Saturday, November 23, 2024
Follow Us
කෙටි කතාව- නොකී කතාවක්

අනෝමා ආබාධිතයි.. උපන් දා ඉදන්ම ඒ එයාගෙ හැටි. සිරියාවතීට දූලාම දෙන්නයි.. මේ පොඩිම එකී.. දෙකකුල් ඇද පොඩි එකී දන්න කාලෙ ඉදන්ම හිටියෙ ග්‍රාම සංවර්ධන සමිතියෙන් දීපු රෝද පුටුවෙ.. කකුල් පණ තිබුනත් යන්න එන්න අපහසුයි.


ඒත් අනෝමා තමා සිරියාවතීගෙ ලස්සනම දුව..
" අනේ හරිම හැඩකාර කෙල්ල, කකුල් දෙක හොදට තිබුනා නම්,..."
ගම්මුන්ගේ මේ වචන වලට අනෝමාට පුංචි කාලෙ දුක හිතුනත් දැන් නම් ගාණක් නැ හැ . සමහර වෙලාවට අනෝමා ට හිනා..
රෝද පුටුවෙ ඉදන් අනෝමා නිකන් හිටියෙ
නැහැ .. සිරියාවතීට කියලා කෑලි රෙදි ගෙන්නන් මැහුම් ගෙතුම් කළා.. කඩයප්පන් වෙළදාමට අමතරව ඔවුන්ට මාසික ආදායමක් ලබන්න අනෝමා ගෙ මැහුම් ගෙතුම් හුගාක් උදව් වුනා.
උඩ ගෙදර යසාට ආපු දුරකථන ඇමතුමෙන් කතා කළේ සිරියාවතී ගෙ ලොකු කෙල්ල..
ඒ ආරංචිය ඇහුවම සිරියාවතී පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියා.. ලොකු කෙල්ල දීග ගිහින් හිටියෙ මිනුවන්ගොඩට. ඕන්න සිරියාවතී අත්තම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ. ඒත් ලොකු එකී ඊට පස්සෙ කියපු දෙයින් සිරියාවතී ගෙ හිත බිදුනා.
" අම්මේ පොඩ්ඩී ලොකු අම්මලගෙ ගෙදරට වත් ඇරලුවා නම් නරකද මන් මහ ගෙදර නවතින්න එන්න කලින්. ඔහොම අය මේ කාලෙට දකින්න හොද නැහැනෙ."
ලගක් හිටියා නම් සුධර්මා ගෙ කට කැඩෙන්න දෙන්න තරම් කේන්තියක් ආවත් ඒකි ඉන්න තත්ත්වෙ හැටියට සිරියාවතී මුකුත් කීවෙ නැ හැ
.
මේක පොඩ්ඩිට කියලා ඒකිගෙ හිත තලන්න සිරියාවතීට ඕන උනේ නැහැ ..
සිරියාවතීගෙ ලොකු අක්කා බිසෝ තට්ට තනියම ඉන්නෙ එහා ගමේ. බිසෝගෙ දවල් දවස ගෙවෙන්නෙ තේ කෑල්ලෙ. බිසෝට හිටිය එකම පුතා බින්න විවාහය ක් කරන් අනුරාධපුරයෙම පදිංච් වෙලා.
බිසෝ අනෝමාට හරි ආදරෙයි .
බිසෝට ඇත්ත විස්තරේ කීවෙ සිරියාවතී ගෙදට්ටම ගිහින්.
" පොඩි කෙලී මන් හෙටම මෙහේ එක්කන් එන්න නංගිලගෙ දිහා එන්නම්කෝ නංගියෙ..මන් කියන්නම් මට පාලුයි ටික දවසකට ඇවිත් ඉදපන් දුවේ කියලා"...
" කෙල්ල කීවොත් මාව දාලා එන්න බැහැ කියලා අක්කෙ".?........
සිරියාවතී ඇහුවෙ බිදුනු හඩින්.
"මන් ඒක කරන්නම්කෝ.. අතුලගෙ ත්‍රීවීල් එකේම රෝද පුටුවත් අකුලල ගෙන්න ගන්න
පුලුවන්නේ "
අනෝමා ටික දවසකට හරි ගෙදරින් යන එක සිරියාවතී ට නම් දරා ගන්න අමාරුයි .හරියට තමන්ගෙ ඇගෙන් කොටසක් ගලවන් යනවා වගේ. ඒ තරම් පොඩ්ඩි ජීවිතයට බද්ධ වෙලා ඉවරයි .
බිසෝ ඊට පහුදාම ඇවිත් බොරු ගොඩක් කියලා අනෝමා ව ගෙදරින් එක්ක යද්දි සිරියාවතී හැඩුම
මැඩලගෙන කදුලු තද කරන් හිටියත් ඒකි ගියාට පස්සෙ ඇඩුවෙ මී දෙනක් වගේ.. මේ විදියට සිරියාවතී ඇඩුවා නම් ඇඩුවෙ සියාතු මැරුණු දවසෙ. ලොකු කෙලී ඒ වෙද්දිත් අනුර එක්ක පළහිලව්ව.
" අඩන්න එපා අම්මෙ. අම්මට මන් ඉන්නවනෙ"
ඒ වෙද්දී යන්තම් අවුරුදු දහයක් වෙච්චි අනෝමා තමන්ගෙ තුරුළ ඉදන් කොදුරණවා සිරියාවතී ට තාමත් ඇහෙනවා වගේ.
" කකුල් බැරි උනාට හරිම උත්සාහවන්ත එකී..
මැහුමක් කළොත් ආයෙ කියන්න දෙයක්
නැහැ . රෝද පුටුවෙ ඇදි ඇදි ගිහින් මට බැරි වෙලාවට හරි එළවළුවක් මාලුවක් ඉව්වොත් ඒක අමෘත රහයි. වාසනාවන්ත කෙල්ල. මන් නැතිව සාංකාවෙ
වත් ද?"..................
සිරියාවතී තනිවම හිතුවා. "ලොකු කෙල්ල එන්නෙ අනිද්දා ට. ඊට කලින් ගිහින් පොඩ්ඩිව බලලා එන්නෝන".......
තැපල් පියුම් බෙල් කරන සද්දෙට සිරියාවතී දුවන් ගියේ ලියුම ලොක්කීගෙන් වත්ද කියලා. එහෙම වෙලා ලොක්කී එන්න තව පහු වෙනවා නම් පොඩ්ඩි ගෙදර එක්කන් එනවා ආපහු. පොඩ්ඩි නැතිව මේ ගෙයි වසන්න මට නම් බැහැ .සිරියාවතී ලියුම කඩලා බැ ලුවා.
පුරුදු අත් අකුරු !.............
ආදරණීය අම්මේ,
අම්මා සුවෙන් ඇති යයි සිතමි
අක්කා දරුවා ලැබීමට ආසන්න නිසා මහ ගෙදරට පැමිණීමත් ලොකු අම්මා විසින් මා මෙහි කැටුව ඒමත් අතර සහ සම්බන්ධය මම තේරුම් ගතිමි.
දරුවන් ලැබීමට සිටින සමහර මවුවරුන් අප වැන්නන් ඇස ගැටීමට අකැමැති නිසා මට මේ ගමන එන්නට සිදු වූ බව පසුව තේරුම් ගතිමි. එය ගැන අක්කා සමග මගේ අමනාපයක් නොමැත .
අම්මාත් ලොකු අම්මාත් ඒ බව මගෙන් වසන් කිරීමට උත්සාහ ගත්තේ මට දුක සිතෙන නිසා බවද දනිමි.
මන් අක්කාට දරුවා ලැබුණු පසු
අක්කා හා දරුවා අම්මා ලග සිටිනා තාක් කල් ලොකු අම්මාගේ ගෙදරට වෙලා සිටින්නම්.
ලොකු අම්මාත් අම්මා මෙන් මට හුගාක් ආදරෙයි.
අක්කාට නිදුක් නීරෝගී දරු.උපතක් සිදු වේවා!
සැමට තෙරුවන් සරණයි!
පොඩ්ඩී
සිරියාවතීගේ වෙව්ලන ඇඟිලි තුඩු අතරට හිර වුන ලියුම ඇයගේ කොපුල් අරා වැටි උණු කදුළු බිදු වැටී බොද විය..

Madumi Sirinanda