Friday, April 19, 2024
Follow Us
ඇගේ දින පොත

"මා මියගිය දිනෙක එන්න...."

       "මා බලන්න ඇවිත් යන්න...."

 ඇගේ දින පොතෙහි පිටු පෙරලු මට දැක ගැනීමට හැකි වූ මුල් වදන් පෙල එය විය... අවුරුදු විසි පහක සිර දඬුවමකින් පසු ඇය සමුගත් මොහොතේ පවා ඇගේ දෑසෙහි එදා පටන් මා වරදකාරී ස්වරූපයක් නොදුටුවෙමි.. අවුරුදු දහසක මාගේ රැකියා ජීවිතේ ඇය හුරු පුරුදු චරිතයක් විය..  එමෙන්ම මා දුටු අරුම පුදුම ගැහැණිය ඇය යැයි කිව යුතුමය... ඇය ගැන කුතුහලයක්ද මාගේ සිතෙහි කෙමෙන් කෙමෙන් වැඩෙමින් පැවතුණි.. ඇය ඉතා සන්සුන් චරිතයක් විය.. ඇගේ ජීවිතය පිලිබද මා ඇසූ ප්‍රශ්න වලට ඇය සෑම දිනකදීම පිළිතුර වශයෙන් සුන්දර සිනහවක් පමණක් පිළිතුර වශයෙන් ලබා දුනි.. මිනී මැරුම් චෝදනාවකට ඇය මෙහි පැමිණියද එය ඇය ලෙස බැලීමේදී සිතා ගැනීමට නොහැකිය.. සැබැවින්ම ඇය තැන්පත් කාන්තාවක් විය..

                    ඇය මැදි වියේ පසු වුවද තරුණ අවධියේ තිබු ස්ත්‍රී අංග ලක්ෂණ වල සේයාවන් තවද ඇය කෙරෙන් දිස්වෙයි... ඇය සිර මැදිරියෙන් ගිය පසු ඇය මට හමුවූයේ තවත් වසර අටක් නික්ම ගිය පසුය.. ඒ මා වැඩිහිටි නිවාසයකට දානයක් දීම සදහා ගිය විටය.. ඇයගෙන් එහි සිටින්නේ ඇයි දැයි ඇසූ විටද ඇය වෙනදා මෙන්ම ගොලුවත රැකීම පමණක් සිදෝ කළේය.. එහෙත් වෙනදා දකින සුන්දර සිනහවෙහි අඩුවක් නොවුවද දෙනෙතෙහි කදුලක ඡායාවක් රැදී තිබුණි.. මා එහි මිතුරෙකුගෙන් ඇය පිළිබඳ විමසූ විට ඇය පාරෙහි සිටියදී මිනිසෙකු විසින් මෙම නිවාසයට භාරදුන් බවත් ඇයට කිසිවෙකු නොමැති බවත් පැවසුවේය... 

             පසුව ඇය ගැන සෙවීම සදහා මම නිතරම එම නිවාසයට ගියෙමි.. සිත්වල කිලුටක් නොමැති සෑම විටම අවංක සිනහවෙන් යුක්තව කල් ගෙවන ඔවුන් අතර ගැවසීමට මම ඉතා ප්‍රිය කලෙමි. සෑම විටම ඔවුන් මා දෙස බැලුවේ ඉතා ආදරබර ස්වරූපයකිනි.දිනෙන් දින මා ඇයට ලංවීමට උත්සාහ කලෙමි.. ඇය නිහඩ චරිතයක් වුවද ඇය යම් යම් අවස්ථාවල කියන කරන ලද දේවල් නිසාවෙන් ඇය උසස් බුද්ධියකින් යුත්ත පුද්ගලයෙකු බව මට පසක් විය... ඇය සමග කෙතරම් ලංව ආශ්‍රිය කලද ඇය කිසි විටකත් ඇගේ ඇතුලාන්තය පිටතට ගැනීමට ඉඩ නොදුන්නේය.. එහෙත් දිනක් ඇය අසනීප වූ අවස්ථාවක ඇය බැලිමට ගිය විට ඇය මා අත පාර්සලයක් තැබීය.. එහි ඇගේ දිනපොතකුත් කුඩා දරුවෙකුගේ හා ඇගේ සැමියාගේ හා ඇයගේ පින්තුර කිහිපයකුත් කුඩා ලියුම් කැබැල්ලකුත් තිබුණි... ඇය මා හට මේවා ලබා දුන්නේ ඇයට සිටින එකම හිතවතා මා පමණක් වන බව මගේ සිතෙහි රදවමින්ය...

      මා නමින් සීතා විය... සෑම දිනයකදිම අත් පා වල කරගූට එනකම් කුලීවැඩ කරන අප්පච්චිටත් ඉදුල් පිගන් හෝදමින් අපේ බඩ කට පුරවන්න වෙහෙසෙන අම්මගෙත් දෑත් වලට පොඩි හෝ සහනයක් ගෙන ඒමේ අටියෙන් මම උසස් පෙල අවසන් වූ වහාම ඇගලුම් කම්හලක රැකියාවකට යාමට සිතුවෙමි...මගේ අධ්‍යාපන මට්ටම ඉහල මට්ටමක තිබුනද පවුලේ වැඩිමලා වශයෙන් පවුලේ බර කරට ගෙන බාල සොහොයුරන්ගේ අනාගතය මේ දෙඅත් වලින් සැකසීමට අවශ්‍ය නිසාවෙන් උසස් අධ්‍යාපන හීනය උපන් ගෙයිම මියදුනි...

        තාරුණ්‍යයේ දොරටු විවර වී තිබූ මා හට ආදර ඇරයුම් වලින්නම් අඩුවක් නොවුනි.. මේ අතරතුර මට මගේ ජීවිතයේ ඉරණම්කරු හමුවිය.. ඔහු නමින් සුනිල්ය.. ඔහු මා මෙන්න දුප්පත් අයෙක් වූ අතර ඔහු ලියුම් බෙදන්නෙක් විය.. ඔහුගේ අවංකකමට පෙම් බැන්ද මා මාගේ ජීවිතයට ඔහු නමින් අකුරු  ගලපන්නට විය.. සැබෑ ආදරය යැයි මා විශ්වාස කරන විශ්වාසය නැමැති දම්වැල ඔහුගේත් මගේත් සිත් තුල වඩාත් ගැඹුරින් වැඩී තිබුණි.. යා යුතු මග යා යුතුය කියන්නාක් මෙන් අපද ජීවිත ගලා යන සේ යාමට ඉඩ හැරියේය.. මේසේ බාධක දුක් කම්කටොළු මැදින් ගලා ආ සිව්  අවුරුද්දක් පුරා ගලා ගිය ප්‍රේමයට නිවසියන්ගේත් ආශිර්වාදය එක්වුණි.. ආදරය යනු ජීවිතයට අස්වැසිල්ලක් පමණක් විය යුතු යැයි මම විශ්වාස නොකරමි.. ආදරය ජීවිතය ආලෝකමත් කළ යුතු යැයි මම විශ්වාස කරමි...

           අපේම කැදැල්ලක ජීවිතය ඇරඹූ ඇරඹූ අපේ ජීවිතයේ සිහිනය බදු දරු සිහිනය මල්ඵල ගන්වමින් මා සිව්මස් ගැබනියක් වූ දින මා ජීවිතයේ අවාසනාවන්තම ගැහැණිය බවට පත් කරමින් මා ප්‍රාණසමව ආදරය කල මාගේ සැමියා රිය අනතුරකින් මරණයට පත්විය.. දරුවෙකු කුස හොවමින් සිටින කාන්තාවකට උසුලන්නට නොහැකිම වේදනාව උසුලමින් ජිවත් වීමට තරම් අවාසනාවන්ත අන්දමට මගේ දෛවය ලියා තිබුණි.. ජීවිතය පිළිබඳ එකම බලාපොරොත්තුව කුස උන් දරුවා පමණක්ම විය...මේ ලොව තුල යහපත් පුද්ගලයින්ට වැඩි ආයුෂ නැති බව සනාථ කරමින් ඔහුද මා මෙලොව තනි කර සමුගත්තේය.. නමුත් මා හට මියැදීමට නොහැකිය.. මාගේ කිරිකැටියා වෙනුවෙන් මා ජීවත් විය යුතුය.. සිතෙහි ඇති ස්නෙහයේ නාමයෙන් ඔහු කොතනක හෝ හිද අපගේ දරුවා ආරක්ෂා කරනවා නොඅනුමානය... 

        දසමසක් ගොස් සිගිති දියණියක් මාගේ කුසින් බිහිවිය.. ලොව ඇති උතුම්ම පදවිය වන මව් පදවිය ලබා ඇති මාගේ පියයුරෙන් ගැලූ කිරි බිදුවක පවා මගෙ සෙනෙහස නොඅඩුව ගැබ්ව ඇත.. සිගිති දියණියට මගේ රූපය ඉතා අපූරුව පිහිටා තිබුණි.. ඇගේ දුඹුරු දෑස් පියාගෙන් උරුම වූවක්ම විය.. දියණිය මගේ ප්‍රාණසම වස්තුව විය.. දිනෙන් දින වැඩෙන දියණියගේ වියදම් අධිකවූයෙන් නැවතත් ඇගලුම් කම්හලේ රැකියාවට යාමට මාහට සිදුවිය.. දියණියගේ තනි නොතනියට සුනිල්ගේ මව නිවසෙහි නතර විය.. කාන්තාව තම ජීවිතයම පවුල වෙනුවෙන් කැපකරයි.. ජීවිතයේ හින වලට තිත තියමින් දරුවන් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙයි. මුළු ආත්මයම ඔවුන්ට භාරකාර කදුළු එක්ක ජීවිතේ ඉදිරියට රැගෙන යයි.. එහෙත් කවමදාකවත් ඔවුන්ට ඔවුන්ගේ කදුළුවල වටිනාකම නොලැබේ.. එහෙත් මා මෙන්ම සෑම ගැහැණියක්ම ඒ කදුලුවල වටිනාකම කාගෙන් හෝ ලැබීමේ බලාපොරොත්තුවක් හිත කොනක තබාගෙන ජීවත් වේ...

     එදා වේල පිරිමසාගෙන කමින් ජීවත් වූ මාහට අන් පුරුෂයන්ගෙන් ලැබුණු ආරාධනා වල අඩුවක් නොවීය.. එහෙත් ගැහැණිය වූ කලී මද ස්පර්ශය පවා ප්‍රතික්ශේප කරන නිදිකුම්බාවක්ම විය යුතුය... සැමියා නොමැති ගැහැණියකට ඇග විකුණා ජීවත් විය යුතු නැත... වේලක් ඇර වේලක් කමින් හෝ එම ආරාධනාවන් ප්‍රතික්ශේප කල යුතුය...

දින සති අවුරුදු ගතවූයේ දියණියද වැඩි වියට පත් කරමිනි.. ඇය ඉතා සුරූපි  මෙන්ම ඉගෙනීමටද ඉතා දක්ෂ විය.. ඇයට කිසි විටෙකත් පියා නොමැති අඩුව මා දැනෙන්නට දුන්නේ නැත..

         මේ අතර එක්දරු පියෙකුවන කමල් නැමැත්තෙකු ඔහු හට අනියම් ඇසුරකට පැමිණෙන ලෙස කිහිප විටකදීම මට තර්ජනය කරන ලදී.. නමුත් ඔහු මගහැර දියණිය සමග ජීවිතය ඇහිදමින් සිටිය මා හට සිදුවූයේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි...එහෙත් මාගේ ජීවිතයේ ඉරණමෙහි ලියවී ඇති ආකාරයට ඒ අවාසනාවන්ත සිදුවීම සිදුවිය.. අසනීප වී මිත්තනිය හා නිවසේ නැවතුණ දියණියට ආහාර රැගෙන මා එන විට කමල් හා පොර බදින දියණිය දුටුවිට අතට හසුවු කැත්තෙන් කොටනවා ඇරෙන්නට බුද්ධියෙන් විමසා තීරණ ගැනීමට සුදුසු අවස්ථාවක මා පසු නොවුණි... මගේ දියණියවන් දරුවන් හා කාන්තාවන් කාමාතුරයෙක්ගෙන් බේරා ගැනිම පිලිබද මා අදටත් සතුටු වෙමි...

      උඩ රටට අප්පච්චි වෙච්ච පහතරටට තාත්තා වෙච්ච උතුරට අප්පා වෙච්ච මුලු රටටම අම්මා වෙච්ච මේ අම්මා කියන පදවිය උසුලන අයෙකුට තම දරුවා වෙනුවෙන් කල නොහැකි දෙයක් නොමැති බව මට පසක් වුණි.. මගේ දියණිය තිරිසනා සමග පොර බදින විට එවෙලෙහි දැනුන හැගීම විස්තර කීරිමට මට නොතේරේ.. කමල් උසස් නිලයක් දැරූ පුදගලයෙක් වූ අතර   ඔහුගේ මරණයට සම්බන්ධව මා ජීවිතාන්තය දක්වා  සිරගෙයට නියම කරන ලදි.. නීතියේ දෙනගනත් දූෂනය කර කූඩු කර ඇති විටෙක දෑස බැදි ඇයගේ පිලිසරණ සොයන අපට යුක්තියක් නොමැති බව මා දනිමි.. නීතියේ දෙවගනත් අන් මිනිසුන් අතින් අතට ගොස් දූෂණය වන විට මා වැනි දුප්පත් ගැහැණියකට යුක්තියක් සෙවිම ඵල නොමැති ක්‍රියාවකි..එබැවින් ජීවිතයට ගලා යාමට මා ඉඩ දෙමි..

      දියණියගේ ජීවිතය මාගේ සහෝදරියන්ට භාරකල මා සිර අඩස්සෙහි ජීවිතයේ ඉතිරි කාලය ගෙවීමට තීරණය කලෙමි.. කළ ක්‍රියාව කුමක් වුවද හදවතින් මා නිර්දෝෂී පුද්ගලයෙක්මි.. මග දෙපස පුද්ගලයන් මා ගැන කුමක් සිතුවද මා පහත් කොට සැලකුවද මාත් මගේ හදවතත් මා වරදක් සිදු නොකල බව මා දනිමි.. එවෙලෙහි මවක් වශයෙන් සිදුකල යුතු දේ මා සිදුකලා පමණකි.. එබැවින් මා පසු නොතැවෙමි.. අවසන් වතාවෙහිද දියණියගේ හිස සිඹගත් මා ඇයට සමු දුන්නෙමි...

      විසි වසරක් අනේක විධ දුක් දොම්නස් විදිමින් විවිධ පුද්ගලයන් හා ජීවත් වූ මා හට ජීවිතය පිලිබද කලකිරීමක් පමණක් ඉතිරි විය.. වැරදිකරුවන්ට වෙන්කල ස්ථානයේ හදවතින් නිර්දේශී මා නීතියේ අයුක්තියේ බලයෙන් සිරගතකොට තිබුණි.. සෑම දේම සිනහවෙන් විදදරා ගැනීමට පුරුදු වූ මා ජීවිතය ගෙවන ආකාරයට හුරුවෙමින් සිටියමි.. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබීම කමල්ගේ පවුලෙහි බල පුලුවන්කාරකම් නිසා සිදුවූ බව මා දනිමි.. එහෙත් එයට විරුද්ධව කතා කිරීමට ගැහැණියක් වූ මා හට නොහැකිය..  කාලය ගතවීමේදී නිදහස් දින නිදහස ලබාදුන් සිරකරුවන් අතර මා හටද නිදහස ලැබූණි.. මැදි වයස ඉක්මවූ මාගේ ශරීර ශක්තියද දුර්වලවූවාක් මෙන් මා හට දැනුණි.. එහෙත් එයට වඩා දියණිය දැක ගැනීමේ බලවත් ආශාවක් මා සිත තුල උපන්නහ.. ඒ කී ආශාවෙන් පෙලුනු මා ඇ සොයා ගියෙමි...කාලය ඉතා වේගයෙන් පියඹා ගොස් ඇත.. පුංචිවට පොල් අතු අසුරා තිබූ මැටි නිවස වෙනුවට නවීන නිවසක් එහි තනා තිබුණි.. මාගේ දියණියද දැනට තිස් පස් වසක් ඉක්මවා තිබේ.. නමුත් මගේ සිතෙහි දරු ස්නේහය නමින් ඇතිවූ සතුට එකවර ගිනි ජාලාවක් විත් අලුකර  දමා ගියේය..

     මා දුටු ඇය නිවසේ දොර වැසුවද ඇයට මා හදුන ගැනීමට නොහැකි වී ඇය එසේ කලා යැයි මා මගේ සිත රවට්ටා ගත්තෙමි..  මා ඇය නැවත දොර අරින තුරු පඩියකට වී හිදගෙන සිටියේය.. ඇය ඉතා සුරූපීය.. මිල මුදල් වලින් අඩුවක් නොමැති බව නිවෙස හා යාන වාහන දෙස බැලීමේදී පෙනීයයි.. ඒ පිළිබඳ මේ සිතෙහි ඇතිවූ ප්‍රීතිය කියා නිමකල නොහැකි තරම්ය.. කුඩා අවධියේ පටන් මගේ එකම හීනය වූයේද ඇය උසස් තැනකට ගෙන යාමයි..මා නොමැතිව වුවද ඇය අද එතනට ගොස් සිටියි...මාගේ දියණියගේ  මුහුණුවර සහිත කුඩා දැරියක්  පාසල් වෑන් රථයකින් බැස පැමිණ මා දෙස විමසිලි බැලුම් හෙලමින් නිවසේ විදුලි සීනුව නාද කලේය..මාගේ දියණිය නිවසේ දොර ඇර පැමිණි විට මා "මගේ දුවේ මාව අදුරන්න පුළුවන්ද" යැයි ඇසූවිට ඇය "ඔව් ඔව් පුළුවන්.. මට ඔයාගෙන් දැන් වැඩක් නෑ. අනික අපි මේ ඉන්න තත්වෙත් එක්ක මගේ අම්මා හිරේ හිටියා කියලා දැන ගන්නවට කවුරුත්අං කැමති නෑ. ඒ හින්දා කැමති දිසාවකට යන්න.. අනික මිනීමරුවෙක්ගේ කෙල්ල කියලා අහලා අහලම මට එපා වෙලා තිබ්බේ.. මං හැමෝටම කීව ඔයා මැරුණා කියලා.. ආයේ මහේ එන්න එපා.."

     සත්තකින්ම එවදන් මට විශ්වාස කිරිමට නොහැකි තරම් විය.. සිර මැදිරියේ සිටියදී මුල් කාලයේ පමණක් මා බැලීමට මාගේ පියා පැමිණයේය.. එහෙත් පසුව ඔවුන් පිළිබඳව ආරංචියක් පවා මට නොලැබුනි.. එහෙත් නංගිලා දෙදෙනාත් මල්ලීත් රජයේ රැකියා කරමින් සිටින බව දැනගන්නට ලැබුණි... ඇය වෙනුවෙන් මාගේ මුලු ජීවිතයම කැප කල මා හට ඇය පැවසූ වදන් හදවතට බෙහෙවින් බර වැඩිවිය..දෙනෙතින් වැටෙන කදුලුවල නිමාවක් නොමැති තරම්ය.. තව දුරටත් ඇවිද යාමට තරම් කෘෂ වූ ශරීරයේ දෙපා වලට ශක්තියක් නොවීය.. එබැවින් පාරෙහි පඩියක් මත ඉදගත් මා ජීවිතයේ මුල ඉදන් සිදුවූ සිදුවීම් වල මතක අතර සැරිසැරුවෙමි.. කුඩා අවධියේ පටන් ඈ ජීවත් කරවීමට මා අපා දුක් වින්දෙමි. කිසිම දෙයකින් ඇයට අඩුවක් නොකළෙමි.. දඩු පොලවේ ගෑවෙන කල්ම කරේ හොවාගෙන සෑම තැන්හිම එක්ක ගියෙමි.. මැෂිම් සමග ඔට්ටු වී පැමිණ රාත්‍රීයෙහි නිදි නොමැතිව පහන්තිර එතුවෙමි.. කන්න ගන්නේ නැතුව දරුවට මදිවෙයි කියලා නොකා සිටිය වාර අනන්ත අප්‍රමාණ මගේ දිවිය තුල ඇත්තෙමි. සැම දෙයක්ම අඩුවක් නොමැතිව පියෙකු නොමැති අඩුව දැනෙන්නට නොදී රැක ගත්තෙමි.. ජීවිතයම ඔබ වෙනුවෙන් පුජා කලෙමි.. නමුත් එයද නුඹට ලැජ්ජාවක් වූවද ඒ සියල්ල ඔබ වෙනුවෙනි...

     ඇය කුඩා අවධියේ සිදු වූ දේවල් නිසාවෙන් ඒවා අමතක වී ඇති බව සිතා මා මගේ සිත හදා ගැනීමට සිතුවෙමි.. එම අන්ධ මතය හිතෙහි හොවා ගනිමින් ඇයව සාධාරණීකරණය කිරීමට උත්සහ කලෙමි... මා මගේ සොහොයුරන්ගේ නිවෙස් කරා ගියේය.. එහෙත් ඔවුන්දා මා පිලිගැනීමටවත් සූදානම් වූයේ නැත.. මන්දයත් මට මිනීමරුවා යන ලේබලය ගසා ඇති නිසාවෙනි...එදා වේල ඉල්ලාගෙන කමින් ගෙවූ ජීවිතයට තිත තබමින් මෙම නිවාසයට මට ඒමට හැකිවිනි.. එහෙත් අදත් මං සිතන්නේ මේ දේ උරුම නොවී  මගේ මරණය සිර කුටියේම සිදුවූවානම් කියාය.. එවිට මේ සිතේ මේ සා වේදනාවක් නැතිව ජීවිතයේ අවසන් කාලයද සැනසීමෙන් ගෙවීමට හැකිවනු ඇත...

     සියලු දුක්ඛ දෝමනස්සයන් සිත තුල තෙරපගෙන ජීවත් වූ මා කිසිවෙකුට නොකියූ කතාව මෙසේ ලියමි.. ඉතිං මේ මගේ ජීවිතයේ අවසන් කාලයයැයි මට හැගෙයි..   දියණිය වෙනුවෙන් මං කල යුතු යූතුකම ඉටුකලෙමි... දරුවෙකුට බඩගිනි වූ විට බඩගින්න දැනෙන මවකට තුවාලයක් වූ විට ඒ වේදනාව දැනෙන මවකට දරුවෙකු වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරිමට හැකියාව ඇති බව කිව යුතුමය... මගේ සිතෙහිද දියණිය වෙනුවෙන් ඇති සෙනෙහස මෙසේ යැයි අකුරු කිරීමට නොහැකිය..

     මිය යාමට ප්‍රථම සිතෙහි ඇත්තේ එකම ආශාවකි.. ඒ ඔබගේ අතින් බත් ඩිංගක් මගේ මුවගේ තබා ගැනීමටයි.. ඔබ මා අසල සිටියේ වසර පහලවක් වැනි සුලු කාලයකි.. කුඩා කල සේ ඔබේ හිස උකුලේ හොවමින් නුඹේ සෙවණේ නොකා නොබී හෝ හිදීමේ ආශාවක් මේමා  තුල ඇත්තෙමි.. එහෙත් හිතෙහි තෙරපෙන හැගීම් මට ඔබට කිව නොහැකිය... මෙය ඔබ අතට පත්වන විට මා මිය ගොස් සිටින්නට පුලුවන... නමුත් සිතෙහි කොනකවත් ඔබ කෙරෙහි වෛරයක් තරහක් නැත.. ඇත්තේ මා ගැනම කලකිරීමක් පමණි.. මගේ එකම සතුට ඔබ සුවෙන් සතුටින් හිදිනු ලැබීමයි...

කදුළු_මල්වැහි_වහින_දිනයක...

නොනිමි_කදුලක්_තබා_යන්නට....

එදින_ඇවිදන්_මගේ_දුව_ලෙස....

මගේ_චිතකෙට_පහන්_දල්වා....

ආත්මෙට_සුව_පතා_යන්න....

       ජීවිතයේ මිනිසෙකු මේ සා වේදනාවක් විද ඇතැයි සිතීම පවා අපහසු කරුනකි.. මා හට මගේ දියණිය සිහිවිය.. මා ඇයට ආදරය කරනා තරම් සිතා ගැනීමටවත් නොහැක.. එහෙත් තම දියණිය වෙනුවෙන් මේ තරම් දෙයක් ඉටුකල වීර මාතාවට ඇය සැලකු ආකාරය ඉතා පහත්ය... ඇය ලියා තිබූ කුඩා කොල කැබැල්ල මා දිග ඇරියෙමි....

      " ඔබ මගේ ඇතුලාන්තය දැන ගැනීමට විශාල වශයෙන් වෙහෙස වූ බව මම දනිමි.. ඉතින් මෙහි ඇත්තේ මගේ ජීවිතයයි... මගේ මව පියා සැමියා කෙරෙහිත් දියණිය සොහොයුරන් කෙරෙහිත් සිත තිබූ සෙනෙහස මෙයින් විස්තර කිරීමට මා අපොහොසත්ය.. ඔබගෙන් මට ඉල්ලීමට යම් දෙයක් ඇත.. මේ ගෙවෙන්නේ මගේ ජීවිතයේ අවසන් කාලසීමාව යැයි මට හැගෙයි.. මා මියගිය පසු මේ පොත මගේ දියණිය වෙත ලබා දෙන ලෙස ඉල්ලමි.. මෙය ඔබට මා ලබාදුන්නේ ඔබ කෙරෙහි ඇති විශ්වාසයෙන් බව කිව යුතුය..

       නමුත් පසුදින මා ඇගේ දියණිය සොයා ගියෙමි.. ඇය වෙනුවෙන් මා හට කලහැකි එකම දෙය ඇගේ දියණියට මේ පොත ඇය මිය යාමට ප්‍රථම ලබා දීමයි. නැතහොත් ඇය කලකිරීම පමණක් තුරුලු කර ගනිමින් මිය යනවා නියතය.. ඇය සමාජයේ උසස් යැයි සම්මත රැකියාවක් කරන බැවින් ඇගේ නිවස සොයා ගැනීමට මට අපහසු නොවුණි.. එහෙත් ඔවුන් මෙරට හැරදා විදේශයේ පදිංචියට ගොස්ය.... ඇය දිනයක පසුතැවෙනු ඇත.. ඇයට ඇගේ සිත කිසිදිනයක සමාවක් ලබා දෙනු නොමැත..ඇගේ අසරණ දෑස් දකින දකින මොහොතක් පාසා මම ඇගේ දියණියට වෛර කරමි... සමාජය ගැන පිළිකුලක් පමණක් මගේ සිත තුල ඇතිවිය....

 

චතුර වික්‍රමසිංහ

අන්තර් ජාලයෙන් උපුටා ගැනීමකි