Wednesday, May 01, 2024
Follow Us
අපර්නා සෙන්ට

1945 ඔක්තොම්බර් 25 ඉපදුන අපර්නා සෙන්ට වයස අවුරුදු 77ක් අදට.වයසට යෑම පිළිබඳව දැනෙන කම්පාව වෙනුවට අපර්ණා වගේ ගැහැණියක් දිහා බැලුවම පේන්න ගන්නවා හරිම සෞන්දර්යාත්මක චාරිකාවක් යන ප්‍රීතිමත් ජීවිතයක්.මිනිස්සු වයසට යනව නම් වයසට යා යුතු අන්න ඒ වගේ කියලා හිතෙන්න ගන්නවා.


බෙංගාලි සිනමා නිලියක් ලෙස වයස අවුරුදු 16 දී සිනමාවට පිවිසි ඇයගෙ ප්‍රථම සිනමාපටය සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද Teen Kanya(1961) චිත්‍රපටය.චිත්‍රපට නිලියක් ලෙස සිනමාවට පිලිපන් ඇය අද වනවිට ඉන්දියාවෙ සිටින විශිෂ්ටතම චිත්‍රපටි අධ්‍යක්ෂකවරියක්.
ලංකාවේ බොහෝ දෙනා ඇගේ Mr. and Mrs. Iyer,The Japanese Wife යන චිත්‍රපට ද්විත්වය ගැන දන්නවා.ඈ අධ්‍යක්ෂණය සහ තිර රචනය කරන ලද පලවෙනි සිනමා නිර්මාණය වන්නෙ 36 Chowringhee Lane.ඒ 1981 වර්ෂයේ දි.ප්‍රථම චිත්‍රපටයෙන්ම ඇය හොඳම අධ්‍යක්ෂණය සඳහා වන ජාතික සම්මානය ලබා ගන්නවා . දශක හතරක් තුල ඈ විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට ප්‍රමාණය 16ක්.(2021 දක්වා )
Paroma, Sati, Yugant, Paromitar Ek Din, Mr. and Mrs. Iyer, 15 Park Avenue, Ghawre Bairey Aaj,
The Japanese Wife, Iti Mrinalini,Sonata , Goynar Baksho ආදි ඈ නිර්මාණය කරනලද චිත්‍රපටි දිහා සියුම්ව බලද්දි පේනවා ඇගේ නිර්මාණාත්මක වෙහෙස, මානවවාදි බව,විරල කාව්‍යමය රූප ,දෙබස් සහ විවිධ තේමා හරහා ප්‍රේක්ෂකයාට ලබාදෙන විවිධත්වය .ඈ 2021 දී නිර්මාණය කල චිත්‍රපටය The Rapist.ඒ වගේම තවමත් සිනමාව තුල සක්‍රීයව ඇය වැඩකරමින් ඉන්නෙ .
පර්යේෂණාත්මක සිනමාවට එතරම් ප්‍රිය නොකරන අපර්ණා ඇයගේ කලාත්මක මානයන්ට, දැක්මට අනුකූලව සිනමා නිර්මාණ කරන්නියක්.ඒ වගේම ඇය නිර්මාණ හරහා සමාජ පණිවිඩ ලබා දීමට උත්සහ නොකරන අතර මිනිසුන් තුල ඇති සංකිර්ණ මිනිස් ගති ස්වභාවයන් විනිශ්චය කිරීම් වලින් තොරව නිරූපණය කිරීමට උත්සහ දරනවා.අපර්ණා තමාව කතාන්දර කියන්නියක් ලෙස හඳුන්වා දීමට වැඩි කැමැත්තක් දක්වනවා .
ඒ වගේම ඈ මෙහෙම කියනවා.
"පිරිමියෙකුට, පිරිමි නිෂ්පාදකයෙක් ලඟට ගිහින් 'අපි බියර් එකක් බොන ගමන් කතාකරමු කියලා' ගිවිසුමක් ඇති කර ගන්න පුලුවන් හැබැයි ගැහැනියක් එහෙම කළොත් ඒක ලිංගික දියුණුවක් විදියට ගන්නවා. හැබැයි තමන්ගෙ රැකියාව ගැන හොඳින් දන්නවා නම්, කර්මාන්තයේ නියැලෙන කාන්තාවක් කිසිවකුට සුළුවෙන් තකන්න බැහැ. මම චිත්‍රපට හදන්න එද්දි දන්නෙ නෑ කුමන කාචයක් භාවිතා කළ යුතුද යන්නවත්.මම දැනන් සිටියේ මට අවශ්‍ය පින්තූරය පමණයි.මම කැමරා ශිල්පියාගෙන් ඉල්ලා සිටියා නොදන්නා දේ කියාදෙන ලෙස.මම ශිෂ්‍යයෙකු ලෙසයි අභියෝගයට ප්‍රවේශ වුනේ . මම කැමරා ශිල්පියාගේ උදව් අරගෙන මගේ මාර්ගය ඉගෙන ගත්තා"
සුබ උපන්දිනයක් අපර්ණා සෙන් !
? ?️?
**
පලවෙනි පින්තූරයේ අපර්ණා සෙන් සහ රංගන ශිල්පිනී ශබානා අස්මි. Sathi ( 1989)චිත්‍රපටය රූගත කරද්දි.
දෙවන පින්තූරයේ අපර්ණා සෙන් සමග චිත්‍රපටි අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජ සහ A.D රංජිත් කුමාර