Saturday, September 21, 2024
Follow Us
ඩොක්ටර් ෆිට් එක හැදිලා බබෙක් එක්කන් ආවා

වෝඩ් එකෙන් කෝල් එකක්.


තවම ෆිට් එක තියෙනවා ද? දැන් හරි ගිහින් ද?
ඒහෙම අහන්නේ ෆිට් එක එහෙම නැත්නම් උන වලිප්පුව හැදිලා එන බබාලා ගොඩක් අයට රෝහලට එනකොට ෆිට් එක නැවතිලා තියෙන නිසා.
නැ ඩොක්ටර් තවම තියෙනවා කියන උත්තරේ ලැබුන නිසා ඉක්මනට ආවා.
බබාට මාස 10 ක්...
මම එනකොටත් ෆිට් එක තියෙනවා වෝඩ් එකෙ මිස්ලා කල යුතු දේවල් ටික කරනවා..
බබා පැත්තට හරවලා තියලා, සෙම ඉවත් කරලා, ඔක්සිජන් දාලා බබාව තෙත රෙදි කැල්ලකින් තෙමනවා.
බබාගේ අම්මා බබත් අරගෙන තනියට ආපු තවත් කෙනෙක් ලඟට වෙලා අඬනවා..
මිස් RBS එකකුත් බලන්න මම කිව්වෙ බබාව බලන ගමන්...
ගෙදර ඉඳන් ම ෆිට් එක තිබුනු නිසා විනාඩි දහයක් විතර වෙන නිසාත් බෙහෙතක් විදින්න ලෑස්ති කරන්න කියන කොටත් මිස් ලා කැනියුලා එකක් දාලා ඉවරයි..
හැබැයි එතකොටම ෆිට් එක නැවතුනා.. බෙහෙත් විදින්න ඕනේ උනේ නැ.
මම වාඩි වෙලා ඇඩ්මිශන් එක ලියන කොට ටිකකින් ආයෙත් බබාට ෆිට් එක හැදෙන්න ගත්තා..
ඒ පාර Midazolam විදලා විනාඩියක් විතර යනකොට ෆිට් එක නතර උනා...
දැන් ඊලඟ ප්‍රශ්නය..
බබාව මූලික රෝහලට හරි මහ රෝහලට හරි යවන්න ඕනේ.
ඒත් අපේ ඇම්බියුලන්ස් එක නැ කැඩිලා හදන්න දාලා...
වටේ රෝහල් වලට කතා කරාම ලඟපාත කිසිම රෝහලක ඇම්බියුලන්ස් එකක් නැ ඒක්කො කැඩිලා එක්කො තෙල් නැ එක්කො ලෙඩෙක් අරන් ගිහින්..
අසරන වෙලා අපි...
අන්‍තිමට ටිකක් දුර රක්වාන රොහලේ ඇම්බියුලන්ස් එක එවන්නම් කිව්වා හැබැයි එයාලගේ රෝහලේ ලෙඩ්ඩු දෙන්නෙකුත් දාල එවන්නේ කියලත් කිව්වා. වෙන විසඳුමක් නැති නිසා ඒකට එකඟ උනා..
ඒ අතරේ බබාගේ අම්මා එහෙ මෙහෙ දුව දුව වාහන හොයනවා බබාව ගෙනියන්න.
ඒත් ඔක්සිජන් එහෙම දාලා තියෙන නිසාත් බෙහෙත් විදපු නිසාත් ඒ විදියට පුද්ගලික වාහනයක ගෙනියන එක අවදානම් බව පැහැදිලි කරලා දුන්නා.. කොහොම උනත් එයාලටත් වාහනයක් හොයාගන්න බැරි උනා.
රක්වාන ඇම්බියුලන්ස් එක එනතුරු බලාගෙන ඉද්දි විනාඩි 15 විතර ගිහින් බබාට ආපහු ෆිට් එක හැදෙන්න ගත්තා...
ආපහු Midazolam දෙවෙනි මාත්‍රාවත් දුන්නා.. නමුත් ෆිට් එක නවතින්නේ නැ..
දෙන්න වෙන බෙහෙතක් අපිට තිබුනෙත් නැ..
දැන් රක්වාන ඇම්බියුලන්ස් එක ආවත් බබාව යවන්න බෑ ෆිට් එක එන නිසා ඔක්සිජන් දාගෙන මමත් මිස් කෙනෙකුත් යන්න වෙන නිසා එහෙ ලෙඩ්ඩු දෙන්නෙකුත් ඉන්න නිසා ඉඩ මදි වෙනවා..
බබාගෙ අම්මා අඬනවා. අනේ ඩොක්ට මොනවා හරි කරන්න ඉක්මනට... මගේ බබා බේරලා දෙන්න...
ඒ ආයාචනය අහගෙන ඉන්න අමාරුයි..
පිලිතුරු නැති ප්‍රශ්න ගොඩක් එක්ක අපි හැමෝම අසරන වෙලා...
කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැ එක දෙයක් හැර... ඒත් ඒක බැරැරුම් තීරණයක්..
බබාගේ අම්මා ආයෙත් අඬ අඬා අනේ මොනවා හරි කරන්න ඉක්මනට කියලා ඉල්ලනවා මගෙන්...
කරන්න තියෙන එකම දේ කරන්න මම තීරණය කලා...
කෝසලා මිස් අපි බබාව අරගෙන යමුද ඇඹිලිපිටිය ට මගේ කාර් එකේ? ඒක විතරයි දැන් කරන්න තියෙන්නෙ අපිට.
මිස් කැමති උනා අනේ ඔව් ඩොක්ටර් මෙහෙම බලාගෙන ඉන්න බැ කියලා..
එතන හිටපු සුලු සේවිකාව සමන්තිත් අනේ යමු සර් කියලා එකඟ උනා...
ඉක්මනින් ඔක්සිජන් සිලින්ඩරයත් සමග කාර් එකට බබාව අරගෙන කෝසලා මිසුයි සමන්තියි නැග්ගා..
බබාගේ අම්මා එක පාරට නැමිලා මගේ කකුල් දෙක අල්ලලා වැන්දා අඬ අඬා අනේ පින් සිද්ද වෙනවා ඩොක්ටර්.. කියාගෙන...
මම ඉක්මනට අහක බලාගෙන ගිහින් කාර් එකට නැග්ගේ මගේ ඇස් වලටත් කඳුලු එන්න හදපු නිසා...
අතරමගදි බබාගේ ෆිට් එක නැවතුනා...
කලබල අස්සේ බබාගේ අම්මව දාගෙන එන්න අමතක උනා...
විනාඩි විස්සෙන් ඇඹිලිපිටියේ ලමා වාට්ටුවට බබාව හොඳින් අරන් ඇවිත් බාර දෙන්න පුලුවන් උනා..
ඒ කරපු දේ ආයතන සංග්‍රහයට අනුකූල ද නම් හරියටම දන්නේ නැති උනත් හෘද සාක්ශියට හරියටම අනුකූල බව නම් මම දන්නවා....
මනොජ් කුමාර