Saturday, November 23, 2024
Follow Us
අවුකනයා

එයාට බබා හම්බවෙන්න ආවම එයලගෙ අම්මත් ඇවිත් ගෙදර නැවතුණා.එයා කබීර්ට ආදරේ කළා.ඒත් අවුකනයට කැමති වුණේම නෑ.


කබීර් කියන්නෙ වංශවත් බල්ලෙක්..ඒත් අවුකනයා කියන්නෙ මම යාලුවො එක්ක ට්‍රිප් එකක් ගිය වෙලාවක අවුකන පන්සල කිට්ටුව පාරක ඉඳලා අරන් ආව බල්ලෙක්. අවුකනින් ගෙනාව හින්දා ගේනකොටම කොල්ලො ඌට නම දාලා ඉවරයි.අවුකනයෝ කිව්වම ප්‍රතිචාර දක්වන්න ඌ පුරුදු වුනේ එදාමයි.
කබීර්ට තිබුණෙ චූටි කටක් වුනාට කබීර් හරි සද්දෙන් බිරුවා.කතා කරනවා වගේ කෑගහන කියවන එක කබීර්ගෙ පුරුද්දක්.අවුකනයට තිබ්බෙ ලොකු කටක්.ඒත් ඌ කිසිම දවසක ඒ කටින් කිසිම සද්දයක් කරලා නෑ.මොකද එයාට සද්ද කරන්න බෑ.එයා ගොලු බල්ලෙක්..ඔව්..අවුකනයා ගොලුවා.
ගොලු බල්ලෙක් ගැන කවදාකවත් අහලවත් තිබ්බෙ නැති මම අවුකනයට වැඩියෙන් ආදරේ කළේ ඌ ගොලු හින්දමයි.මොනවහරි දෙයක් කියන්න අඟවන්න ඕන වුණාම කෙලින්ම මූන දිහා බලන් ඉන්න අවුකනයගෙ ඇස්වල වචන තිබුණා.අදහස් ,උදහස් ,ආයාචනා වගේම සෑහෙන දිග කතාන්දරත් තිබුණා.
ඉස්සර නම් අවුකනයයි කබීරුයි දෙන්නම ගේ ඇතුලෙ හිටියා. මාත් එක්ක ස්කූටරේ රවුමක් දෙකක් ගියා. අවුකනයා තමයි ස්කූටරේ ගමන් යන්න කැමතිම හාදයා.
ඒත් එයා ආවට පස්සෙ මම නැති වෙලාවට අවුකනයට වෙනස් කම් වෙන බව අම්මා මට කියලයි තිබුණෙ. අපේ අම්මා සැරින් සැරේ අක්කලාගෙ ගෙදර යනවා.මගේ ගෙදර එනවා.එහෙම නැතුව අම්මා මගේ ගෙදරම හිටියනම් සමහර විට මෙහෙම වෙන එකක් නෑ.මොකද අම්මා කබීර්ටයි අවුකනයටයි වෙනසක් නෑ.
එයාගෙ හිත රිදවන්න අකමැති හින්දා වගේම අවුකනයා ගැනත් මට දුක හින්දා මම ගෙදර ඉන්න වෙලාවට කබීර්ට වඩා අවුකනයට ටිකක් වැඩිපුර සැලකුවා.එයා ඒකට හිනාවුණා.
"ගොලු බලු ඕනර්" එයා එහෙම කියලා හිනාවුණා.මම ඒක ගණන් ගත්තෙ නෑ.
එක දවසක් කබීර්ව අරන් එයයි මමයි පශුවෛද්‍ය කාර්‍යාලෙට ගිය අතරෙ අපේ ගෙට හොරු පැනලා තිබුණා.එයාගෙ රත්තරං බඩු හොරකම් කරලා තිබුණා.එයාටත් වඩා ඒ ගැන දුක්වුනේ එයාලගෙ අම්මා.ඒ වෙලාවෙ අවුකනයා ඉස්සරහ ගෙදරට ගිහිල්ලා දොරකඩට වෙලා බලාගෙන හිටියා කියලා ඒ අය කිව්වා.
අවුකනයා එහෙමයි.දෙයක් කියන්න ඕන වුනාම මූණ දිහාම බලාගෙන ඉන්නවා.ඒත් ඌට අඩුම ගානේ "කූක්" ගාන්න වත් බෑ.
"ඇවිල්ලා මූණ දිහා බලන් හිටියට අපි දන්නවයැ.හයියෙන් බිරුවනම් වත් බලන්න තිබ්බා."
ඉස්සරහ ගෙදර අය කියපු ඔය කතාව එයා නිතරම කියන්න ගත්තා.ඊට පස්සෙ අවුකනයට කෑම බීමත් අඩු වෙන බව අපේ අම්මට තේරිලා තිබුණා.
ඒ අතරෙ තමයි එයාට බබා හම්බවෙන්න ආවෙ.එයාලගෙ අම්මත් ඇවිත් නැවතුණා.අවුකනයා කන්න ඕන වුණත් බොන්න ඕන වුණත් වෙන මොනව කියන්න ඕන වුණත් ඇවිල්ලා මූණ දිහා බලන් ඉන්න එක එයාට මහා අප්පිරියාවක් කියලා එයා කියන්න පටන් ගත්තා. අවුකනයා නිදාගත්ත එලියෙ ඉස්තෝප්පුවේ තිබුණ පුටුව මිදුලට දාලා තිබුණා.
"කබීර් වගේ නෙවෙයි.ඌ ගාව ගඳ.වල් බල්ලොන්ගෙ හැටි"එයා කිව්වා.
අවුකනයට හොඳට අනපු බත් එකක් හම්බුණෙ අපෙ අම්මා ඉන්න දවස් වලට විතරයි කියලා මට තේරුණා.අම්මා අක්කලගෙ දිහා ඉන්න හැම දවසකම අම්මා මට ගන්න හැම කෝල් එකකම මුලින්ම ඇහුවෙ අවුකනයා ගැන.මමත් හවසට ගෙදර ගිය ගමන් මුලින්ම අවුකනයට කතා කරලා ඊට පස්සෙ ගෙට යන්න පුරුදු වුණා.ඒකට එයාට හොඳටම තරහ ගියා.සමහර විට එයා සාධාරණ ඇති.මම දරුවෙක් හම්බවෙන්න ඉන්න එයාට වඩා බල්ලට සලකනවා කියලා එයාට හිතෙන්න ඇති.
එතකොට මම සාධාරණ නැද්ද..
එක දවසක්...
කුස්සියෙදි අවුකනයා එයාගෙ කකුල හපලා.බෙහෙත් දාන්න සිද්ධ වෙන තුවාලයක් වෙලා තිබුණා. අවුකනයා එකපාරටම කුස්සියට ඇවිත් හැපුව කියලා තමයි එයයි එයාගේ අම්මයි දෙන්නම කිව්වේ.ඒත් ඌ එහෙම එකෙක් නෙවෙයි. මම ඒක හොඳටම හොඳටම දැනගෙන හිටියා. තුවාලෙට බෙහෙත් දාගෙන එයාල ගෙදරත් ඇවිල්ලා. ටිකක් බරපතළ කාරණාවක් කියන එක ඇත්තක්.වෛද්‍යවරයත් සෑහෙන්න දොස් කියලා තිබුණා.
කෙටියෙන්ම කිව්වොත් එයාගේ එයාගෙ අම්මගෙ තීරණය වුණේ අවුකනයව ගෙදරින් අයින් කරන්න ඕන කියන එක.
දවල් කෑම වෙලාවෙ කබීර්ට මස් එක්ක කන්න දීලා.ඒ අවුකනයට බත් දීලා තියෙන්නේ එලවලු එක්ක විතරයි.ඉතින් අවුකනයා ගෙට ගිහින් එයාගෙ මූණ දිහා බලාගෙන ඉන්න ඇති.ඌ අහන්නැති මට එළවළු එක්ක විතරක් බත් දුන්නෙ වැරදිලාද කියලා. මම ඔය ගැන කොච්චර කතා කළත් වැඩක් වුණේ නෑ. එයාගේ අම්මා කිව්වා "ඔය මිනීමරා මිනීමරු බල්ලාව ගෙදරින් අයින් කරනකම් මම මෙයාව ආයෙ මෙහෙට එවන්නේ නෑ" කියලා.
එයත් අම්මත් එක්ක යන්න ලෑස්ති වුණා.වෙලාට රෑ නමයට විතර ඇති .
මම ටිකක් හිතලා එලියට ගිහින් අවුකනයට කතා කළා.
"අවුකනයා.යන්ද ගමනක්."
ඌ ඇවිත් ස්කූටරේ ළඟ.මම කරන්නෙ මොනවද කියල අරමුණක් නැතුව ඔහේ පාර දිගේ ගියා.අවුකනයා මගේ කකුලට හේත්තු වෙලා ඉඳගන වට පිට බැලුවා.ඌ දන්නෑ මම ඌට කරන්න හදන බලු වැඩේ මොකද්ද කියලා.ඌට තිබ්බෙ මාත් එක්ක ස්කූටරේ ගමනක් යන සතුට.
මඟදි තැන තැන නැවතිලා මම ඌට බනිස් බිස්කට් අරන් දුන්නා.ආප්ප අරන් දුන්නා.රෑ දොලහට විතර අම්මා කෝල් එකක් ගත්තා.
"මොකක් වත් ප්‍රශ්ණයක්ද?මට මේ එක දිගට හීනෙන් පේනව.අක්කත් දැක්කලු මේ දැන්"
මං අඬාගන අම්මට විස්තරේ කිව්වා.ඊටපස්සෙ අම්මා කිව්ව විදියට අවුකනයත් එක්ක කෙලින්ම ගියේ හිටපු තැනට ළඟම පන්සලකට.රෑ දොහලමාරට පන්සලකට ගිහිල්ලා හාමුදුරුවන්ට කතා කරලා විස්තරේ කිව්වා.
"හාමුදුරුවනේ ,මං ක්‍රමයක් හදාගන ඇවිල්ලා අරන් යනකම් මෙයාව තියාගන්න,පිං සිද්ධ වෙනවා"
හාමුදුරුවො අවුකනයව බාර ගත්තා.ඒත් මට ඌව එතන දාලා එන්න ලේසි වුණේ නෑ.පන්සලේ පොඩි උන්නාන්සෙ අවුකනයව බෝ මුලකට අල්ලලා ගැට ගැහුවා. මම දාලා ආවා.බෝ හෙවණක වුණත් ආවෙ දාලා.ගෙදරින් කිලෝමීටර් අටක් එහා පන්සලක අවුකනයව දාලා මම ගෙදර ආවෙ එහෙමයි.
පහුවදා උදේ මම කෝල් කරද්දි හාමුදුරුවො කිව්වෙ දුවන්න හදන හින්ද ලිහුවෙ නන් නෑ.බල්ලා කන්නෙ නම් නෑ කියලා.
ඊටපස්සෙන්දා අපේ අම්මා ආවා. පවුලත් රැකගෙන බල්ලත් බේරගන්න නං ඉතිං අවුකනයව අක්කලගෙ ගෙදර අරන් යමු කියලා අම්මා හිතුවත් මස්සිනා බල්ලන්ට කැමති නැති නිසා ඒක කරන්න බැරි තත්වයක් තිබුණෙ.අම්මා ලේලිට බැන්නා.ලේලි අම්මට බැන්නා.නැන්දම්ම අම්මට බැන්නා.අන්තිමට අම්මා කවදාකවත් ආයෙ එන්නෙ නෑ කියලා යන්න ගියා.
"අර අහිංසකයට කරපු දේ උඹලට පලදුන්නැත්තං බලපල්ලකො."
අම්මා අන්තිමට කිව්වෙ එහෙමයි.ඇත්තටම අවුකනයා මතක් වෙන ගානට මට මං එක්කම ඇති වුණේ තරහක්.යාලුවෙක්ට දෙන්නෙක්ටත් ඒගැන කතා කරල බැලුවත් කවුරුත් කැමති වුනේ නෑ ඌව ගන්න. ගොලු බල්ලෙක්ගෙන් කාටද වැඩක් තියෙන්නෙ.මම දෙපාරක්ම පන්සල ළඟට ගිහිල්ලා ඈත ඉඳන් බලන් හිටියා. අවුකනයව දැක්කෙ නෑ. ගිහිල්ලා අහන්න බෑ.අවුකනයා මාව දැක්කොත් ආයෙත් දාලා එන්නෙ කොහොමද?
කාලෙ ගෙවුණා .මම පන්සලට කතා කරන එකත් අඩු වුණා.එයාට බබා ලැබෙන්න ලං වුණා.
හැමදේම හොඳින් තිබුණා..ඒත් ඉස්සර වගේ තිබුණෙ නෑ.
ඇත්තම කිව්වොත් මට එයා ගැන ඇති වුණ කලකිරීම මාවම වහගෙන වගේ මට දැනුනෙ.දවස් දෙකක් තිස්සෙ සැරින් සැරේට කබීර් කළේ අවුකනයා නිදාගන්න පුටුව ළඟට වෙලා උඩුබුරන එක.එතකොට මට මතක් වුණේම හිතේ දුකට උඩුබුරන්න වත් බැරි අවුකනයා මොනවා කරනවා ඇද්ද කියලා. මට නිතර නිතර ඒ කබීර් උඩු බුරපු හැටි මතක් වුණා.එතකොට මතක් වෙන්නෙම අසරණ ගොලුවා මොනවා කරනවා ඇද්ද..දුක නිවාගන්න.
සිද්ධිය දැනගත්ත මිනිස්සු
"ඔවුන්ට ගොලු ළමයි උපදින්න ඕන.එතකොට ත් පන්සල් වලට ගිහිල්ලා දායිද බලන්න" කියලා කිව්ව බව මම දන්නවා.
එයාට බබා ලැබෙන්න තිබ්බෙ මාර්තු දහය..ඒ හරියටම මාර්තු දෙවනිදා. මම ගෙදර එනකොට එහා ගෙදර පුංචි ගෑනු ළමයා අපේ ගෙදර දොරකඩ ඉඳන් හයියෙන් බනිනවා.එයාලගෙ අම්මත් දොරකඩ ඉඳන් ඒ ගෑනු ලමයට බනිනවා.මාව දැකලා මං දිහා බලපු කෙල්ල මට රවාගන ඉඳලා මෙහෙම කිව්වා.
"ගමේ උන් කියනව වගෙ ගොලු ළමයෙක් තමා හමබ්වෙන්න ඕන"
ඇත්තටම මම ඒ කතාවට නම් ගැස්සුණා.ඊළඟට ළමයා කිව්ව දේට ඊට වඩා ගැස්සුණා.
"අවුකනයා මං තියාගන්නවා.හැබැයි ඉල්ලගන ආවොත් ඔලුව පලනවා මාත්"
මම අවුකනයව පන්සලට ගිහින්දාල හරියටම මාස පහ හමාරකට පස්සෙ ඌ ගෙදර ඇවිත්.තනියම...
එතකොට ඌ ආව ගමන් එයා ගහලා එලවලා.
එලෙව්වම යන්නෙ නැති හින්දා හුලං ගහන් පොම්පෙන් ගහලා අවුකනයගෙ ඔලුව පැලිලා.
එදානම් මගෙ යකාට ඉවසන්න අමතක වුණා. මම එයාගෙ අම්මට ඒ වෙලාවෙම ගෙදරින් යන්න කිව්වා.එයත් අම්මා එක්ක යනවා කියලා ලෑස්ති වුණා. මං නැවැත්තුවෙ නෑ.
එයා ගියා.මගෙ දරුවත් බඩේ අරන්ම එයා ගියා.මට මගෙ දරුවා නැතුව බෑ වගේම මට එයාගෙ ඒ මූසල දරුණු දුෂ්ට ගතිය එක්ක එයා එක්ක ජීවත්වෙන්න පුලුවන්කමක් තිබ්බෙත් නෑ.
මං හරිද වැරදිද කියලා මම දැනගන හිටියෙත් නෑ.දැනුත් මට හිතන්න ඕන්නෑ.එහෙම නොවුණා නම් තමයි හොඳ.ඒත් එහෙම වුණා.
මම එහා ගෙදරට යනකොට ඒ ගෑනු ළමයා සාලෙ මැද තියාගන අවුකනයව අතගානවා.ඌ ජරා වෙලා කන් පෙත්තක් ඉරිලා තුවාල වෙලා.ගේ හොයන් එද්දි බල්ලො හපන්න ඇති .එයා පොම්පෙන් ගහපු පාරට අවුකනයගෙ ඔලුව පැලිලා.එහා ගෙදර අය අරන් ගිහින් බෙහෙත් දාගන ඇවිල්ලා.මැහුම් හයක් ගහපු තුවාලයක් ඔලුවෙ.
මම ගේන්න හැදුවට එයාලා මට අවුකනයව දුන්නෙ නෑ.ඇත්තටම මට ඌව බදාගන අඬන්න ඕන වුණා.මට සමාවෙයන් කියන්න ඕන වුණා .ඒත් එයාලා මට අවුකනයව දුන්නෑ. ඊට පස්සෙ අවුකනයා මාව දැක්කෙ පහුවදා උදේ.
මං දිහා බලාගෙන හිටපු ඌ ළඟට ඇවිත් මගේ මහපට ඇඟිලි ඉඹලා බැලුවා. ඊට පස්සේ අත් දෙක අත් දෙක උස්සලා මගේ බඩට තිබ්බා. ඇත්තටම මම බිම ඉඳගත්තා.අවුකනයා මගේ ඇඟේ එතිලා මොන මොනවදෝ කිව්වා.අන්තිමට මගෙ ඔඩොක්කුවෙ නිදාගත්තා.හරිම සාමකාමී විදියට..
ඒත්...
ඊට පස්සෙ කවදාකවත් අවුකනයා මගේ ගෙදර ආවෙ නෑ.එයා බය වුනා කඩුල්ලෙන් ඇතුලට එන්න.මට හැමදාමත් එයාව බලන්න වුනේ ඒ ගෙදර කඩුල්ල ළඟට ගිහිල්ලා.හැමදාමත් උදේට හවසට මම යන එන වෙලාවට එයා මට කතා කරන්න එතන ඉන්නවා.
අවුකනයා ඇස් වලින් මට කියන හැමදේම අර ගෑනු ළමයා වචන කරලා මට කියනවා.ඇත්තටම ඒ ගෑනු ළමයා අවුකනයා එක්ක කතා කරන භාෂාව මම දන්නෙ නෑ. ඒත් මම දන්නවා ඒ දෙන්නා කතා කරනවා.සමහර දාට මම පරක්කු වෙලා එද්දි එයා කියනවා
"අද මාමා පරක්කුයි කියලා දෙතුන් පාරක්ම මගෙන් ඇහුව මෙයා " කියලා.අවුකනවා ඔව් කියන්නම බලනවා.
එක දවසක් අවුකනයා ගෙදරට ආවා. එයා ඉස්සර නිදාගත්ත පරණ පුටුව එහම බලලා ගේ දිහා බලාගෙනම හිටියා.
"කෝ නැන්දා ,කෝ අම්මා කියලා එ අහන්නෙ"
හේතුවක් කියාගන්න බැරි හැඟීමකට මට ඇඬෙන්න ආවා.
"දැන් ප්‍රශ්ණයක් නෑනෙ.මාමා නැන්දවයි බබවයි ගෙදර එක්ක එන්න.මෙයාට මම ඉන්නවනෙ."
තේරුම් ගන්න ,අහන් ඉන්න කැමති කෙනෙක් නැති තාක් හැම සත්වයෙක්ම ගොලුවෙක්.
ඇහුංකන් දෙන්න වටහා ගන්න කැමති කෙනෙක් ඉන්න හැම තැනකම භාෂාවක් නිර්මාණය වෙනවා.
වචන හුඟක් තිබිලත් භාෂා ගණනාවක් තිබිලත් මටයි එයාටයි,ඒ කිව්වෙ මගෙ බිරිඳයි මටයි කතා කරගන්න බැරිවුණ ගොඩක් දේවල් තියෙනවා.
මොනව වුණත් අන්තිමේ අවුකනයට මට වඩා හොඳ අයිතිකාරයෙක් හම්බවෙලා තියෙනවා.ඒත් උගෙ සමහර හැසිරීම් දකිද්දි මට දැනෙන්නෙ මට හිටිය අවංකම සහ හොඳම ඇහුංකන්දෙන්නා සහයකයා මට අහිමි වෙලා තියෙනවා වගේ හැඟීමක්.
එතකොට එයා.
එයා ගොලුම නොවුණත් ගොත ගහන දුවෙක් එක්ක අම්මත් එක්ක ජීවත් වෙනවා. මම උසාවියෙන් අවසර දුන්න දවසට විතරක් ගිහින් එයාව බලලා එනවා.
දුවත් මං දිහා බලාගෙන ඉන්නව විතරයි .කතා කරන්නෑ.ඒත් එයාගෙ භාෂාව මම දැන් දන්නවා.
මගේ දුවට තාත්ත ළඟ හැදෙන්න තිබුණ නම් හොඳයි.දුවගේ අම්මයි තාත්තයි වෙන නොවුණා නම් හොඳයි. දුවගේ අම්මා අවුකන යට එහෙම සලකන්නේ නැතුව හිටියා නම් හොඳයි. සේරටම වඩා අපි දෙන්නා තමන්ගේ කැමැත්ත අකමැත්ත ගැන මීට වඩා කතා කරලා තිබුණ නම් හොඳයි..
වුණා නම් හොඳයි තමයි ඒත් දැන් හැම දේම වෙලා ඉවරයි.
දවසක මම අවුකනයට මගේ දුවව ගෙනත් පෙන්නනවා.
මම එහෙම හිත,හිත ඇවිදගෙන එද්දි අවුකනයා දුවගෙන එනවා.අර ගෑනු ළමයත් ඒ එක්කම එනවා.අවුකනයා මගෙ බඩට අත් දෙක තියලා මොකද්දෝ කියනවා.
"අද නම් බෙහෙත් විද්දා.රිදුණා කියල කියන්නෙ"
"ගෙදර යමුද..මං කුකුල් මස් ගෙනාවා.උයලා දෙන්නම්" මම කිව්වම
අවුකනයගෙ ඇස් දිලිසෙනවා. ඒත් ටිකකින් බැහැලා දුවගෙන ගිහින් ගෑනු ළමයගෙ බඩ බදාගෙන මොකද්දෝ කියනවා.ඊට පස්සෙ මම යන හදනකොට ආයෙ මගෙ ඇඟට ගොඩවෙනවා.
"එයා මාමට ආදරෙයි.ඒත් දැන් මාව දාලා එන්න බෑලු..මං ගාව විශ්වාසයිනෙ.එහේ ඉතිං එයාට විශ්වාස නෑනෙ."
උඹ ගොලු නෑ අවුකනයො..ඇත්තටම අපියි ගොලු. වරදක් කරන්නෑ හිත රිදවන්නෑ අතරමං කරන්නෑ කියලා විශ්වාස කරන්න බැරි වුණත් ආදරය නැති නොවෙන්න පුලුවන්.ඒත් එක වතාවක් නෙවේ දෙවතාවක්ම විශ්වාසය බිඳුණ තැනකට බල්ලෙක්වත් එන්න කැමති නෑ.
බල්ලා වුනත් නවතින්න තෝරගන්නේ විශ්වාසවන්තම තැන.
===================
සුජාතා මැණිකේ ඉහළගෙදර