Wednesday, November 27, 2024
Follow Us
47 වෙනි ගෑණු වාට්ටුව

"මම දැන් ඉන්නෙ කොළඹ ජාතික රෝහලේ 47 වෙනි ගෑණු වාට්ටුවේ. මගේ ජීවිතේ පුරාම අතදරුවෙක් කාලෙ ඉඳන් අද වෙනකන් මට එකම විදිහට තමන්ගෙම දරුවෙක්ට වගේ ආදරේ කරපු, අමාරුම කාලවල කවදාවත් මගේ අත අත් නොහැරපු, මගේ ජීවිතේ ආදරණීයම ගැහැණියක් ලෙඩ උන වෙලාවක එයාව බලාගෙන, ලඟින් ඉන්න ආවා.

මම ඉන්න කියුබිකල් එකේ 6 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් ඒ අයව බලාගන්න ආපු අය 3 දෙනෙක් ඉන්නවා මාත් එක්ක 4යි. කොනේම ඇඳේ ඉන්නෙ දමිළ අම්මා කෙනෙක්. එයාව බලාගන්නෙ තරුණ දුවෙක්. අම්මට ටිකක් අමාරුයි. පාන්දර මට ඉකිගහන සද්දයක් ඇහුණා. බලද්දි ඒ දුව අඬනවා. මම ගිහින් එයාගෙ ඔලුව අතගාලා උරහිස අල්ලන් හිටියා. එහා පැත්තෙ ඇඳේ අම්මා දැන් ටිකකට කලින් නැගිටලා ඇඳෙන් ඉඳගත්තා. එයාව බලාගන්න ඉන්නනෙ දුව නෙමෙයි, රස්සාවක් විදිහට රෝගීන් බලාගන්න තරුණියක්. එයාට පුටුවෙ නින්ද ගිහින්. අම්මා ඒ ගෑණු ළමයගෙ ඔලුව අරන් එයාගෙ උඩොක්කුවෙ තියාගත්තා. ටික වෙලාවක් ඒ ගෑණු ළමයට ලෙඩින් ඉන්න තමාගේත් නොවන අම්මාගෙ ඔඩොක්කුවෙම නින්ද ගියා. ඉස්සරහා ඇඳේ අම්මාට පොඩ්ඩක්වත් සිහිය නැහැ. ඒ දුව අම්මගෙ අත අත අරින්නෙම නැහැ. මුළු රැයම එයා අම්මාගෙ අත අල්ලන් ඉන්නෙ. මේ දැනුත්... හරියට 'මම ඉන්නවා ලඟින්ම, බයවෙන්න එපා...' කියන්න වගේ. මං අද නැවතුනෙ දවස් තුනක් එක දිගට එයාගෙ අවුරුද්දක් වයස චූටි පුතාවත් ගෙදර දාලා එයාගෙ අම්මව බලාගන්න ලඟ හිටපු ආදරෙණීය දුවෙක්ට විවේකයක් දීලා. මුළු රැයක් පුරාම නොනිඳා වැඩ කරන වෛද්‍යවරියන්, හෙදියන්, ඇටෙන්ඩන්වරියන්, පොලව අමදන්නියගෙ සිට... ඒ හැමෝගෙම මම දැක්කෙ කාරුණිකව තමන්ගෙ රාජකාරි ඉටුකරන ගැහැණු. ඉතිං මේ ගැහැණු හිත් කොච්චර ලස්සනයිද?
මහපොළොව වගේ දේවල් දරාගන්න ගැහැණු...
රාජකාරියට ඔබ්බෙන් මිනිස්කම තබන ගැහැණු...
බොරු මාන්නයන්ට වඩා ජීවිතේ 'සත්‍යයට' උණුසුම දෙන ගැහැණු...
වේදනා දහසකුත් මැද්දෙ ආදරයම බෙදන ගැහැණු...
පණගැහෙන අවසාන කේශනාලිකාව තෙක් සෙනෙහසම ඉතිරි කරන්න වෙරදරන ගැහැණු...!"
- සමනලී.
At 4.00 am