ලඟදි දවසක මම පිළිකා නාශක ප්‍රතිකාර ලබාගන්න අපේක්ෂා එකේ අදාල ඒකකයට ගිය වෙලාවක, මම හිටපු තැනට ආසන්න ඇඳකට වයස අවුරුදු හතලිහක් පමණ වන තවත් පිළිකා රෝගී කාන්තාවක් ආවා. මට තේරුණ හැටියට නම් ඇය ලඟඳි පිළිකාවක් ඇතැයි රෝග විනිශ්චය ලබපු, ප්‍රතිකාර මාලාවේ මුල් මාස කිහිපයේ පසුවන්නියක්. කොණ්ඩය සම්පූර්ණයෙන් අහිමිව තිබුණු ඈ පැමිණ සිටියේ රෝද පුටුවක ආධාරයෙන්. මුහුණේ තිබුනේ තම අවට ලෝකයම කඩා වැටුනාක් මෙන් බලාපොරොත්තු සුන් වූ, දුක සහ බය මුසු වූ පෙනුමක්. මට මතක් උනේ මාස දහයකට - එකොළහකට කලින් මාවමයි.
ටික වෙලාවකින් ඇයටත් මටත් නියමිත ප්‍රතිකාර සහිත සේලයින් බෝතල් හෙදියන් විසින් ගෙනත් සම්බන්ධ කලා. ප්‍රතිකාර ශරීර ගත වෙද්දි දැනෙන ඔක්කාර ගතියයි, ශරීර අපහසුවයි අමතක වෙන්න බල බල උන්නු ටීවී සීරීස් එකට එබුනු මට මොහොතක් ගත වෙද්දි විසාල විලාපයක් ඇහුණා.
"අනේ මගේ පුතා, අනේ මගේ අහිංසක පුතා.. මට මොනාහරි උනොත් මගේ පුතාට කවුරුවත් නෑ මිස්. අනේ මාව බේරගන්න මිස්..."
බැලින්නම් දුන්න බෙහෙතට අර කියපු කාන්තාවට සුලු ආසාත්මිකතාවයක් ඇති වෙලා. ඇඟ කසන ගතියකුයි, වමනයයි, හුස්ම ගැනීමේ සුලු අපහසුවකුයි. ඒක බෙහෙතෙවත්, රෝහලේවත් ගැටලුවක් නෙමේ. සමහර රෝගීන්ට සමහර බෙහෙත් වලට ඒ වගේ ආසාත්මිකතා ඇති වෙනවා.
හෙද කාර්‍ය මණ්ඩලය මැදිහත් වෙලා අවශ්‍ය හදිස්සි ප්‍රතිකාර දෙන්න යුහුසුළු උනා. ඔවුන් වට උනා. මොනිටර් යන්ත්‍ර සවි කෙරුනා. වට පිටාවෙ සිද්ධ වෙන දේ දැකලා ඇය තවත් බියපත් උනා. ඈ සිටින මානසිකත්වය අනුව ඒක බොහොම ස්වාභාවිකයි. මොනව නමුත් අර කියපු දේවල් නම් වෙනස් උනේ නෑ.
"අනේ මගේ පුතා මිස්. එයා තනි වෙයි. අනේ මිස් එයා තව ටිකක් ලොකු වෙනකල් ඉඳලා මම මොනව උනත් කමක් නෑ. අනේ මිස් මාව බේරගන්න"
තවත් හෙදියක් හදිස්සි ප්‍රතිකාර යන අතරෙම ඈ ව අස්වැසුවා. ඇති වී තිබෙන ආසාත්මිකතාවයත්, එය කෙමෙන් සුව වෙන බවත් තහවුරු කලා. ඊට පසුවයි ඈ සන්සුන් උනෙ.
මට මතක් උනේ මට අසාධ්‍ය වෙලා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නට සිදුවූ අවස්ථා දෙක. හුස්ම හිරවේගෙන එද්දි, හුස්ම පොදක් වෙනුවෙන් ඇඳ මෙට්ටෙ මිරිකගෙන උඩ පැනපු, ඇඳ උඩ හතර වරන් ගහගෙන දඟලපු මාව යි පිටතින් බලන් හිටපු අයට පේන්න ඇත්තේ. ඒත් හිත වෙවුලුම් කවන මරණ බයට අමතරව වෙනත් ඉතාම විශේෂ දේවල් ගොන්නක් ලෞකික ජීවිතයක් ගත කරන පෘතඃජන අපිට ඒ මොහොතේ හිතට එනවා.
ඒ තමයි තමන් වැඩිපුරම ආදරය කරන අය. අම්මා, තාත්තා, සහකරුවා හෝ සහකාරිය, දරු මල්ලෝ, සහෝදර සහෝදරියෝ... එයාල වෙනුවෙන් තමන්ට කරන්න ඉතුරු වෙලා තියන දේවල්. තමන්ට මොනව හරි උනොත් එයාලට මොනව වේවිද වගේ දේවල්. ඒ සිතුවිල්ල හරිම අමුතුයි.. ඒත් හරිම ප්‍රභලයි. විස්තර කරන්න අමාරුයි.. මම කියපු අර කාන්තාවටත් මේ සිතුවිලි ධාරාවමයි එන්න ඇත්තේ. එයාට මතක් උනේ තමන්ගේ පුතාව.
මේවා ඕන තරම් අහලා ඇති, දැකලා ඇති, කියවල ඇති. විස්වාස කරන්න, ඔය වෙනවයි කියන දේවල් ඇත්තම ඇත්තයි. අන්තිම මොහොතෙ හෝ ඒ ආසන්න අවස්ථාවකට පත් වෙද්දි අපේ හිතට දැනෙන දේවල් හරිම අමුතුයි. අනපේක්ෂිතයි.
ඒ නිසා තමන් මියැදෙන මොහොතෙ ජීවිතය දිහා හැරිලා බලලා පසුතැවෙන්න දේවල් කරල තියන්න එපා. ඒ මොහොත අද ද හෙටද කවදද එන්නෙ කියන්න අපි කවුරුත් දන්නෙ නෑ. ඒ නිසා වගකීම් සහ යුතුකම් කල් දාන්න එපා. ඒවා පුලුවන් පළමු අවස්ථාවෙම ඉෂ්ට කරන්න හිතාගන්න.