Wednesday, November 27, 2024
Follow Us
දෙවිදේවතාවෝ

අලුතෙන් යුනිවර්සිටි එන ළමයි අඳින්න ඕනේ විදිය, හැසිරෙන්න ඕනේ විදිය, කන්න බොන්න ඕනේ තැන් ගැන එහෙම කවුදෝ ලියපු නීති රෙගුලාසි ටිකක් ෆේස්බුක් එකේ දැකපු නිසා, වැඩ කෝටියක් අස්සේ වුණත්, මේ කතාව ලියන්න ම ඕනේ කියලා මට හිතුණා..


මේක මම ගොඩාක් කල් ඉඳලා ලියන්න බලාගෙන ම හිටපු කතාවක්!
හැමදාම ත් වගේ, කතාව දිගයි, හොඳේ..
(දඩිබිඩිසුපී හෑෂ්ටැග් එක නෑ කියන්නේ, ඒක වෙලාව අරගෙන ලියපු, දිග කතාවක්!)
මම කැලණියේ විද්‍යා පීඨයේ ඉගෙන ගත්තේ 2010-2014 කාලේ..
හැබැයි, කැලණියේ උපාධිය පටන් ගන්න මාස නමයකට කළින් තමයි මම කරපු අර රසායන විද්‍යා උපාධිය ICHEM එකේ කරන්න පටන් ගත්තේ..
ඉතිං, මේ කතාව ලියන මම, ලංකාවේ තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයක ත්, රාජ්‍ය විශ්වවිද්‍යාලයක ත් අවුරුදු හතරක් ඉගෙන ගෙන තියෙනවා..
ඉතිං, හැමදාම ත් වගේ මම අද ත් ලියන්නේ ඔන්න ඔය කියන උසස් අධ්‍යාපන ආයතන වල ට ගිය අලුත ම "මට හිතිච්චා.. මට ම වෙච්චා.."
කතාව ඉවර වෙනකල් ම කියවන්නේ නැතුව, මැද්දෙන් නවත්තලා, මම ගැන, මගේ අත්දැකීම් ගැන, තීරණ වලට එන්න එපා කියලා ත්, මම ඉගෙන ගතපු උසස් අධ්‍යාපන ආයතන දෙකේ හොඳ නොහොඳ ගැන මගේ මේ විස්තර වලින් විතරක් ම තීරණය කරන්න එපා කියලා ත් ආදරෙන් ඉල්ලනවා..
ඒ වගේ ම, මම ගියපු ඒ උසස් අධ්‍යාපනය ආයතන දෙකේ මාත් එක්ක ඉගෙන ගතපු සමකාලීන යාලුවෝ ගොඩාක් මගේ පේජ් එක කියවනවා නේ..
ඉතිං, මම මේ කතාවේ ලියන සිද්ධි එකක් හරි වැරදියි නම්, බොරු නම්, ඔයාලා ට පුළුවන් ප්‍රසිද්ධියේ ම මාව විවේචනය කරන්න..
"බොරු කියන්න එපා, සුපී! එහෙම දෙයක් වුණේ නෑ!" කියලා කියන්න..
ඒ වගේ ම, ඒ යාලුවොන් ට පුළුවන්, මම මේ කියන සිද්ධි ගැන එයාලා ගේ මතක ත් අවදි කරන්න..
"මෙහෙම ත් වුණා නේද? මට ත් මෙහෙම වුණා.." කියලා කියන්න..
හරි!
දැන් කතාව ට එන්නම්!
මම ICHEM යන්න ගත්තේ කැලණිය ට යන්න මාස 9ක ට කළින් නිසා, ICHEM කියන්නේ මගේ පළවෙනි උසස් අධ්‍යාපන අත්දැකීම..
අපි ට ICHEM එකේ පළවෙනි අවුරුද්දේ ලෙක්චර්ස් තිබුණේ ICHEM එක ඇතුළේ ම නෙමෙයි..
ලෙක්චර්ස් තිබුණේ සති අන්තවල, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ..
අපේ ලෙක්චර්ස් එහෙම වෙන තැන ක තිබුණේ, හතර වෙනි අවුරුද්දේ ඉඳලා එළියට යන අය, අය උපාධිය අරගෙන ICHEM එකෙන් අයින් වෙනකල්, අපි ට ICHEM එක ඇතුළේ ඉන්න ඉඩ නැති නිසා..
අපි මුල් මාස කිහිපය ම හිටියේ ගල්කිස්සේ..
ප්‍රායෝගික (practicals) පවා කළේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විද්‍යාගාරවල..
ICHEM යන්න පටන් ගතපු ම දවස්වල, මම හරි ම ආසාවෙන් ඒක ට ගියා..
මම යාලුවෝ ගොඩාක් හම්බුණා..
මුල් ම දවස්වල නිසා, දෙයියනේ කියලා උගන්නපු එව්වා ඔක්කොම ත් තේරුණා.. ?
කිසි ම ප්‍රශ්නයක් නැතුව ලස්සන ට වැඩ ටික කෙරීගෙන ගියා..
ඔහොම සති කිහිපයක් ගත වේගෙන යද්දී, අපේ ලෙක්චර්ස් ඉවර වෙන වෙලාවක් අල්ලලා, හතර වෙනි අවුරුද්දේ අයියලා අක්කලා 6-7 දෙනෙක්, රාජගිරියේ තියෙන ICHEM එකේ ඉඳලා, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ට ආවා..
ඒ ආවේ, අලුතෙන් ආපු බැච් එකේ ඉන්න අපිත් එක්ක කතා කරන්න..
ඇවිත්, එයාලා අපි ට ICHEM එක ගැන විස්තර එහෙම කියලා, බැච් අතරේ පණිවිඩ හුවමාරුව ලේසි වෙන්න යි, එක එක සංවිධාන කටයුතු පහසු වෙන්න යි, අපේ බැච් එකෙන් coodinators ලා දෙන්නෙක් දානවා කිව්වා..
ඒ කියන්නේ බැච් රෙපෙකුයි රෙපී කෙනෙකුයි..
කිසි ම හෙවිල්ලකින් බැලිල්ලක් නැතුව ම, එයාලා මාව නැගිට්ටවලා, මාව බැච් එකේ coordinator කළා කියන්නකෝ..
මාව කරකවලා අත ඇරියා වගේ!
මම යුනිවර්සිටි යන්න ඉන්න නිසා මේ coordinator වැඩේ මට දිගට ම කරගෙන යන්න අමාරුයි කියලා මම එවෙලේ ඒ අක්කලා අයියලා ට කිව්වා..
"කමක් නෑ.. යුනිවර්සිටි පටන් ගන්න තව කල් තියෙනවා නේ.. එතකල් ඔයා coordinator වැඩේ කරන්න.." ඒ අයියලා අක්කලා කිව්වා..
Coordinator විදියට මාව ම පත් කරන එක එයාලා එතන දී ගතපු තීරණයක් නෙමෙයි කියලා අපි ට තේරුණා..
එයාලා කළින් coordinator කරන්න ඕනේ කෙනාව හිතාගෙන ම තමයි එදා අපි ට කතා කරන්න ආවේ..
මට අමතරව, අපේ බැච් එකේ පිරිමි ළමයෙක් ව ත් coordinator විදියට පත් කළා..
උඩ බැච් එක්ක කතාබහ කරලා, පණිවිඩ හුවමාරු කරගෙන ඉන්න එක දැන් අපේ වගකීමක්!
"සුපුනි, අනේ මම නම් ඉස්කෝලේ දී පංති නායක තනතුරක් වත් කරලා නෑ.. ඇත්තට ම මට මේ වැඩේ කරන්න අමාරුයි.." අර පිරිමි ළමයා මට කිව්වා..
ඒක ඇත්තක් වෙන්න ඕනේ..
ඒ ළමයා හරි ම අහිංසක ළමයෙක්!
"කමක් නෑ.. ඔයා මට උදව් කරන්නකෝ.. ඒ ඇති!" මම ඒ ළමයා ට කිව්වා..
මම ඉස්කෝලේ නායක තනතුරු කිහිපයක් ම කරලා තිබුණු නිසා, ඔය coordinator වැඩේ මට ලේසියෙන් ම කරන්න පුළුවන්!
අවුලක් නෑ!
එහෙමයි මෝඩ සුපුනි හිතුවේ..
එදා අපි ට කතා කරන්න ආපු හතර වෙනි අවුරුද්දේ අයියලා අක්කලා අපිත් එක්ක සාමාන්‍යය විදියට කතා කළා..
ලොකු සුහදත්වය ක් පෙන්නුවේ නැති වුණත්, එයාලා අපි ට මිනිස්සු විදියට සැලකුවා..
හරි!
ඔන්න දැන් මම යි අර පිරිමි ළමයා යි තමයි අපේ බැච් එකේ coordinators ලා..
ඒ සතිය ඒ විදියට ගෙවුණා..
ඊළඟ සතියේ ලෙක්චර්ස් ඉවර වෙන වෙලාව අල්ලලා අපිට කතා කරන්න ආවේ තුන්වෙනි අවුරුද්දේ අයියලා අක්කලා..
එයාලා ත් සාමාන්‍යය මිනිස්සු විදියට අපි ත් එක්ක කතාබහ කරලා, විසිර ගියා..
අහා!!
ඊළඟ සතියේ තමයි අපිව බලන්න දෙවිවරු වැඩියේ..
ඒ ICHEM එකේ දෙවෙනි වසර "සහෝදරත්වය"
මට මතක විදියට, එදා අපිව බලන්න දෙවි දේවතාවෝ 20ක් විතර රාජගිරියේ ඉඳලා ගල්කිස්ස ට වැඩලා තිබුණා..
ඒ දෙවිවරු ඔක්කොට ම පොඩි මූලග්ගායක් තිබුණු බව එයාලා ගල්කිස්ස ට වැඩලා පළවෙනි විනාඩි කිහිපය ගත වෙද්දී ම මට තේරුණා..
එයාලා බොහොම සැරයි!
හපා කන තරම ට ම සැරයි!
(නෑ.. නෑ... එයාලා ගේ හොම්බ කලු නෑ..)
එයාලා ආපු වෙලේ ඉඳලා කළේ මූණු රකුසු කරං අපි ට බැනපු එක..
අහ්!! නෑ!!
වැරදුණා!!
දෙවිවරු බනින්නේ නෑ!!
එයාලා කළේ අපි ට අම්මා මෝ නැති වෙන්න ආශිර්වාද කරපු එක!
මොනවා ට ආශිර්වාද කරනවා ද කියලා හිතා ගන්න බැරි තරම ට ම එයාලා අපේ මුලු බැච් එක ට ම සෙත් කවි කිව්වා..
එයාලා ට සලකගෙන, එයාලා කියන විදියට හිටියේ නැත්නම්, අපි ට ICHEM එකෙන් ඩිග්‍රි එක ගන්න එක හීනයක් කිව්වා..
ICHEM එකේ කුප්පි නැතුව ගොඩ යන්න බෑ.. කුප්පි ඕනේ නම් හරියට හැසිරෙන්න කිව්වා..
(කුප්පි කියන්නේ, මොකක් හරි විෂයයක්/විෂයක කොටසක් හොඳ ට ම දන්න කෙනෙක්, නොදන්න අය ට කියලා දෙන එකට, හොඳේ..)
පළවෙනි අවුරුද්දේ අපේ බැච් එකේ ළමයි 130+ හිටියා කියලා මට මතකයි..
පටං ගනිද්දී බැච් එකේ මෙච්චර ගොඩාක් හිටියා ට, දෙවෙනි අවුරුද්ද ට යද්දී මේකෙන් ගොඩාක් හැළෙනවා කිව්වා..
අර දෙවෙනි අවුරුද්ද ට යද්දී හැළෙන ගොඩ ට වැටෙන්නේ නැතුව අනික් ගොඩ ට වැටෙන්න නම්, එයාලා ගේ දේව කුප්පි නැතුව බෑ කිව්වා..
ICHEM යමින් ගමන් යුනිවර්සිටි ත් යන්න ඉන්නවා නම්, ඒවා වෙන වැඩ නෙමෙයි කිව්වා..
"අපි මේ මේක විතරක් කරන්නෙත් කොච්චර අමාරුවෙන් ද බං! මුන් කරයි යුනිවර්සිටි යමින් ගමන්!!" වගේ දිරිමත් කරන සුළු වචන වලින් අපි ට ලෝබ නැතුව සංග්‍රහ කළා..
ඔන්න ඔහොම ලෝකේ නැති කතන්දර ගොඩාක් කියලා සෙත් පතලා, අන්තිමට coordinators ලා දෙන්නා ට කිව්වා, බැච් එක හරියට බලා නොගත්තොත් ඒක අපේ වැරැද්ද කියලා..
එයාලා "බැච් එක බලා ගන්නවා" කියලා අදහස් කළේ මොකද්ද කියලා නම් මට ඇත්තට ම තේරුණේ නෑ..
තාමත් තේරෙන්නේ නෑ..
මොකද, අපේ බැච් එකේ හිටිය ඔක්කොම අය අවුරුදු 18 ට වැඩි අය..
අත දරුවෝ, කිරි ඉල්ලලා අඬන බබාලා, ඇඟේ කක්කි දා ගන්න පොඩ්ඩෝ කවුරුත් අපේ බැච් එකේ හිටියේ නෑ..
සමහර විට, එහෙම අය එයාලා ගේ බැච් එකේ ඉන්න ඇති..
ඒ මිම්මෙන් ම අපිවත් මැන්නා වෙන්න පුළුවන්!
කොහොම හරි, දෙවිදේවතාවෝ ටික අපි ට නොසෑහෙන වෙලා ආශිර්වාද කළා ට පස්සේ, ඊළඟ සතියෙ ත් වඩින බව දැනුම් දීලා යන්න ගියා..
සාධුකාරයක් දෙන්න හරි අපේ බැච් එක ට පණ ක් ආවේ, ඒ දෙවිවරු ටික ගියා ට පස්සේ..
ඇත්තට ම අපි ට වෙච්ච දෙයක් හිතා ගන්න බෑ..
හතර වෙනි අවුරුද්දේ අයයි තුන්වෙනි අවුරුද්දේ අයයි අපි ට ඔහොම සැලකුවේ නෑ නේ!
අනික, මේක පෞද්ගලික විශ්වවිද්‍යාලක්!
අපි සල්ලි ගෙවලා ඉගෙන ගන්නේ!
අපි මේක ට ආවේ මෙහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි!!
ඒ වෙද්දී යුනිවර්සිටි පටං අරගෙන තිබුණේ නැති නිසා, මම ඒ කාලේ සතියේ දවස් වල ත් ICHEM ගියා..
ඒ, ලෙක්චර්ස් වල ට නෙමෙයි..
පාඩම් කරන්න යි, එකතු වෙලා ගණන් හදන්න යි, බැරි එව්වා අහ ගන්න යි, පුළුවන් එව්වා කියලා දෙන්න යි අපි යාලුවෝ කණ්ඩායම් ICHEM එකේ දී මුණ ගැහුණා..
සතියේ දවස්වල ICHEM එකේදී ත් දුටු දුටු තැන දෙවිවරු මට ආශිර්වාද කරන්න ගත්තා..
"මේ... මෙව්වා මෙහේ බෑ!!"
එක දෙයියෙක් මගේ තොල් වල ගාලා තිබුණු ලිප්ස්ටික් ටික පෙන්නලා කිව්වා..
මගේ ලිප්ස්ටික් දැකලා දෙයියෝ කෝප වෙලා.. ?
ඒ දෙයියා ත් දැන් වැඩ ඉන්නේ ඇමෙරිකාවේ ලු..
එයැයි තාම ත් ගෑනු ළමයෙක් ගේ තොල් වල ගාලා තියෙන ලිප්ස්ටික් දැක්කා ම කෝප වෙනවා ද නම් දන්නේ නෑ..
හැබැයි, එයා ඉගෙන ගන්න ඇමෙරිකාවේ යුනිවර්සිටි එක ට එයා ට පස්සේ ආපු ලංකාවේ ළමයින්ගෙනුත් එයා දේව සැලකිලි නම් බලාපොරොත්තු වෙනවා ලු..
කුරුල්ලෙක් තමයි මට ත් කිව්වේ..
මට අඩි උස සපත්තු දාන්න එපා කියලා ත් ICHEM එකේ දෙවිදේවතාවොන් ගෙන් මට උපදෙස් ලැබුණා..
ඒත්, මම අඩි උස එව්වා දාන්න ආස යි, මට තිබුණේ අඩි උස එව්වා විතර යි නිසා, මම දිගට ම එව්වා ම දැම්මා..
ඒක දේව මණ්ඩලයේ දැඩි දෝෂ දර්ශනය ට ලක් වුණා..
දවසක් අපි ට ආශිර්වාද කරන්න කියලා රාජගිරියේ ඉඳලා ගල්කිස්ස ට ආපු එක දෙයියෙක් මට සැර කරලා කියනවා,
"මේහ්!! ඔහොම ඇඳගෙන ලෙක්චර්ස් එන්න එපා! ගල්කිස්ස කියන්නේ කොයි වගේ පැත්තක් ද කියලා දන්නවා ද??" කියලා..
"ඔව් අයියේ! මේ අපේ තාත්තා ගේ ගම. අපේ මහගෙවල් තියෙන්නේ මෙතන ඉඳලා ඇවිදින දුර.." මම උත්තර දුන්නා..
ඒක බොරුවක් නෙමෙයි..
ගල්කිස්ස කියන්නේ අපේ තාත්තා ගේ උපන් ගම..
අපේ නැන්දි ගේ, ලොකු තාත්තා ගේ ගෙවල් තියෙන්නේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉඳලා ඇවිදින දුර..
හොඳ ම වැඩේ ඒක නෙමෙයි..
ඒ දෙයියා "ඔහොම ඇඳගෙන එන්න එපා" කියලා අදහස් කළේ, ඩෙනිම් එකක් ඇඳලා, අඩි උස සපත්තු දාලා එන්න එපා කියන එක ට..
මම හිතන්නේ, එයාලා බලාපොරොත්තු වුණේ මාව ගල්කිස්සේ දී ළමා සාරියකින් දකින්න..
මම ඩෙනිම් කලිසම් අඳින එක ට දෙයියෝ ආසා නෑ..
හැම සතියේ ම රාජගිරියේ ඉඳලා තකහනියක් ම ගල්කිස්ස ට වඩින ඔය දෙවිදේවතාවෝ කණ්ඩායම, මගෙන් ඒ ඒ දවසේ ලෙක්චර්ස් ඇවිත් ඉන්න ළමයි ගාණ අහනවා..
එයාලා වඩිද්දී, මම ඒ ගාණ හරියට ම දැනගෙන ඉන්න ඕනේ..
මම ඉන්න ගාණ කිව්වා ම, එයාලා ගැනලා බලනවා ගාණ හරි ද කියලා..
ගාණ වැරදියි නම්, එයාලා මට සෙත් කවි කියන්න පටං ගන්නවා..
ඒ විතරක් නෙමෙයි!
කවුරු හරි ළමයෙක් දෙවිවරු වඩින්න කළින් ගෙදර හරි වෙන කොහේ හරි ගියා නම්, ඒ ගියපු හේතුව ත් මම දැන ගෙන ඉන්න ඕනේ..
මට පුළුවන් ද ළමයෙක් එළියට යනවා නම් ඒක මට කියලා යන්න කියන්න??
එහෙම යන එන ගාණ ගණං කරං ඉන්න, ඒක මොන්ටිසෝරියක් ද!!
අපේ බැච් එකේ ළමයෙක් එයාලා එන අතරමග පාරේ දී එයාලා දැක්කොත්, ඒක ට ත් බැනුම් අහන්න ඕනේ මම!
ගෙදර අම්මා තාත්තා අසනීප වෙලා හිටියාත්, දේව සභාව රැස් වෙන වෙලාව ට කළින් අපි ට ගෙදර යන්න බෑ..
ඔය දෙවිදේවතාවෝ හැමදාම බැච් එක මැද්දේ මාව නැගිටවලා මට සෙත් පතනවා ම යි..
ඒක නොවැරදී ම සිද්ධ වුණා..
සමහර දවස් වල ඒ සෙත් කවි අහලා මට බැච් එක මැද්දේ ම කඳුලු එනවා..
ඒ තරම ට ම ඒ කවි ගායනා හදවත ට දැනෙනවා!
මගේ කඳුලු දැකලා සමහර දේවතාවන් ට හරි හිනා!
එයාලා මම හැරුණත් කෝප වෙනවා!
හිනා වුණත් කෝප වෙනවා!
කතා කළත් කෝප වෙනවා!
දවසක් ඔය දෙවිදේවතාවරු වැඩපු වෙලාවක, එයාලා මට බැන්නේ අමුතු ම කතාවක් කියලා..
"ඔයා ගැන මුලු ICHEM එක ම කතා වෙනවා! ඒ ඔයා ගේ ලස්සන ගැනවත් ඔයා ට වැඩ පුළුවන් කියලා වත් නෙමෙයි!! අපි ට ඔයාව ලොකු නෑ!!"
ආරෝහ පරිණාහ දේහ තිබුණු දෙවිවරු දෙන්නෙක් බැච් එක මැද්දේ මාව නැගිටවලා, මට කියපු ඒ කතාව, අවුරුදු 12ක් ගිහිල්ලා ත් මට තාම මතකයි..
මම ගැන හැමෝම කතා වෙනවා කිව්වා ට, එයාලා මගේ ගැන එහෙම කතා කරන්නේ ඇයි කියන එක එයාලා මට කිව්වේ නෑ..
ඒක කිව්වා නම්, නොදැන කරන වැරැද්දක් නම්, මට ඒක හදා ගන්න තිබුණා නේ..
අනික, මාව ලොකු කරගෙන ඉන්න කියලා මම කාටවත් කියලා තිබුණේ ත් නෑ..
තව දවසක් දේව මණ්ඩලයේ ලොකු දේවතාව ඇවිත් මගේ මේසේ උඩ ට කුණු ගොඩක් විසි කරනවා වගේ bookmarks මහා ගොඩක් විසි කළා..
"ලබන සතිය වෙද්දී මේ ටික විකුණලා සල්ලි ඕනේ!" මට දේව අණක් ලැබුණා..
එතන අඩු ම ගාණේ bookmarks 1500ක් වත් තියෙන්න ඇති..
හරියට ම bookmarks කීයක් තියෙනවා ද කියලා ඇහුවා ම ඒ දේවතාව කිව්වේ, මට ම ගණං කර ගන්න කියලා..
ඒක මගේ වගකීමක් ලු.
දැන් මම කලුවර වැටෙනකල් ගල්කිස්ස ට වෙලා මේ bookmarks තොගේ ගනින්න ඕනේ..
ලබන සතිය වෙද්දී සල්ලි දෙන්න ත් ඕනේ..
රෑ වෙනකල් bookmarks ගැන ගැන හිටියොත්, මට ගෙදර යන්න බස් නැති වෙනවා..
මම හිතන්නේ එදා වෙන්න ඕනේ මට ඔය සිද්ධි නිසා ගොඩාක් ම ඇඬුණු දවස..
මට මතකයි, දෙවිවරු යනකල් ඉඳලා, අපේ බැච් එකේ යාලුවෙක් නැගිට්ටා..
නැගිටලා, එයා බැච් එකට ම කතා කළා..
"මේ.. මොකද්ද මේක?? මෙයාලා හැමදාම ඇවිත් අපි ට බැනලා බැනලා යනවා.. සුපුනි හැමදාම බැනුම් අහනවා.. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ!"
ඒ යාලුවා එහෙම කිව්වේ, සති ගාණක් තිස්සේ අපිව බය කරගෙන, කෑ ගගහා නටන ජවුසම ඉවසන්න ම බැරි තැන..
හැබැයි, කාටවත් දෙවිවරුන් ට විරුද්ධව කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ..
එහෙම කළොත්, කතා කළ කෙනා ට කුප්පි නැති වෙනවා..
කුප්පි නැතුව කොහොමද අපි විභාග ගොඩ දාන්නේ??
එයාලා ඒ බය අපේ හිත් වල ඇති කරලා තිබුණු නිසා, අපේ බැච් එකේ කවුරුත් එයාලා ට මුකුත් ම කියන්න ගියේ නෑ..
ඔය දේව ආශිර්වාද අහගෙන ඉන්න බැරි ම තැන, මම දන්න ළමයෙක් ICHEM එක කරන එක අත ඇරියා..
ඒක අත අරිද්දී, එයා මුලු අවුරුදු හතර ට ම සල්ලි ත් ගෙවලා යි තිබුණේ..
එච්චර සල්ලි ගොඩක් ගෙව්වා ට පස්සේ ත් ඒ විදියට අත ඇරලා දාන්න හිතෙන්න තරම් අපි විඳපු පීඩනය හිතන්නකෝ...
ඇත්තට ම, එයාලා අපිව හේතුවක් නැතුව ම භිරාන්ත කරගෙන, ඒ කියන්නේ, traumatized කරගෙන හිටියේ..
ඔහොම කාලේ ගත වේගෙන යද්දී, අපි ට ලෙක්චර්ස් ICHEM එකේ ම, ඒ කියන්නේ රාජගිරියේ ම තියන්න පටන් ගත්තා..
ඒ නිසා, ගල්කිස්ස ට වඩින්නේ නැතුව ම අපි ට ආශිර්වාද කරන්න පුළුවන් කම දෙවිදේවතාවන් ට ලැබුණා..
වාසනාවන්!!
ඔය අතරේ තමයි මම මොඩ්ලින් කරන්න ගත්තේ..
ඒ, ICHEM එක ට ඇවිත් මාස ගාණක ට පස්සේ..
හැබැයි, දෙවිවරු අතරේ කතාව ගිහිං තිබුණේ, මම ICHEM එක ට එද්දී ත් මොඩ්ලින් කරන කෙනෙක් කියලා..
බලන්න ඉතිං..
එයාලා මට ත් කළින් මගේ දක්ෂතාවක් අඳුන ගෙන නේ..
දෙවිවරු කියන්නේ නිකං ද!!
ඔයාලා ට මතක ඇති, මම කළින් කතාවල ත් කියලා තියෙනවා, මට ලැබුණු මුල් ම මොඩ්ලින් අවස්ථාව, සාමාන්‍යයෙන් හොඳ ම මොඩ්ල් කෙනෙක් ට ත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක් කියලා..
මම මුලින් ම කළේ, Sunday Times පත්තරේ Mirror Magazine එකේ මුල් පිටුව..
ඒක ඒ කාලේ හැටියට ගොඩාක් වටින අවස්ථාවක්!
මුල් පිටුව ට අමතරව මැද පිටුවක ත් මගේ පින්තූර කිහිපයක් තිබුණා..
Sunday Times කියන්නේ, ඒකෙත් ,Mirror Magazine එක කියන්නේ, ICHEM එකේ පුස්තකාලයේ බොහොම ප්‍රසිද්ධ පත්තරයක්!
ඉරිදා දවස ට හැමෝම වගේ ඔය පත්තරේ කියවනවා..
පත්තරේ මුල් පිටුවේ ඉන්නේ මම කියලා දෙවිදේවතාවෝ අඳුන ගත්තොත්, මට විසුමක් වෙන්නේ නෑ කියලා මම හිතුවා..
ඒ වෙද්දී ත් එයාලාගෙන් තිබුණු කරදර පීඩන මට ඉවසගන්න බැරි තැනක ට ඇවිත් තිබුණේ!
ඒ නිසා, ඒ සතියේ ඉරිදා එළියට එන පත්තරේ මුල් පිටුවේ ඉන්නේ මම බව මම කළින් ම දැනගෙන හිටියත්, මගේ හිතේ කිසි ම සතුටක් තිබුණේ නෑ..
මම හිටියේ පුදුම බයකින්!
එදා උදේ පාන්දර ම ICHEM එක ට ගියපු මම, යාලුවෙක්ව ත් අඬ ගහගෙන ICHEM එකේ පුස්තකාලය ට රිංඟුවා..
රිංඟලා, Sunday Times පත්තරෙන් Mirror Magazine එක වෙන් කරලා ගත්තා..
උදේ පාන්දර ම නිසා, කවුරුත් තාම පත්තරේ කියවලා නෑ!
යාලුවා ට මැගසීන් එකේ මුල් පිටුව පෙන්නපු මම, මුලු මැගසීන් එක ම පොත් රාක්කයක් අස්සේ හැංඟුවා..
කාටවත් ම හොයා ගන්න බැරි වෙන තැනක..
ඇත්තට ම, ඊට පස්සේ තමයි මගේ ඇඟ ට ලේ ටිකක් ඉනුවේ..
ඊට පස්සේ තමයි අනතුර පහව ගියා කියලා මට දැනෙන්නෙ පටං ගත්තේ..
අද ඔය සිද්ධිය ගැන හිතද්දී, මට මම ගැන ම ලොකු අනුකම්පාවක් දැනෙනවා..
මගේ හැකියාව, අභිමානය, කොටින් ම, "මම" කියන අනන්‍යතාව පෙන්න ගන්න බැරි තරම ට ම, මම ඒ ආයතනය ඇතුළේ කොච්චර අසරණ වෙලා ඉඳලා ද කියලා හිතෙනවා..
පොත් රාක්ක අස් කරලා නැත්නම්, සමහරවිට මම එදා ඒ හංඟපු මැගසීන් එක තාමත් එතන ම ඇති!
ඔහොම මාස කීපයක් යද්දී, අපි ට Sports Day කියලා එකක් තියෙනවා කියලා කිව්වා..
ඒක සංවිධානය කළේ දෙවිදේවතාවෝ..
ඒක ට අපේ සහභාගිත්වය අනිවාර්යය වුණා..
අපි ඒක ට ආවේ නැත්නම්, එයාලා අපි ට කුප්පි දාන්නේ නැතුව, අපි ව කොන් කරනවා කිව්වා..
එහෙම කොන් වෙලා, විභාග ගොඩ දාන්න බෑ!
විභාග ෆේල් වුණොත්, අපි ට උපාධිය ගන්න වෙන්නේ නෑ...
ඔය Sports Day එක තිබ්බේ සෙනසුරාදා දවසක, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ දී..
එදා උදේ ඉඳලා හවස් වෙනකල් ම ඕක තියෙන්න සංවිධානය කරලා තිබුණා..
ගියා ට පස්සේ තමයි අපි ට ඒ Sports Day එක කොයි වගේ එකක් ද කියලා තේරුණේ..
ඒක තනිකර ම අපිව මඩවන්න, ලැජ්ජාව ට පත් කරන්න, දෙවිදේවතාවන් ට එව්වා බලලා විනෝද වෙන්න අවස්ථාවක් ලබා දෙන්න කරපු එකක්!
දේව කරුණාව කොච්චර ද කියනවා නම්, එදා උදේ පාන්දර ම, පළවෙනි රාජකාරිය විදියට දේවතාවෝ ටික කළේ, අපේ බැච් එකේ ගෑනු ළමයි ඔක්කොම පෝළිම ට ටැප් එකක් ගාව ට ගෙනියපු එක..
ගෙනියලා, අපි මූණේ අතේ පයේ Sunscreen එහෙම ගාගෙන ඉන්නවා නම්, එව්වා ඔක්කොම අතුල්ලලා, හෝදලා දාන්න කියපු එක..
එදා ගිනි ගහන අව්ව!
කොච්චර අව්ව වුණත්, අපි ට තොප්පියක් දාන්න ත් බෑ කිව්වා..
ලොකු දේවතාව ඇවිත් මම දාගෙන හිටිය තොප්පිය ගළවන්න කිව්වා..
හැබැයි එයාලා නම් තොප්පි දාගෙන හිටියා..
දැන් අහන්න එපා, sunscreen හෝදවලා, තොප්පි නොදා ඉන්න කිව්වේ ඇයි කියලා..
දේවතාවෝ විතරයි හම ආරක්ෂා කර ගන්න ඕනේ..
එයාලා ට විතරයි අව්වේ හිටියා ම ඔලුවේ කැක්කුම් එන්නේ..
අපි වගේ පළවෙනි අවුරුද්දේ මනුස්ස දූවරුන් ට එව්වා කරන එක අකැප යි!!
Sports Day කිව්වා ම මම හිතුවේ, ඇත්තට ම මොනවා හරි ක්‍රීඩාවක් කරන්න තියෙන එකක් කියලා..
"Sports" කියන වචනේ දාන්නේ ඒ වගේ දෙයක ට නේ..
වැරදියි!!
එදා අපිට කරන්න එක හරිහමන් ක්‍රීඩාවක් වත් තිබුණේ නෑ..
දෙවිදේවතාවෝ අපි ට කරන්න ලෑස්ති කරලා තිබුණු සෙල්ලම් (Games) ඔක්කොම, අපිව ගොඩාක් අපහසුතාවට පත්වෙන මහ නොසන්ඩාල සෙල්ලම්!
අපි ඒ සෙල්ලම කරද්දී, ඈතින් බලාගෙන ඉන්න අය ට පේන්නේ අපි වෙන ම වැඩක් කරනවා වගේ..
අපි ට ඒ සෙල්ලම් වලට සහභාගි වෙන එක අනිවාර්යය කරලා, අපි ඒවා කරන විදිය දිහා එයාලා හිනා වෙවී බලාගෙන හිටියා..
හරියට සෙල්ලම නොකරද්දී, සැර කර කර, කෙරෙව්වා..
අපිව මඩව මඩවා, එයාලා මාර ජොලියක් ගත්තා!
මම ඉස්කෝලේ යන කාලේ හොඳ ට ක්‍රීඩා කරපු කෙනෙක් බව මගේ කතා කියවන ඔයාලා දන්නවා නේ..
මගේ ප්‍රධාන ම ක්‍රීඩාව පිහිනුම්..
මම ඊට අමතරව මළල ක්‍රීඩා කළා..
ලංකාව වගේ රටක පූල් එකක පීනනවා, පිට්ටනියක දුවනවා කියන්නේ, අනිවාර්යයෙන් අව්ව ට කලු වෙනවා..
ඊට අමතරව, පීනද්දී නම්, වතුරේ තියෙන ක්ලෝරීන් වලට ත් අපේ හම පිච්චෙනවා..
මට එව්වා හොඳ ට ම පුරුදුයි!
ඒත්, මම ඔය Sports Day එක දවසේ තමයි දැන ගත්තේ, අපි සොසේජස් එකක් බදිනකොට, තාච්චියේ රස්නෙ ට සොසේජස් එකේ මතුපිට රැලි වැටෙනවා වගේ, අපේ හමත් රස්නෙ ට බැදිලා, රැලි වැටෙන්න පුළුවන් කියලා..
එදා හවස් වෙද්දී, අපේ නහයවල් උඩ හරියේ තියෙන හම අපේ ම තෙල් වලට බැදිලා වගේ දෙයක් වෙලා..
රැලි වැටිලා..
අපි ඔක්කොම අව්ව ට පිච්චිලා පිච්චිලා, කර වෙලා..
දවස් ගාණක් යනකල් අපේ මූණු දනවා..
හම යනවා..
ඔය කියපු Sports Day එකේ අන්තිම ට, එයාලා අපිව ස්ටේජ් එකක ට නග්ග නග්ග එක එක එව්වා අහ අහා තවත් ෆන් එකක් ගත්තා..
මම එයාලා ගේ ප්‍රියතම මනුස්ස දුව නිසා, ඒකට ත් මුලින් ම අහු වුණේ මාව..
"සුනාමිය යි කාන්තාව යි අතරේ සමානකමක් කියන්න!"
ඕක තමයි එයාලාගෙන් මට ලැබුණු ප්‍රශ්නේ!
සමහර විට දෙවිදේවතාවෝ හිතන්න ඇති, ඒ වගේ ගොබ්බ ප්‍රශ්නයක් ඇහුවා ම, මට උත්තරයක් දී ගන්න බැරුව, මම ස්ටේජ් එක උඩ අපහසුතාව ට පත් වෙයි කියලා..
ඒත්, මම ත් එයාලා ට ආපස්ස ට ගොබ්බ උත්තරයක් දුන්නා..
"සුනාමිය යි කාන්තාව යි දෙක ම එක වගේ! අවුස්ස ගත්තොත් පැත්ත පළාතක් ම විනාස යි! "
ඕක තමයි මට එවෙලේ කට ට ආපු උත්තරේ..
මම ගත් කටට ම ඒ උත්තරේ දුන්නා ම, ප්‍රශ්නේ අහපු දෙයියා ට කට උත්තර නැති වුණා..
ස්ටේජ් එක පහළ හිටපු අපේ බැච් එකේ අය අත්පුඩි ගහන්න ගත්තා..
ඔන්න ඔහොම එදා දවස ගෙවුණා..
අපිව අපහසුතාව ට පත් කර කර, අව්වේ මඩව මඩව එයාලා දවස පුරා ම නොසෑහෙන්න සතුටු වුණා..
ඒ දවස්වල මට ICHEM යනවා කියන එක ඔලුව ට පුදුම වදයක්!
ඒක ත්, සති අන්තේ ලෙක්චර්ස් යනවා කියන්නේ, හරි ම පීඩනයක්!
මොකද, හැමදාම මොකක් ම හරි දේකට මාව අල්ලගෙන ප්‍රසිද්ධියේ ම බනින නිසා..
මගේ යාලුවෝ නම් තාමත් කියන්නේ, එයාලා මාව coordinator කළේ, මට ඔහොම වද දෙන්න ම, මාව උපහාසය ට ලක් කරන්න ම තමයි කියලා..
එයාලා ට ඒක ලේසියෙන් ම කරන්න පුළුවන් වෙන්නේ, මාත් එක්ක කතාබහ කරන්න ලැබෙන අවස්ථා ගාණ වැඩි වෙන තරම ට නේ..
ටික කාලෙකින් මට යුනිවර්සිටි පටන් ගත්තා..
ඒ නිසා, මගේ ICHEM යෑම සති අන්තේ ට විතරක් සීමා වුණා..
සති අන්තේ දී මම දෙවිවරුන්ගෙන් නිතරම අහ ගතපු කතාවක් තමයි, "ඔයා යුනිවර්සිටි ගියා කියලා අපි ට ලොකු නෑ!" කියන එක..
ඒ කතාව මොන හේතුවක් නිසා කියපු කතාවක් ද කියලා මම දන්නේ නෑ..
සල්ලි ගෙවලා ඉගෙන ගන්න ගියපු ICHEM එකේ දී ත් මට අර වගේ අත්දැකීම් ලැබුණු එකේ, මට ජීවිතේ එපා වෙන තරම ට, මගේ කොන්ද කඩලා දාන තරම ට ම පීඩා කරපු එකේ, ලැජ්ජාව ට පත් වෙච්ච එකේ, කැලණියේ දී මොනවා නොවෙයි ද කියලා මම ලොකු බයකින් හිටියේ!
මම කැලණියේ යන්න වෙන ම ඇඳුම් ගත්තා..
දිග ම දිග සායවල් එක්ක බ්ලවුස්..
තව, අඩිය උස නැති සෙරෙප්පු ජෝඩුවකුත් ගත්තා..
පළවෙනි දවස් කීහිපය මම කැලණියේ ගියේ, කොණ්ඩේ පෝනිටේල් එකක් දාලා, අර ඇඳුම් ඇඳලා, සෙරෙප්පු දාලා..
ඒ මම නෙමෙයි..
එහෙම අඳින එක මට හරි ම වදයක්!
ඒත්, කැලණිය කියන්නේ මහ නපුරු තැනක්!!
එහෙමයි මම අහලා තිබුණේ..
මට ඕනේ වුණේ, මොන ම විදියකින් වත් කැපී පේන්නේ නැතුව, අනික් අය අස්සේ හැංඟිලා ඉන්න..
ICHEM එකේ වෙච්ච දේවල් කැලණියේ දී නොවී තියෙන්න!
Orientation කාලේ තුන්වෙනි වගේ දවසේ දී, මම යි ඒ කාලේ මාත් එක්ක ම හිටපු යාලුවෙකුයි දවල් ට කන්න කියලා හිතාගෙන, අපේ ෆැකල්ටි එකේ, ඒ කියන්නේ, කැලණියේ විද්‍යා පීඨයේ බේස් කැන්ටිම ට ගියා..
මාත් එක්ක හිටිය අනික් යාලුවා ත් මාත් එක්ක ICHEM එකේ හිටිය කෙනෙක්..
එයා කැලණියේ ත් මගේ උපාධිය ම කරන්න තේරිලා තිබුණා..
අපි දෙන්නා ම එදා දිග සායවල් ඇඳලා, සෙරෙප්පු දාලා හිටියේ..
අපි කෑම ගන්න පෝළිමේ ඉන්න කොට, අයියා කෙනෙක් අපේ ළඟට ආවා..
"නංඟී.. මෙහේ එන්න!" අයියා අපිට කතා කළා..
අපි දෙන්නා බයෙන් භිරාන්ත වුණා..
සායක් ඇඳගෙන ඇවිල්ලාත් ඇයි මේ අපිව අල්ල ගත්තේ??
මගේ මේ උස නම් පුදුම කරුමයක්!!
මේක නිසා තමයි මාව කොහේ ගියත්, කොහොම හිටියත්, කැපිලා පේන්නේ!!
මට එහෙම හිතුණා..
"උඹලා සයන්ස් ද?" අයියා ඇහුවා..
"ඔව් අයියේ.."
"උඹලා ට කවුරු හරි කිව්වා ද සායවල් ඇඳගෙන එන්න කියලා?"
"නෑ අයියේ.."
"මේ උඹලා සාමාන්‍යයෙන් අඳින විදිය නෙමෙයි කියලා බලපු ගමන් පේනවා නේ, බං.. ඇයි සායවල් ඇඳගෙන ආවේ? කාට බයේ ද?"
මායි යාලුවා යි මූණ ට මූණ බලා ගත්තා..
"උඹලා වෙනදා ට අඳිනවා වගේ ම ලස්සනට වරෙං, බං! ලස්සනට ඇඳලා පෙන්නපං උඹලා සයන්ස් කියලා.. ඔහොම ඇඳගෙන ඇවිත් තෙල් බැම්මේ දී අහු වුණොත්, අපි ට කියාගෙන එන්න එපා! කවුරු ම හරි උඹලා ව රැග් කරන්න ආවොත්, උඹලා සයන්ස් කියලා කියපං! කියලා එතනින් අයින් වරෙං!" අයියා කියාගෙන කියාගෙන ගියා..
මට මේ ඇහෙන දේවල් ඇත්ත ද කියලා හිතා ගන්න බැරි තරම ට ම මම පුදුමෙනුත් පුදුම වුණා..
මෙච්චර නපුරු, මෙච්චර රැග් එක ට ප්‍රසිද්ධ කැලණියේ, මේ වගේ දෙයක් මම කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ..
අපි ට එදා ඒ කතා කරපු අයියා, ඊට අවුරුද්දක ට පස්සේ, විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර ට පත් වුණා..
අද ඒ අයියා ත් මම වගේ ම ඇමෙරිකාවේ PhD උපාධිය හදාරනවා..
ඒ සිද්ධිය වෙච්ච දවස ට පස්සේ දවසේ ඉඳලා මම කැලණිය ට ගියේ මගේ සුපුරුදු විලාසෙන්..
ඩෙනිම් කලිසම ට අත් නැති ටීෂර්ට් එකක් ඇඳලා, අඩි උස සපත්තු දාලා..
අහ්!
පුරුදු විදියට ම ලිප්ස්ටිකුත් ගෑවා..
මම ඒ ආපු විදිය කැලණියේ දී කාටවත් ම ප්‍රශ්නයක් වුණේ නෑ..
ඔව්වා මෙහේ බෑ කියලා කවුරුත් කිව්වේ නෑ..
දකින දකින තැන සෙත් කවි කියන දෙවිවරු කැලණියේ සයන්ස් එකේ නම් හිටියේ නෑ..
අපි අපේ පීඨයේ එහෙම නිදහසේ සතුටෙන් හිටියා ට, අනික් පීඨ වල ළමයින් ට ඒ නිදහස තිබුණේ නැති බව අපි හොඳට ම දැක්කා..
එයාලා මාස ගාණක් සායවල් ඇඳගෙන, කොණ්ඩ ගොතාගෙන, පිරිමි ළමයි ත් ඔෆිස් යන විදියට ශර්ට් කලිසම් ඇඳගෙන, තෙල් බැම්මේ අමු කුණුහරප අහනවා අපි දැක්කා..
යුනිවර්සිටි ඇවිත් ටික කාලෙකින් මම එක්තරා බැංකුව ක රූපවාහිනී දැන්වීමක හිටියා..
ඒකේ මම හිටියේ රොඩ්නි වර්ණකුල මහත්මයා එක්ක..
ඒ බැංකුව, අපේ යුනිවර්සිටි එකේ ඡායාරූප සංගමයෙන් කරපු එක්තරා ප්‍රදර්ශනයක ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය අරගෙන තිබුණා..
ඔය ප්‍රදර්ශනය තිබුණේ කැලණියේ ජිම් එක තියෙන බිල්ඩින් එකේ..
ඉතිං, ඒ ප්‍රදර්ශනය තිබුණු දවස් තුන හතර පුරා ම, එයාලා එයාලා ගේ බැනර් අපේ යුනිවර්සිටි එකේ එල්ලලා තිබුණා..
ඒ බැනර් වල ලොකුවට ම රොඩ්නි වර්ණකුල මහත්මයා ට එහා පැත්තේ මාත් හිටියා..
බැනර් දකිද්දී තමයි මාත් දන්නේ, මේ ප්‍රදර්ශනය ට අනුග්‍රහය දෙන්නේ ඒ බැංකුව කියලා..
ලැජ්ජාව කියන්නේ, ඔය බැනර් එකක් අපේ ෆැකල්ටි වැටේ ත් එල්ලලා තිබුණා..
මම ගිහිං ඕක ගළවන්න යැ!
එයාලා ගේ බැනර් එයාලා කැමති විදියට එල්ලන්න ඒ මිනිස්සුන් ට අයිතියක් තියෙනවා නේ..
ඒක ට නේ ඒ මිනිස්සු අනුග්‍රාහක දායකත්වය දක්වන්නේ..
හැබැයි, මට කැලණියේ විද්‍යා පීඨයේ කාගෙන්වත් කිසි ම ප්‍රශ්නයක් ආවේ නෑ..
"අහ් නංගී.. උඹ අපේ ෆැකල්ටියේ වැටේ එල්ලිලා ඉන්නවා දැක්කා.." කියලා කරපු විහිලුවක් ඇරෙන්න, කිසි ම කෙනෙහෙලිකම ක්, ප්‍රසිද්ධියේ ලැජ්ජාව ට පත් කිරීමක් නම් වුණේ නෑ..
ඔය බැංකුවේ ශාඛාවක් කිරිබත්ගොඩ හංදිය කිට්ටුව ත් තිබුණා..
එතැන ත් ඒ බැනර් එකක් එල්ලලා තිබුණා, පාර ට පේන විදියට..
කිරිබත්ගොඩ හංදිය කියන්නේ කැලණියේ හැමෝම හැමදේට ම යන තැන..
ඒත්, යුනිවර්සිටි එකේ අයියලා අක්කලා ඒ බැනර් එක දැකපු බව කිව්වා මිසක්, මට කිසි ම ප්‍රශ්නයක් වුණේ නෑ..
ඔය වගේ දෙයක් ICHEM එකේ දී වුණා නම්, ඔහොම බැනර් එකක් ICHEM වැටේ හරි, රාජගිරිය හංදියේ හරි එල්ලලා තිබ්බා නම්, තත්වය කොච්චර වෙනස් වෙන්න තිබ්බා ද!
එහෙම නම්, අර දෙවිදේවතාවෝ මට මොනවා නොකරයි ද?
මොනවා නොකියයි ද?
මම මේ කතාව ලිව්වේ, ICHEM එක කියන්නේ පට්ට චාටර් තැනක්, කැලණියේ විද්‍යා පීඨය කියන්නේ මාර සුපිරි තැනක් කියලා කියන්න නෙමෙයි..
මම මේ ලිව්වේ මගේ අත්දැකීම් විතර ම යි!
ICHEM එකේ මට වෙච්ච දේවල් මම මේ ළඟදී දවසක ICHEM එකේ ආචාර්යවරයෙක් එක්ක කිව්වා ම, ඒ මනුස්සයා පුදුම වුණා..
මොකද, ඒ වගේ ගොබ්බ වැඩ වලට සාමාන්‍යයෙන් එතැන ඉඩක් ලැබෙන්නේ නැති නිසා..
හැබැයි, මට ICHEM ඇතුළේ එහෙම දේවල් වුණා..
උඩ බැච් එකේ සමහර අය, අපේ මුලු බැච් එක ට ම බනින අතරේ, මාව විශේෂයෙන් ම ඉලක්ක කරලා මට ලොකු පීඩනයක් දීපු බව, මගේ බැච් එකේ ළමයි පවා දැක්කා..
ඕනේ ම තැනක වසලයෝ ඉන්න පුළුවන්..
පරපීඩකයෝ ඉන්න පුළුවන්..
තමන් ගේ හීනමානය නිසා අනුන් ට රිදවන, ඒවා වලින් හීනමානය වහ ගන්න අය ඉන්න පුළුවන්..
ඊරිසියාකාර කුහකයෝ ඉන්න පුළුවන්..
ICHEM එකේ හිටිය හැමෝම ඒ වගේ වසල ගති තිබුණු අය නෙමෙයි..
කැලණියේ හිටපු හැමෝම අර කළින් කිව්ව අයියා වගේ මහත්මා ගති තිබුණු අය ත් නෙමෙයි..
හැබැයි, ICHEM එකේ අපි ට උඩ බැච් එකේ වැඩි හරියක් හිටියේ උඩ කියපු වසල ගති තිබුණු අය නිසා, එයාලා මට එතැන අපායක් කළා..
යුනිවර්සිටි එකේ අපේ ෆැකල්ටි එකේ වැඩි හරියක් හිටියේ මහත්මා ගති තිබුණු අය නිසා, මට එතැන සුරපුරක් වුණා..
මම අද ට ත් සතුටු වෙනවා, ආඩම්බර වෙනවා මම ඒ වගේ වසල ගති තියෙන කෙනෙක් විදියට සමාජෙ ට ආවේ නැති එක ට..
කෙනෙක් ව පීඩාවට ලක් කරලා සතුටු වෙන තරම ට, බිය වද්දලා ජ්‍යෙෂ්ඨත්වය ක් හිත ට ගන්න තරම ට, බලෙන් ගෞරවයක් ලබා ගන්න තරම ට බාල බොළඳ නොවෙච්ච එක ට..
ආදරණීය නංගී, මල්ලි,
විශ්වවිද්‍යාලයේ දී කනිෂ්ඨයොන් ව පීඩාවට ලක් කරන එක, නවක වදය දෙන එක වීරකමක් නෙමෙයි!
ඒක නිවට කමක්!
හරියට ම කිව්වොත්, මානසික ලෙඩක්!
එක එක්කෙනා ගේ දරා ගැනීමේ හැකියාව වෙනස්..
කෙනෙක් ට ආතල් එකක් වෙන දෙයක්, තවත් කෙනෙක් ට අධික මානසික පීඩනයක් දෙන දෙයක් වෙන්න පුළුවන්!
ඕක ට ත් පොඩි කතාවක් කියලා ම මේ ලිවිල්ල ඉවර කරන්නම්..
දැන ට අවුරුදු දෙකක ට විතර කළින් මට මගේ ICHEM යාලුවෙක්ගෙන් මැසේජ් එකක් එනවා..
යාලුවා - මේහ්!! අර ICHEM එකේ අපි ට උඩ බැච් එකේ අහවලා අපි ට මුකුත් කරදර කරපු, කෑ ගහපු කෙනෙක් නෙමෙයි ද?
මම - නැත්තේ මොකද! ඒ සෙට් එක ම එහෙමයි නේ! එයාගේ මනුස්පයා එහෙම පුදුම කෑ ගැහිල්ලක් නේ කළේ අපි ඔක්කොටම.. ඇයි??
යාලුවා - නෑ.. එයා යුනිවර්සිටි වල රැගින් වලට විරුද්ධව හෙන හෑල්ලක් ලියලා ෆේස්බුක් දාලා.. ඔයා එයාගේ යාලුවෙක් නෙමෙයි නිසා, ඔයාට පේන එකක් නෑ..
මම - හෑ??? රැගින් ගැන ලියලා?? එතකොට එයාලා ICHEM එකේ දී අපිට දුන්නේ රැගින් නෙමෙයි ද??
යාලුවා - ඒක තමයි! ඒ පෝස්ට් එක දැක්කා ම මට ත් හිනා ගියා..
ඕක දැන ගත්තා ට පස්සේ මගේ ගඟේ මාලු ඇඟේ නටන්න ගත්තා..
මගේ යාලුවා කියපු ඒ අහවලා මගේ ෆේස්බුක් යාලුවෙක් නෙමෙයි නේ..
මම වසලයෝ මගේ ෆේස්බුක් එක පැත්ත පළාතේ වද්ද ගන්නේ නෑ..
හැබැයි, මම එසැණෙන් අර අහවලා ට රික්වෙස්ට් එකක් යැව්වා..
එයැයි ට ත් ඒ කාලේ කරපු දේවල් අමතක වෙලා ද කොහෙද, මාව එයාගේ ෆේස්බුක් එක ට වද්ද ගත්තා..
දැන් මට අර පෝස්ට් එක පේනවා!
මරේ මරු!! ?
ඒ දාර්ශනික පෝස්ට් එක කියවලා බැලුවා ම, මට ත් ඇත්තට ම හිනා ගියා..
මේ මිනිස්සු මොන තරම් මවා ගතපු ජීවිත ද ගෙවන්නේ කියලා හිතුණා..
රැග් වලට විරුද්ධව යුනිවර්සිටි වල පලු යවලා ලිව්වා ට, එයාලා ත් අපි ට කළේ ඒක ම නේ!!
"ඔයා දැන් ඔහොම හෑලි ලියන්නේ, ඒ කාලේ ඔයාලා ත් ICHEM එකේ දී අපිට සැලකුවේ ඔහොමයි නේ!" මම කමෙන්ට් එකක් දැම්මා..
එසැණෙන් එයා සහ එයාගේ ප්‍රිය සැමියා මගේ කමෙන්ට් එක ට "හහා" එකක් දැම්මා..
ටිකකින් මගේ කමෙන්ට් එක ඩිලීට් කළා..
මාව අන්ෆ්‍රෙන්ඩ් කළා..
ඊට පස්සේ, මම එයා ට ඉන්බොක්ස් එකේ, හදවත් (hearts) කිහිපයක් ම එක්ක, බොහොම ආදරණීය මැසේජ් එකක් යැව්වා..
මෙන්න මේකයි ඒ මැසේජ් එක..
"Hello Akki, I sent you the friend request just with the intention of commenting on your very visionary post regarding University ragging. Thanks for accepting it and giving me an opportunity to comment.
You removing me from your friend list and deleting my comment proved that you all have NOT forgotten what you all did to us for months and how you all picked on me in public at ICHEM. ❤️
I have screenshots of your very visionary post and my comment both (with the haha reactions), so, if I want, I can make you "famous" in one night, just by posting those on my wall, and telling the story to the world! ❤️ Lets accept the fact that you all promoted ragging and harassing the juniors at a private institution like ICHEM. Lets not pretend to be somebody else, now.
ඔවා දෙනු පරහට තමා සම්මතයහි පිහිටා සිට - දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණ මෙනි.. (In case if you have forgotten what we learned back in school days..) ❤️
With Love,
Supuni"
ඔය මැසේජ් එක කියවලා, එයැයි මට බනින්න ගත්තා.. ?
එයා ට හිතුණා ලු මම රික්වෙස්ට් එකක් එව්වේ ඕකට කමෙන්ට් කරන්න තමයි කියලා..
(ඒ කියන්නේ, එයැයි දන්නවා එයැයි මේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාගෙන දෙසන්නේ වැදි බණ කියලා.. හිතේ පොඩි බයක් තියෙනවා කවුරු ම හරි ඇවිත්, එයාලා කරපුවා ත් මතක් කරලා දෙයි කියලා..) ?
එයාලා අපිට දීපු රැග් වගේ නෙමෙයි ලු එයා මේ කියන රැග්!
එයා මේ කියන්නේ "next level ragging" ගැන ලු.
(ඒ කියන්නේ, එයා පිළි ගන්නවා එයා ලා අපිව කොයි මට්ටමෙන් හරි රැග් කළා කියලා..) ?
එයා සති කිහිපයක් රුහුණේ ගියා ලු..
එතන දී එයාව හොඳට ම රැග් කළා ලු..
එව්වා දරා ගන්න බැරුව, එයා රුහුණ අත ඇරිලා ගෙදර ආවා ලු..
එයා ට රුහුණේ දී වෙච්චා එයා ට දරා ගන්න අමාරු එව්වා වෙන්න ඇති..
හැබැයි, එයාලා මට ICHEM එකේ දී දීපු එව්වා ත් අවුරුදු 21ක් වත් නැති මට ත් දරා ගන්න අමාරු එව්වා විදියට තමයි මට දැනුණේ..
එයා දන්නේ නෑ එයා රුහුණ අත ඇරියා වගේ, එයාලා කරපු දේවල් නිසා මාත් තව ටිකෙන් ICHEM එක අත අරිනවා කියලා..
එයා දන්නේ නෑ, අපේ බැච් එකේ මුලු අවුරුදු 4 ට ම සල්ලි ගෙවලා තිබුණු ළමයෙක්, එයාලා නිසා මුල් සති කිහිපය යද්දී ම ICHEM එක අත ඇරියා කියලා..
ඒකයි මම කිව්වේ, මේක අච්චර දරුණු නෑ, මෙච්චර බරපතල නෑ කියලා තමන් ගේ මිම්මෙන් මැනලා වෙන මනුස්සයෙක් ව කොයි විදියටවත් හිංසනයට ලක් කරන්න එපා!
එක වසල ගතියක්!
තව කෙනෙක් ට මොන ම විදියට හරි පීඩාවක්, බිය ගැන්වීමක් කරන්න එපා!
ඒක වසල ගතියක්!
යුනිවර්සිටි එකක ඊට වඩා කරන්න ගොඩාක් වැඩ තියෙනවා..
උප සංස්කෘතිය රකිනවා කියන්නේ එක පාටක බූල් බෑන්ඩ් දාගෙන එන එකවත්, ඇහිබැම නොහදා එන එකවත්, කලිසම් නැතුව සායවල් ඇඳගෙන, ඩෙනිම් නැතුව ඔෆිස් කලිසම් ඇඳගෙන එන එකවත් නෙමෙයි..
තව කෙනෙක් ලව්වා ඒ දේවල් බලෙන් කරලා ලබන වින්දනය, අමානුෂිකයි!
එව්වා වලින් ඔප වැටෙන්නේ නායකත්ව ගති නෙමෙයි, වසල ගති!
නංගී, මල්ලී,
යුනිවර්සිටි යන කාලේ ඉගෙන ගන්න..
Soft skills හදා ගන්න..
ඉංග්‍රීසි හදා ගන්න..
Gavel, AIESEC වගේ සංගම් වලට බැඳෙන්න..
ක්‍රීඩා කරන්න..
පුළුවන් නම්, මොකක් ම හරි රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්න බලන්න..
වැඩ කෝටියක් මැද්දේ මේ මේ ලිපිය ලිව්වේ, ඔයාලා දැන දැන හරි නොදැන හරි මේ කරන දේවල් වල වැරැද්ද පෙන්නලා දෙන එක මගේ වගකීමක් කියලා මට හිතුණු නිසා..
මම මේ ලියපු දිග ම දිග ලිපිය කියවලා, එක ම එක නංගී කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි රැග් කරන මානසිකත්වෙන් මිදුණා නම්, ඒක මට ලොකු සතුටක්!
අවාසනාවකට, යුනිවර්සිටි එකේ දී තමන් ව කවුරු ම හරි මොන ම විදියට හරි රැග් කරන්න ආවොත්, ඒ රැග් වෙන නංඟිලා මල්ලිලා තේරුම් ගන්න, තමන්ව ඒ රැග් කරන්නේ වසලයෙක්/වසල රැලක් කියලා..
මානසික ලෙඩෙක්/ලෙඩ්ඩු රැලක් කියලා..
ඊළඟ අවුරුද්දේ තමනුත් ඒ වගේ වසලයෙක්, මානසික ලෙඩෙක් වෙනවා ද නැද්ද කියන එක ගැන හොඳ ට හිතලා බලන්න..
ආදරණීය මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන්න..
ආයෙත් මතක් කරනවා -මේ විස්තර වලින් විතරක් මම ලංකාවේ ගියපු අධ්‍යාපන ආයතන දෙක ගැන මනින්න එපා.. වසලයෝ කොහෙත් ඉන්න පුළුවන්! මේ ආයතන දෙක ට ගියපු වෙන කෙනෙක් ගේ අත්දැකීම්, මගේ අත්දැකීම් වලට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්!
හැමදාම ත් වගේ අදත් මේ ලිව්වේ මට හිතිච්චා.. මට ම වෙච්චා..
පින්තූරය - එකල දෙවිදේවතාවොන් ගේ දැඩි දෝෂාරෝපණය ට ලක් වෙච්ච මනුස්ස දුවක්, මෙකල!
(එයා ළඟදී "පූස් ඇස්" කණ්නාඩි දෙකක් ගත්තා!!)
මේ පෝස්ට් එක දැකලා දෙවිදේවතාවෝ සහ දේව ගැතියෝ කෝප වෙන්න පුළුවන්!
කමා වුව මැනව! ❤️