Saturday, April 27, 2024
Follow Us
රාජිණීට ගෞරවයෙනි.

හරියටම අදට රාජිණී ඝාතනය කොට වසර තිස් තුනකි. (1989 - 2022)


මගේ ජීවිත කාලය තුල දුටු ප්‍රමුඛ ගනයේ මානව හිත වාදිනියක ලෙස ඇගේ මතකය ඉවත් නොවේ.
මෙහි සඳහන් සටහන් ඒ අතීත මතකය පිළිබඳ මා මතකයෙන් ලියූවකි. ඒ කාලයේ සටහන් ලිවීම තියා දේශපාල පොතපත ද තහනම් වූ යුගයකි.
කොටස් තුනකින් ලියන ලද " රාජිණී ගේ අවමගුලට යාම" පිළිබඳ සටහන් දිග වැඩි නිසා කොටස් ලෙස ඉදිරිපත් කිරීමට ඔබේ අවසරය දෙන්න.
මේ තිරශ්චීන ඝාතනය පිළිබඳව ඇගේ ස්වාමි පුරුෂයා වූ දයාපාල කී වදනක් අදත් මගේ සවන් තුල දෝංකාර දෙයි.
" අනුරාධපුර පූජා භූමියේ සිටී සාමාන්‍ය ජනතාවට එල්.ටී.ටී.ඊ. යෙන් එල්ල වූ ප්‍රහාරය ආරංචි වූ වහාම , එවකට එංගලන්තයේ සිය උසස් අධ්‍යාපන කටයුතුවල නියුක්තව සිටී, රාජිණී කොටි සංවිධානයේ එකී කටයුත්තට විරුද්ධව ' ප්‍රභාකරන්' ට දුර කථනයෙන් කතා කරල දරුණු ලෙස චෝදනා කලා. එදා තමයි ඇගේ මරණ සහතිකය ලියන්නට ප්‍රභාකරන් තීරණය කලේ"
කොටි සංවිධානය ඒ තරම් තිරස්චීන සංවිධානයකි.
රාජිණී තිරාණගමගේ ගේ මරණය හා යාපනය ගමන 1.
===============================
1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග මුළු රටම ගිණි ජාලාවක් බවට පත්විය.
ඒ වනවිට දයාන් ජයතිලක නායකත්වය දැරූ " විකල්ප" කණ්ඩායමේ රහස් ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටියෙමි.
ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුවේ "ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත" යටතේ විකල්ප කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කොට එහි ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීමට නියෝග කොට තිබුණි.
එසේම රටතුල පැන නැගී තිබුණු උණුසුම් වතාවරනය තුල ඉතා රහසින් වැඩ කරන්නට සිදුවූයේ එකල ජ.වි.පෙ. මරණීය තර්ජන ද එල්ලව තිබූ බැවිනි.
මගේ නිවස භාවිතා කලේ ආරක්ෂක මධ්‍යස්ථානයක් හැටියටය.ඊට හේතුවූයේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකු ලෙස පෙනී සිටී සිටීමින් යම් සැකයක් ඇති නොවන ලෙස වැඩ කිරීමට තිබූ රැකවරණයයි.
විකල්ප කණ්ඩායමේ දේශපාලන උපාය මාර්ගය වූයේ " නාගරික ගරිල්ලා විප්ලවයයි"
මේ කාලය වන විට විකල්ප කණ්ඩායමේ දෙවැන්නා ලෙස සිටී" දයාපාල තිරාණගම" ආරක්ෂා සහිතව සිටියේ මහරගම, විවේකාරාම පාරේ, මගේ නිවසේය.
යාපනය සරසවියේ කථිකාචාර්‍ය වරයෙක් ලෙස සේවයේ යෙදෙමින් සිටියදී, ඔහුගේ දේශපාලන කටයුතු සඳහා රැකියාව අත් හැර දමා විවිධ ප්‍රදේශවල සැඟවී කටයුතු කිරීමට ඔහු පෙළඹී සිටියේය.
මගේ මතකය නිවැරදි නම් අසූ නවයේ සැප්තැම්බර් මාසයේ මා ගාල්ලේ පන්ති නිමවා ( එදා දයාපාල සිටියේ රත්මලාන ප්‍රදේශයේ නිවසකය)එන ගමන් දයාපාල බැලීමට ගියෙමි.ඒ වනවිට මගේ නිවසින් (යම් යම් කටයුතු සඳහා) ඔහු බැහැරව ගියද ඔහු ගැන සොයා බැලීම වගකීමක් ලෙස සිතා කටයුතු කලෙමි.
එදා සවස ඔහු මුණ ගැසීමට ගිය වෙලාවේ දැන ගත් ආරංචියෙන් අපි කම්පා වුනෙමු. ඒ වන විටත් කීප දෙනෙක් ඒ නිවස කරා පැමිණ සිටියහ.
" චූලා, රාජිණීට වෙඩි තියල" ඔහු වෙවිලන හඬින් මිමිණුවේය.
ඔහු අපේ නිවසේ සිටියදී කීප වතාවක් හැම බාධකයක්ම ජයගෙන රාජිණී දයාපාල බැලීමට ආවාය.වරක් දියණියන් වූ නර්මදා සහ ශාරිකා කැටුවද පැමිණියාය.
( මෙහිදී සිදුවූ විශේෂ සිද්දියක් මගේ මතකයට නැගේ. නර්මදා සහ ශාරිකා අප නිවසේ සිටියදී අපේ පුතාත්, දුවත් සමග එළියේ සෙල්ලම් කරමින් සිටියදී අහසේ ගුවන් යානයක් ශබ්ද නගා ගමන් කරමින් තිබුණි.මේ හඬ ඇසුනු අර දරුවන් දෙන්නා බියෙන් තැතිගෙන " ආමි නායි, ආමි නායි" කියමින් ගේ ඇතුලට දිව ආහ.අපේ දරුවන්ට මෙය ප්‍රහේලිකාවක් විය. මේ කුඩා දරුවන් දෙන්නා යාපනයේදී ගුවනින් බෝම්බ දමන නිසා, ගුවන් යානයක් දුටුවිට එයට බියවී ආමි බල්ලෝ, ආමි බල්ලෝ කීම යාපනයට ආවේනික දෙයක් යැයි රාජිණී මට කීවාය. හරි වරද කුමක් වුවත් ‍යාපනයේ කුඩා ලමයින් ඒ කාලයේ ජිවත් වන්නට ඇත්තේ මේ මානසික පසුබිම තුලය.)
ඇගේ මරණය අප දැඩි ලෙස වික්ෂිප්ත භාවයට පත්කලේ දයාපාල යාපනයට යන්නේ කෙසේදැයි ප්‍රශ්නයත් සමගය.ඒ වන විටත් ඔහු යාපනය කරා කැඳවා ගෙන යාමට වැඩ පිලිවෙලක් සාකච්ඡා වෙමින් තිබුණි.
නිසැකවම මා යාපනයට යාමට සූදානම් බව දන්නා දයාපාල" මම ගියාට පස්සෙ ඔයාල එන්න" කීවේ ඔහු එදා රෑම පිටත්වීමට සූදානම්ව සිටී නිසාය. අප ඊට සුදානම් බව ඔහුට දැනුණ නිසාය.
ඒ වනවිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කල අමුම අමු ද්‍රවිඩ චරිතයක් වූ "කුගනාදන්" නමින් අප හඳුනාගෙන සිටී පුද්ගලයා අපේ යාපනය ගමන සංවිධානය කරනු ඇතැයි දයාපාල දැන්වීය.
"කුගනාදන්" මීට කලින් දෙහිවල ඕඩ්‍රී ගේ නිවසේදී රහසේ මට හමුවී තිබුණි.( ඉතා නිහඬ සේවයක් කල ඕඩ්‍රී දැනට කාලයකට පෙර මිය ගියාය.)
මමත්, රංජිත් පිංතු ත් යාපනය ගමනට "කුගන්" හමුවීමු.
ඔහු දුන් දිනයේදී උදේ පාන්දර කොටුවේ දුම්‍ රිය පොල ඉදිරිපිට දී හමුවී,යාපනය බලා යන බසයට ගොඩවීමු.
බසයේ රියැදුරුට ඔහු කීවේ නල්ලූර් කෝවිල අසලින් අප දෙදෙනා සුරක්ෂිතව බස්සන ලෙසයි.ඒ සැණින් ඔහු නොපෙනී ගියේය.
බසය යාපනයට යන මගීන් ගෙන් පිරී පැවතුණි.
අපට සිදුවූයේ හිටගෙන යාමටයි.වාඩිවීමට කිසිදු අවස්ථාවක් ලබාගත නොහැකි විය.
යාපනයටම හිටගෙන යන්නේ කොහොමද?
මට මගේ දඩබ්බරකාරී ගතිය මතුවනු දැනින.
මම පිංතුට කීවේ මෙහෙම නම් කොහොමත් යන්න බැහැ. අපි කොටුවේ බස් නැවතුම් පොලට ගිහින් බලමු.
පිංතු එයට එකඟ නොවීය. හේතුව අපේ ආරක්ෂාව ගැන වගකියන්නේ කව්ද?
මගේ දැඩි තීරණයට එකඟ වන්නට ඔහුට සිදුවිය.එම බස් රථයෙන් බැසගත් අපි පිටකොටුවේ බස් නැවතුම් පොලට ගියෙමු. පිටකොටුව බස් නැවතුමෙන් යාපනයට බස් ධාවනය නොවුනු කාලයයකි මේ.
අපි අනුරාධපුරයට යන්නට තීරණය කොට බස් රථයකට ගොඩ වීමු.
ගමනේ අවධානම ගැන චකිතයක් තිබුණත් ඒ චකිතයේ අශ්වාදය විඳින්නට මම කැමැත්තෙන් සිටියෙමි.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බසයකින් අනුරාධපුරයට ලඟාවීමු.
එහි සිට යාපනයට යන්නට ක්‍රමයක් ඇත්දැයි විපරම් කිරීමේදී දැන ගැනීමට ලැබුණේ කෙලින්ම යාපනයට යාමට පහසුකම් නැතිවුවත්, වව්නියාවට ගොස් එහි සිට යාපනයට ගමන් කල හැකිවනු ඇති බවයි.
ටික වේලාවකින් වව්නියාව බලා යන බස් රථයකින් එහි යාමට පිටත් වූ අපට සෑහෙන වේලවක් ගතකොට වව්නියාව නගරයට ලඟා වීමට හැකිවිය.වව්නියාව නගරය එදා මහත් කලබල කාරී ස්වරූපයක් ඉසිලීය.
ඊට හේතුවූයේ ප්ලොට් සංවිධානයේ මෙහයවීමෙන් හර්තාලයක් පැවතීමයි.
සැබැවින්ම අපට එය අමුතු අත්දැකීමක් විය.
පරසරයද මුළු මනින්න ආගන්තුක වීය.ඒ වනවිට මුළු උතුරු පලාතේම හමුදා මෙහෙයුම් කලේ ඉන්දියානු හමුදාවයි. හර්තාලය කුමක් සඳහා දැයි සොයා බැලීමේදී ඉන්දියානු හමුදාවෙ නියෝගයකට විරුද්ධව යැයි ආරංචි වුනත්, ඒ වන විට ඉන්දියානු හමුදාව සමග සහයෝගයෙන් වැඩ කිරීමට ප්ලොට් සංවිධානය එකඟ වී තිබීම නිසා එය දකුණේ රජයට විරුද්ධ හර්තාලයක් යැයි අපට අවබෝධ විය.
වව්නියාවේ සිංහල නාම පුවරු කීපයක් දක්නට තිබුණි. එහි සෑහෙන සිංහල ජනතාවක් පදිංචිව සිටියහ. ඉන්දියානු හමුදාවේ පණිවුඩද සිංහලෙන් ප්‍රසිද්ධ කොට තිබෙනු දුටුවෙමු.හර්තාලය නිසා සියළු ගමනා ගමන පහසුකම් ඇණ හිට තිබුණි.අප මුහුණ දුන්නේ බලාපොරොත්තු නොවූ ගැටළුවකටය.
යාපනයට යාමට කිසිදු මගක් නොවීය. කිසිවෙකුගෙන් සහයෝගී උත්ත‍රයක් ලබා ගත නොහැකි විය.කාලයද සෙමින් සෙමින් ගෙවී යයි. මා සිතන්නේ ඒ වන විටත් මද්දහන පසු වෙමින් තිබුණි.
තොරතුරක් ලබා ගත හැකි හැම පැත්තකින්ම යාපනයට ලඟාවීමට ක්‍රමයක් සොයමින් සිටියෙමු. ඒ කාලයේ දැන් වාගේ මොබයිල් ෆෝන් භාවිතයක් තිබුණේ නැත.
හර්තාලයේ කලබල කාරී බවත්, දැඩි උණුසුමත්, චකිතයත් නිසා අපි දෙදෙනා වෙහෙසට පත්වී සිටියෙමු.
මා පිංතුට යෝජනා කලේ මොන මගුල වුනත් දැන් ඊට මුහුණ දිය යුතුය. මේ නිසා කවර තත්වයක් ඇතිවේදැයි හිතා ගන්නටවත් බැරි නිසා විවෘතව තිබූ මත්පැන් හලකට ගොස් මා ප්‍රිය කරන වර්ගයේ " මෙන්ඩිස් ස්පෙෂල්" බෝතලයක් ගැනීමට තිරණය කලෙමි.
මා පින්තුට කීවේ " මොකක් හරි අප්සෙට් එකක් වුනොත් මේක ගහල එන විධියට මුහුණ දෙමු" යනුවෙනි.
ඊට පූර්ණ අනුමැතිය ලැබුණි. බෝතලය " හැවල් සැක්" එකේ දමාගෙන අවදානමකින් තොරව යාපනයට යන්නට තිබෙන ක්‍රමයක් සොයා සැරි සරන්නට වීමු.
( රසවත්ම හා උණුසුම්ම කොටස තව දින කීපයකින්)