Saturday, November 23, 2024
Follow Us
" යාර හයේ සාපය " / "යාර හයේ ආශිර්වාදය "

කීර්තිමත් අධිකරණ වෛද්‍ය නිලධාරී Sir Sydney Smith ගේ පොතක වරෙක තිබුණා ලංකාවේ " සතාසිවම් නඩු විභාගය " ගැන. එම නඩුවට පෙනී සිටියේ නීතිඥ කොල්වින් ආර් ද සිල්වා මහතා. ඒ නඩුවේදී රෙජිනාගේ සාරියේ තැනක් ඉරිලා තිබුණා. ඒ ඇඟේ කොතනද කියල ඔහුට දැනගන්න අවශ්‍යය වුණා. එහිදී ඔහුගේ බලවත් විමතියට හේතු වුනු කරුණක් ඔහු ලියා තිබුණා.


ඒ තමා විශාල නීතිඥ කණ්ඩායමේ බහුතරේ විවාහකයන් වුනාට සාරියක් අඳින හැටි කවුර්ත් දැනගෙන සිටියේ නැහැ කියල. ඒ නිසා ඔහුට වෙනත් කාන්තාවක් ගෙන්වලා සාරියේ ඉරුණු තැන පිටට එන බව තීරණය කරන්න වුනා.
ඉස්සර මම වැඩ කළේ රූපවාහිනී නාලිකාවක. ඉතින් මම වැඩට අඳින්නේ නානාප්‍රකාර සාරි. ඔසරි. ගුජරාටි. මරාටි. මම ආසම මට ලස්සනම ඇඳුම සාරිය. අඳින්න වෙලාවක් ගියෙත් නැහැ. අපහසුවකුත් නැහැ. මම ගියේ මගේම කාර් එකේ නිසා කරදරයක් තිබ්බෙම නැහැ. සාරිය තරම් ලස්සන ඇඳුමක් මට මේ ලෝකෙත් නැහැ. ඒ කාලේ මට දරුවෝ හිටියේ නැහැ. ඔය මගේ සාරි ලෝලිත්වයට එක හේතුවක් වෙන්න ඇත්තේ නාලිකාවෙන් විකාශය වෙන ඉන්දියානු ටෙලි මගේ ඉස්සරහම් තියෙන TV එකෙන් මට පෙනෙන එක. උන්දලා ගෙවල් වල වැඩ කරන්නේ , නිදියන්නේ පවා සාරිය ඇඳගෙන නොවැ.
ඇත්තටම පහුගිය දස වසරේ මගේ සාරි අඳින එක අඩු වුනා මොකද ගෙදරම තමා මගේ ඔෆිස් එක තිබ්බෙත්. වැදගත් අවස්ථාවකට හැර සාරි ඇන්දේ නැහැ. ඉතින් කාලයක් ඔහොම ගියා.
මම මනෝ උපදේශන විභාග සමත් වෙලා සායනික පුහුණුවට යන්න ලැස්ති වුණා. මට හරිම සතුටුයි. ආයෙත් මගේ සාරියට බහින්න පුළුවන්. අල්මාරියේ කොනක තිබ්බ සාරි සේරම ගත්තා. එක හැට්ටයක් ඇඟේ තියන්න බැහැ. පහුගිය වසර 5 ම ළමයට , ළමයට කියල හොඳට කෑවනේ.
" ඕකත් මහා දෙයක්ද ?" කියල වහාම ගියා සාරි ගන්න කඩේකට. දෙවියනේ ඉස්සර 1,500 ට ග්ත්තු කොට්න් සාරියක් දැන් 4,500 ක් වෙලා. දෙකක් ගත්තා. අරගෙන ඊළඟට කට පීස් කඩේට ගියා. සාරි හැට්ටේට ලයිනින් සහ යට සායට යට රෙදි ගන්න. එතන පැල වෙලා ගියා සාරි මහන අක්කා හොයාගෙන . . එහෙම ගිහින් සති දෙකකින් පස්සේ ගිහින් සාරි හැට්ට දෙක ගෙනාවා. සාරියට ගමන් 4 ක් නාස්ති වුණා. මට වැඩ දැන් පිරිලා. ඉස්සර වැඩ නැති කාලේ ඔන්න ආසාවෙන් ඇඳගෙන ගිය සාරිය මහා කාලේ කන ඇඳුමක් කියල ටිකිරි මොලේට වැටහුණා.
ඒ මදිවට ඉවර වෙද්දී එක සාරියකට ගිය වියදම 10,000 පැනල.
ඊළඟට ඔන්න ඕවා මැෂින් දම්ම්මේ නැහැ නූල් ඇදෙයි කියල. අතේ හේදුවා. හෝදලා වේලුවා. රෙදි රැක් එකේ බිම ගෑවෙනවා . වේලා ගත්තා කොහොම හරි. රක් එකකට එක සාරියයි දාන්න පුළුවන්. ඊට පස්සේ මදින වැඩේ. මදින්න ටිකක් වෙලා ගියා. අඳින දවසේ කලින් රෑ රැලි ටික නවල තිබ්බා. ඒ නිසා පුරුද්දට විනාඩි කීපෙන් ඇඳගත්තා. ඉස්සර නම් පොඩි එකා නැහැනේ. මාල , වළලු දාගෙන ඔෆිස් එක ලඟින් බහිද්දී ලස්සනට තියෙනවා. එදා මම හිටපු නිසා පොඩි එකාට මගේ ඔඩොක්කුවේම යන්න ඕනේ කියල කසිලි දානවා. ඒ ගමන මාල වලට පොඩි එකාගේ මූණ සීරුණා. කමක් නැහැනේ. ඔන්න ගියා.
තඩි ශරීරෙනේ දැන් තියෙන්නේ.... ඉස්සර තිබ්බ හීනි ශරීරෙ නෙවේ . බඩ පිරෙන්න කාපු ගමන් හුස්ම ගන්න බැරි වෙනවා. කොහොම හරි ටිකක් කාල හිටියා. වොෂ් රූම් යද්දී රෙදි පටවල් උස්සන් හරිම පහසුවක් දැනුණා.
එදා ගෙදර එන ගමන්ම හමීඩියා එකට ගියා. ගත්තා අත්දිග හොඳ දිග කුර්තා කීපයක් සහ ලෙගින්. ගෙදර ගෙනාවා ඇන්දා. කිසි අපහසුවක් නැහැ. ඇඟේ අඟලක් වත් පෙනෙන්නත් නැහැ. සාරියකට දහ දාහයි ..ගමන් 4 යි වුනාට කුර්තා එකට එක ගමනයි. ටොප් බොටම් දෙකටම හය දාහක් වගේ ගියේ. ඉතින් ලාභ නැද්ද?
ගුරු වුර්තිය වගේ මනෝ උපදේශනයේ යෙදෙන අපත් Dress Code එක විනීතව පවත්වාගත යුතු බව අපගේ ආචාර ධර්ම සංග්‍රහයේ පැහැදිලිව සඳහන් වෙනවා. විනීතව අඳින්න නම් යාර 6 ක් පටලවාගෙන දවසම දහ දුක් විඳින්න ඕනෙමද? ගුරු වුර්තිය වගේ වුර්තියක යෙදෙන විට අනිවාරයෙන්ම ගෞරවනීය ලෙස අඳින පළඳින එක අවශ්‍යයි. ( මේ කියන්නනේ වුර්මුතියේ යෙදෙන වෙලාවේ මිස අනික් ගමන් වලට නෙවෙයි. අනික් ගමන් වලට ඕනෙම එකක් අඳින්න පුළුවන් ) එයට සාරියම අවශ්‍යය නැහැ. මම පහතින් දක්වලා තිබෙන අකාරයේ ඇඳුම් කොයි තරම් නම් ලස්සනද? පහසුද ? විනීතද? බඩ, පිටකොන්ද , පියයුරු පෙනෙන්නත් නැහැ. අපහසුත් නැහැ.
අනික අපේ රටේ ගුරු වරුන්ට ඉහල වැටුපක් රජයෙන් ගෙවන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට අද තියෙන ආර්තිකට ඔරොත්තු දෙන විදිහට Dress Code එකක් හදන්න බැරිද මේ රජයට? ගුරු වරු සාරිය වගේ කරදරකාර සංකීර්ණ ඇඳුමක් අඳින්න අනවශ්‍යය වෙහෙසක් ගනිද්දී, ඒ මානසික පීඩනය නිසාම ඉගැන්වීමේ කාර්යය නිසි ලෙස කරන්නට නොහැකි වෙනවා නේද?
ඒ වගේම ගැබිණි සමයේ වමනේ දදා සාරියක් ඇඳගෙන යාමේ අසීරුව දන්නේ ගැහැනියක් පමණයි.
ඒ නිසා මගේ මතය නම් අධ්‍යාපන අමාත්යංශය එකතු වෙලා ගුරුවරුන්ට Dress Code එකක් හදන්න ඕනේ. පහසු. මිලෙන් අඩු. වෙලාව වැය නොවෙන. අපේ රටේ අනගි භවනීය ගමනාගමන වල යන්න පහසු වෙන විදිහට.
ඒ වගේම සාරියම ඕනේ කියල කෑගහන ගුරුවරියන්ට එතුමියන් කැමති ලෙස එන්නට නිදහසක් දෙන්න ඕනේ. සාරිය හෝ අමාත්යංශය විසින් නියම කරන ඇඳුම දෙකම අඳින්න නිදහසක් තිබෙන්න ඕන.
සාරියම ඕනේ කියල බිරුසන් දෙන පිරිමි ටික ඉන්නවා නෙදා? උන්දලාට එක දවසක අර Pad Man වගේ දවසක් සාරියකින් සැරසිලා ඔවුන්ගේ සේවයට වාර්තා කරලා බලන්න කියන චැලේන්ජ් එක දෙන්න ඕනේ. සෝදන එක, මදින එක, වෙලන එක, හැට්ටය මැසීමට ගෙන යාම, යටසායේ සහ ලයිනින් වලට රෙදි ගන්න යාම වගේ හැම දෙයක්ම කරන්න දෙන්න ඕනේ. එහෙම දවසක් ඇඳලා වැඩට ගිහින් ඇවිත් මිස කට හෙලෙවුවොත් දඬුවම් දෙන්න ඕනේ. එතකොට තේරෙයි දෙවියනේ කියල. පියයුරු , බඩ , පිට බලන්න නොලැබෙන එකේ වේදනාවක් තිබෙනවා නම් ඔවුන්ට පුළුවන් පෝර්න් හබ් වගේ සයිට් එකකින් සියලුම අංග බලා කියා ගන්න. ඒ අවශ්‍යතාවයට ගුරුවරියන් පළි නැහැනේ.
සාරියම ඕනේ කියල මුරුගසන් දෙන භික්ෂුන් වහන්සේලාට කියන්නේ තියෙන්නේ මෙච්චරයි " අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවන් පිරිනිවන් පාද්දී කීවා නේද මාගමුන් හා කරන කටයුතු හැකි පමන සීමා කරලා නෛර්යානික සාසනේ පිළිවෙත් පුරන්න කියල? ආර්ය අශ්ටාන්ගික මාර්ගය ගැන අදහස් දැක්වීම පසෙක තියල ගැහැණුන්ගේ රෙදි වල දිග පළල තීරණය කරන්නටත් අයිතියක් ඇතියි සිතීමම හුදු විහිළුවක් විතරයි. ඔබවහන්සේලාට අදාලම නැති දේවල් වලට කට ගහල නිකන් විහිළුවක් වෙන්න එපා.
අවසාන වශයෙන් සාරිය/ ඔසරිය කියන්නේ ඉතා ලස්සන ඇඳුමක්. නමුත් ඒක අනිවාරයෙන් අඳින්න කියල නිති පනවන්න කාටවත් බැහැ. එහෙම කරනවා නම් එය මානව හිමිකම් උල්ලංඝනයක් වගේම මනුෂ්‍යත්වයට නිගාවක්.
ඒ වගේම ඊළඟ වෙනස දරුන්වගේ නිල ඇඳුමට එන්න ඕනේ. ඉක්මනට කුණු ගෑවෙන , භාවිතය අපහසු සුදු වෙනුවට කොළ පාට වගේ වෙනත් වර්ණයක් ( කොළ පාට මොලයට ඉතා ප්‍රිය නිසා සඳහන් කළේ ) නිර්දේශ වෙන්න ඕනේ. ඒ වගේම දරුවන්ට ක්‍රීඩා කරන්නට අපහසු ගවුම් නැතුව පහසු බොටම් එකක් සහ ටී ෂර්ට් එකක් වගේ ඇඳුමක් වෙන්න ඕනේ. ගොඩක් ගැහැණු ළමයි ගවුම උද යන නිසා ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වගේම ඔසප් වීම හැදෙන මුල් කාලේ රුධිර වහනය වැඩි නිසා සුදු ගවුමේ ගෑවුනහම දරුවෝ හරියට අපහසුවට ලක් වෙනවා. ටොයිලට් එකට ගිහින් හෝදගෙන ඇවිත් සීතලේ ඉගෙන ගනිද්දී විෂය කරුණු මොලේට යන්නේ නැහැ. අනික සමහර දරුවෝ බයට එදාට ස්කුල් එන්නෙත් නැහැ.
ලෝකය ඉස්සරහට යද්දී අපි හැමදාම ආපස්සට යනවා. මේ රටට සාධනීය වෙනසක් කරන්න බැරි මේ ආගමික අධිකාරිය සහ වික්සංටෝරියාගේ ස්කෘතික නායක පැලැන්තිය නිසාමයි. මේ රට මෙහෙම ඇවිත් මේ තත්වයට ඇවිත් තියෙද්දී අද වත් හැදෙන්න නම් අපේ යට මොලයක් නැහැ.
හැමදාම හන මිටියම කරේ ගහන් යනවා.