඒ හැරෙන්නට අනෙක් සියල්ලම අඩුපාඩුවක් නොමැතිව ම සකස්කර තබන්නට මගේ වැඩිහිටි ප්‍රජාව පියවර ගෙන තිබිණි.

      මා එදා ඊට විරුද්ධ නොවූයේ ඇයි දැයි අද මා තුළ ඇතිවන්නේ මා ගැන ම කෝපයකි. නුතාරාගේ ධෛර්යවන්ත ජිනාලිට එදා සිදු වූයේ කුමක් ද? නුතාරා සිටියේ නම් මගේ අභිමානයට සිදුවූයේ කුමක්දැයි විමසා කෝප වනු නිසැක ය. එහෙත්.... නුතාරා!

      සියල්ලට ම හේතුව වූයේ නුතාරා ය. ඇගේ වෙන්වීමෙන් අසීමිත වේදනාවට පත් ව සිටි මට එදා ඒ කිසිවකට එරෙහි වන්නට සවියක් තිබුණේ නැත. සමහරවිට නුතාරා මා අසල සිටියා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබිණි. එසේත් නොමැති නම්.... සමහරවිට නුතාරා ගැහැනු ළමයෙකු නොවී පිරිමි ළමයෙකු වූවා නම්....

     එසේනම් මා, මගේත් 'ඔහුගේත්' ප්‍රේමය වෙනුවෙන් සටන් කරන්නට ඉඩ තිබිණි. මගේ මනමාලයාට ද අත දිග හැර කම්මුල් පහරක් ලබා දෙන්නට ඉඩ තිබිණි. ආච්චි අම්මලා ඇතුළු සියලු දෙනාටම බැන වැදී 'පිරිමි-නුතාරා' මගේ ජීවන සහකරු කරගනිමින් මගේ සියලුම බලාපොරොත්තු, 'ඔහුත්' සමග ඉටු කරගන්නට ඉඩ තිබිණි.

   එහෙත්.... මා සිටියේ නිතරගයෙන්ම පැරදී ගිය යුධ පිටියක ය. සටනක් නොමැතිව ම මම පැරදී සිටියෙමි. ප්‍රේමය වෙනුවෙන් සටන් කරන්නට මා අත අසිපතක් වූයේ නැත. මා සමග මා හැර වෙනත් අයෙකු සිටියේ ද නැත. නුතාරා ද මා හැර ගොසිණි. ඇය වෙනත් කුමක් නම් කරන්න ද? පරදින බව නිසැක සටනකට අත පොවනවාට වඩා පරාජය බාර ගැනීම හොඳ බව ඇය සිතන්නට ඇත. ඉතින්... මම ද එසේ සිතුවෙමි. අම්මලා මට රැකියාවක් කරන්නට කිසිසේත්ම ඉඩ නොදෙන බව නිසැක ය. ඔවුන්ගේ රකුසු ඇස් මා කෙරෙහි අනුකම්පා විරහිත ආකාරයෙන් එල්ල වී තිබිණි. මා ඔවුන්ට විරුද්ධ වූයේ නැත.

ඉතින්... අශේන් මගේ සැමියා වූයේ එලෙසිනි. බලාපොරොත්තු කන්දරාවක් පොදි බැඳගෙන සිටි මා, පුංචි දියණියකගේ හා නිවුන් පුතුන් දෙදෙනෙකුගේ මවක් වෙමින්, නිවසකට කොටු වූ ගෘහණියක් වූයේ එලෙසිනි.

_______________________________________________________

     කාලය ඔහේ ගෙවී ගියේය. මම ද ඒ ගෙවී යන කාලයට ඔහේ ගෙවී යන්නට ඉඩ දී බලා සිටියෙමි. අශේන් මා පිළිබඳව තැකුවේ නැත. ඔහු උදෑසනින් ම රැකියාවට පිටත් ව යයි. ඉන්පසුව සවස් වී නැවතත් නිවසට පැමිණෙයි. මම ද ඔහුගේ බිරිඳ ලෙසින් කළ යුතු යුතුකම් සියල්ල ම ඉටු කළෙමි.

    'ඔහුගේ බිරිඳ....! ' මා ඔහුගේ බිරිඳ ය. කාලයක් ජිනාලි සුබසිංහ වූ මා, අද අශේන් රණසිංහගේ බිරිඳ ය. ජිනාලි සුබසිංහ යනු තවදුරටත් ජීවත්වන්නියක නොවේ.. දැන් ජීවත් වන්නේ රණසිංහ මහත්මිය යි. ජිනාලි තවදුරටත් මෙලොව ජීවත්වන්නේ නැත. ඇය මියගොසිනි.

      නුතාරා ආදරය කළ ඇගේ කටකාර ජිනාලි, දැන් මියගොසිනි.

     එහෙත් තවමත්, සෑම සතියේ දිනකම දහවල් කාලයේ දී, රණසිංහ මහත්මිය තුළ සැඟවී සිටින ජිනාලි නැවත උපත ලබන්නී ය. දහවල් වරුව පුරාවටම ජීවත්වන්නේ ජිනාලි ය. අහිංසක බලාපොරොත්තු කන්දරාවක් සිත දරා සිටි ධෛර්යවන්ත ජිනාලි, අදටත් එසේ නැවත උප්පත්තිය ලබන්නී ය.

     ඉතින් මම තවමත් සෑම දහවල් කාලයක දී ම ඒ මියගිය සුන්දර අතීතයට පියඹා යන්නෙමි. එසේ ගොස්... ආඩම්බර, අහංකාර, ශක්තිමත් සුන්දරිය නුතාරා සමග අපේ පුංචි නිවහනේ ජීවත්වන්නෙමි. මගේ ක්ලියෝපැට්රා.... අද ඇය කොහේ නම් ඇතිද? එදා වෙන් ව ගියාට පසු මට ඇය ගැන කිසිදු ආරංචියක් පැමිණියේ නැත. අඩු ගණනේ මා සතුව ඇගේ ඡායාරූපයක් හෝ නොමැත. ඇත්තේ ඒ සුන්දර මතකය ම පමණකි. මා නුතාරාට පෙම් කළ වග, නුතාරා මට පෙම් කළ වග.. දන්නේ අප දෙදෙනාම පමණකි. එය සදාකාලිකව ම රහසකි. සේයාරුවක් හෝ නොමැති වුවද... වසර පහළොවක් පමණ ගෙවී ගොස් තිබුණ ද... මගේ අධි ආරක්ෂිත සිත සොලවන්නට සමත් වූ ඒ එකම රුව මට කිසිදා අමතක වන්නක් නොවේ. ඇය සදාකාලිකව ම මගේ ප්‍රථම හා එකම ප්‍රේමය ව මා ජීවත්වන තාක් කල් මාත් සමගම ජීවත් වනු ඇත.

    මා පැතූ ජීවිතය මට නොලැබී ගිය බව සත්‍යයකි. සාම්ප්‍රදායික රාමු තුළ කොටුවූ මගේ දෙමාපියන් හා අනෙකුත් වැඩිහිටියන් නිසා මට මගේ ජීවිතය අහිමි ව ගිය බව සත්‍යයකි. ඔවුන් නිසා ජිනාලි මිය ගියාය. සැමියා නොමැති නම් වතුර පොදක් ද නොමැති වන අසරණියක නිර්මාණය කිරීමට දායක වූයේ ඔවුන් ය. ජිනාලි සුබසිංහ මරා දමා රණසිංහ මහත්මියට උපත දීමට සෘජුවම කටයුතු කළේ ඔවුන් ය.

    එහෙත්.... මා මට සිදු වූ ඒ අකටයුත්ත, මගේ දියණියට සිදුවන්නට ඉඩ තබන්නේ නැත. මම ඇයට හොඳින් ම උගන්වමි. ඇයට ඇගේ දෙපයින් නැගී සිටින්නට මගේ වාරුව ලබා දෙමි. මට එදා මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙකුත් නැති වූ බව සත්‍යයකි. එහෙත්.... මගේ පුංචි දුවේ... ඔබටත් එයම සිදුවන්නට මා කිසිලෙසකින්වත් ඉඩ තබන්නේ නැත. ඔබේ අම්මා හැමදාමත් ඔබ වෙනුවෙන් ම සිටිනා බව මතක තබාගන්න, මගේ පුංචි දුවේ, නුතාරා...!

     මම ඔබට මුලදී ම කීවෙමි. ප්‍රථම ප්‍රේමය යනු එසේ කිසිදාක කිසිවෙකුටත් සිතින් අතුගා දැමිය හැක්කක් නොවේ!

-සමාප්තයි-